උතුරේ සිදුවන්නේ කුමක්‌ද?

කිලිනොච්චියේ දී පොලිසිය සමඟ ගැටුමක්‌ ඇතිකර ගැනීමට දැරූ උත්සාහය.

බීමත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක්‌ පොලිස්‌ අණ නොතකා යැම නිසා සිදුවූ වෙඩි තැබීමකින් එක්‌ සිසුවකු මියයැමත් අනික්‌ සිසුවා යතුරුපැදිය අනතුරකට ලක්‌වීමෙන් මියයැම නිසා උතුරේ දේශපාලකයන් දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාව උදා වී ඇත.

මේ පසුබිම මැද ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ද්‍රවිඩ ජනතා ජාතික පක්‌ෂය මෙම සිසුන් දෙදෙනාගේ මරණ සැලසුම් සහගත සිදුවූවක්‌ බවට චෝදනා කර ඇත.

ඉන් කියෑවෙන්නේ පොලිසිය මඟ රැක සිට මොවුන්ට වෙඩි තැබූ බවයි.

ශ්‍රී ලංකා ද්‍රවිඩ ගුරු සංගමය පවසා ඇත්තේ මෙම වෙඩි තැබීම උතුරේ ද්‍රවිඩ ජනතාවට එල්ල වූ තර්ජනයක්‌ බවයි.

මේ අතර තවත් පිරිසක්‌ සිසු ඝාතනය තමිල්නාඩුවට ගෙනගොස්‌ ඇත. තමිල්නාඩුවේ මැයි 17 සංවිධානයේ නායක ආරුමුගම් නමැත්තා උතුරේ සිදුවීමට ඉන්දීය රජය ද වගකිවයුතු බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් සැබෑ යථාර්ථය අවබෝධ කරගත යුතුය. උතුරේ සිදුවූ මුල්ම මරණ දෙක මෙය නොවේ. කරනවෑමියකුගේ ඝාතනයක්‌ ගැන පරීක්‌ෂණ කිරීමට පැමිණි යාපනයේ පොලිස්‌ අධිකාරි චාල්ස්‌

විඡේවර්ධන අමු අමුවේ 2005 අගෝස්‌තු මස දිනෙක ඝාතනය කළේ උතුරේ බෙදුම්වාදීන්ය.

එහෙත් මේ ඝාතනයේ නියම ඝාතනකරුවන් අසුවූයේ නැත.

මේ තත්ත්වය මත යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවන්නේ කුමක්‌ දැයි පැහැදිලිය. පසුගිය මාස 19 දා කොටි ත්‍රස්‌තයන්ව සැමරුවේ යාපනයේ සරසවි සිසුන් පිරිසකි.

ඉන් සනාථ වන්නේ කොටි හිතවාදීන් සරසවිය තුළ සිටින බවයි. ඉන්පසු දෙමළ පිබිදීම නමින් නාටකයක්‌ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් විසින් යාපනයේ ක්‍රියාත්මක කළේය.

එසේම ඔහු සිංහල හමුදාව ජාති සංහාරයක්‌ සිදුකළ බව කියමින් උතුරේ ජනතාව අවුස්‌සනු ලැබීය.

එවන් වාතාවරණයක්‌ මැද නෝර්වේහි සිටින නෙදියවන්ගේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ යාපනයේ එජන්තවරු සිංහල පොලිසිය ද්‍රවිඩයන් මරණවා යනුවෙන් ජාතිවාදී ලේබලය දක්‌වන ප්‍රචාරයක්‌ දියත් කර ඇත.

සිසුන් දෙදෙනාගේ සිද්ධියේදී පොලිසියද වරදක්‌ කළේය. ඒ ඇත්ත තත්ත්වය පොලිස්‌ බලධාරීන්ට හෙළි නොකිරීමයි. කොළඹ ඇතුළු ප්‍රදේශවල පොලිස්‌ වෙඩි තැබීම් සිදුවූ අතර එහිදී සිංහල පොලිසිය සිංහලයන්ට වෙඩි තබන බවට කවුරුත් චෝදනා කළේ නැත.

මේ පසුබිම මැද චුන්නාකම් පොලිසියේ නිලධාරී දෙදෙනකුට කඩුපහර එල්ල විය. මේ ගැන ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ සිවාජිලිංගම් පැවසුවේ එම සිද්ධිය යාපනයේ සිද්ධියට සම්බන්ධ නැති බවයි. එහෙත් ආවා නමැති කණ්‌ඩායම චුන්නාකම් සිද්ධියේ වගකීම භාරගෙන අත්පත්‍රිකා පවා බෙදා හැර ඇත. මෙම කණ්‌ඩායම ගැන ද්‍රවිඩ සන්ධානය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. යාපනයේ අධිකරණයට ගල් ගැසුවේ උතුරේ පිරිස බව අමතක නොකළ යුතුය.

මේ තත්ත්වය මත උතුරට වෙනම නීතියක්‌ ක්‍රියාත්මක විය යුතුද?

පසුගිය ඔක්‌තෝබර් 18 වැනිදා මන්නාරමේ සිලාවතුර ප්‍රදේශයේදී කේරළ ගංජා ජාවාරම ගැන නිරීක්‌ෂණය කරමින් සිටි නැවියන් සිවු දෙනකුට ධීවරයන් පිsරිසක්‌ පහර දී ඇත.

කිලිනොච්චියේ දී සතොස සේවකයන් සිය වෙළෙඳසල වසා නොදැමීම නිසා එම සේවකයන් සිටි නේවාසිකාගාරයට පහර දීමක්‌ සිදුවූයේ ද මෑතක දීය. වවුනියාවේ ගමකට කඩා වැදුණු හිටපු කොටි නායකයකු ගම්වාසීන්ට ගමෙන් පිටව යන ලෙස තර්ජනය කිරීමේ සිදුධියක්‌ ද පසුගිය දා වාර්තා විය. මේ අතර සිසුන්ගේ සිද්aධියට මුවා වී රාජ්‍ය බැංකු සහ රජයේ පාසල් වසා දැමීමට පවා උතුරේ පාර්ශ්ව ක්‍රියා කර ඇත.

සරසවි සිසුන් දෙදෙනාගෙන් එක්‌ අයකුට වෙඩි තැබීමේ සිද්ධිය අනුමත කළ නොහැකි නමුත් ඊට මුවා වී උතුර අස්‌තාවර කිරීමට බෙදුම්වාදී බලවේග ක්‍රියාකරන බව සනාථ වේ. 12,000 ක්‌ අවි පුහුණුව ලැබූ කොටි උතුරේ සිටින බව රජයේ බලධාරීන් අමතක නොකළ යුතුය. කිලිනොච්චියේ දී පෙරේදා පොලිස්‌ සැරයන්වරයකුට බෝතල් පහරක්‌ එල්ල වීමේ සිද්ධියෙන් එම පොලිස්‌ නිලධාරියා තුවාල ලැබා තිබේ.

මේ සිදුවීම් ඉදිරියේ දී සිදුවිය හැකි බවට අනුමාන කළ හැකි බෙදුම්වාදී පාර්ශ්වවල පෙරහුරු බව කිව හැකියි.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.