කල්පිටිය ප්‍රශ්නයට විශේෂඥ තීන්දුවක්‌!

පසුගිය සතිය අවසන් වූයේ කල්පිටිය යුද පිටියක්‌ බවට පරිවර්තනය කරමිනි. යුද්ධය ඇතිව තිබුණේ ධීවරයන් අතරය. වරදවා වටහාගත යුතු නැත. ඒ, ඉන්දියාවෙන් පැමිණ මේ රටේ මත්ස්‍ය සම්පත කොල්ල කා යන ධීවරයන් හා අපේ රටේ ධීවරයන් අතර නොවේ. මෙරටෙහිම ධීවරයන් දෙපිරිසක්‌ අතරය. පැය ගණනාවක්‌ පුරා ඇදී ගිය යුද්ධයට අඩුව තිබුණේ ගිනි අවි සහ යුද ටැංකි පමණය. ප්‍රදේශයේ ආගමික නායකයන්ට පවා තත්ත්වය වළක්‌වා ගැනීමෙහි හැකියාවක්‌ තිබුණේ නැත. සති අග වාර්තාවලට අනුව ධීවරයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, යතුරු පැදි තුනක්‌, ධීවර බෝට්‌ටු හතක්‌, මාළු ලොරියක්‌ ගිනි තබා විනාශ කර තිබේ.

මේ ගැටුමට හේතුව කුමක්‌ද? ඒ හේතුව ඉතාම පරණ ප්‍රශ්නයකි. රටේ පාලකයන් තොරොම්බල් කරන ධීවර ප්‍රශ්නවලින් එකකි. විසඳුම් ලබාදී ඇතැයි කියමින් ප්‍රශ්නය මඟහැරිය, එහෙත් තවමත් ඉතිරිව ඇති ප්‍රශ්නයකි. කොටින්ම කීවොත් යුද්ධය හටගන්නේ ලයිලා හා සුරුක්‌කු තහනම් දැල්වලට විරෝධය දක්‌වන ධීවරයන් හා ඊට ප්‍රතිවිරුද්ධ ධීවරයන් අතරය. ධීවර ප්‍රශ්නය මතුනොව රටේ බොහෝ දෙනෙක්‌ගේ ප්‍රශ්න වලට පාලකයන්ගෙන් මුලින්ම ලැබෙන්නේ පොරොන්දුය. දෙවනුව පොරොන්දු කඩකිරීම්ය. තෙවනුව මර්දනය කිරීම්ය. තහනම් දැල් ප්‍රශ්නය කල්පිටියට පමණක්‌ පොදුවූ ප්‍රශ්නයක්‌ නොවේ. ත්‍රිකුණාමලය, මන්නාරම, හලාවත, පුත්තලම, වෙන්නප්පුව, බත්තලංගුණ්‌ඩුව වැනි ප්‍රදේශවලටද මේ ප්‍රශ්නය පොදුය.

2016 පෙබරවාරි 01 වැනිදා ද මේ ප්‍රදේශවල සියලුම ධීවරයෝ සටනට බැස්‌සාහ. ඒ සටනට නිමිත්ත වී තිබුණේ කඩප්පුලි පොරොන්දු කැඩීමකි. එය කෙටියෙන් මෙසේය. 2015 දෙසැම්බර් 31 වැනිදා ආණ්‌ඩුව සුරුක්‌කු දැල් හා ලයිලා දැල් තහනම් ධීවර ආම්පන්න මගින් මසුන් ඇල්ලීම තහනම් කළේය.

සති දෙක තුනක්‌ ඉක්‌ම යැමටත් පෙර මෙම තහනම අහෝසි කරමින් 2016 ජනවාරි 16 චක්‍රලේඛයක්‌ මගින් ඒ සඳහා අවසර දී තිබිණ. 2016 පෙබරවාරි පළමුවැනිදා වන විට ධීවරයන් නැවත පාරට බැස්‌සේ ඒ නිසාය. එවිට මේ ප්‍රශ්නයට මැදිහත්වන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර කීවේ 2016 පෙබරවාරි 21 සිට තහනම් දැල් පන්න භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවය. පසුගිය සති අන්තයේ කල්පිටිය ගිනිගත්තේ අන්න ඒ තහනම කරනවාය කී "තහනම් දැල් ප්‍රශ්නය" නිසාමය. එවිට අප කාට කාටත් හිතාගන්නට වෙන්නේ ඒ කතාව බොරු පොරොන්දුවක්‌ බවය. ඒ පොරොන්දුව දෙන්නේ ධීවර ඇමැතිවරයාය. පෙනෙන හැටියට මෙය ඒ මොහොතේ ජාම බේරාගන්නට ගැසූ අතේ රෝලකි. දේශපාලනඥයන් කප්පරකට බොරු කිව්වත් දිගින් දිගටම ඒ බොරුවලට රැවටෙන්නට පුරුදුවී සිටින රටේ ජනතාව (විශේෂයෙන් ධීවරයන්) ඒ කතාව පසුගිය පෙබරවාරියේ සිට මේ දක්‌වාම විශ්වාස කළා විය යුතුය. පොරොන්දුව කඩවුණු පොරොන්දුවක්‌ බවට පත්වූ විට ඉල්ලීම් දිනාගැනීමට සටන් කරනවා හැර වෙනත් විකල්පයක්‌ ධීවරයාට නැත. මේ ඔවුන්ගේ "බඩ රස්‌සාව"ය. මේ වෑයම කෝටි ගණනින් හරි හම්බ කර මාලිගා තනන්නට හෝ තීරු බදු රහිත වාහන ගන්නට නොව යාන්තම් කාබී ජීවත්වන්නටය.

මේ සටන මුල්වරට ඇවිලෙන විට ඇමැතිවරයා කීවේ "මේ පන්න ක්‍රමය තහනම් කර ඇත්තේ නාරා ආයතන දෙන නිර්දේශ අනුව බවය. එමෙන්ම දේශපාලන තීන්දු මත තහනම ඉවත් නොකරන බවද කීවේය. තහනම ඇතිවිට ඊට විකල්ප ක්‍රමයක්‌ හඳුන්වාදෙන බවද ඒ දිනවල ඇමැතිවරයා කීවේය. ඇමැතිවරයා කී වැදගත්ම කතාව මෙසේය. "මේ ගැන ජනතාව නැවත විරෝධතා ඇති කරනවානම් අපි සාකච්ඡා කර තීන්දු ගන්නවා. අපි තහනම් නියෝග වලට යන්නේ මේ ගැන අධ්‍යයනය කරන විශේෂඥයන්ගේ තීරණ අනුවයි..."

දැන් නැවත "විරෝධතා" නොව "යුද්ධයක්‌ම" ඇතිව තිබේ. අප බලා සිටින්නේ "විශේෂඥ තීරණය" එන තුරුය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.