ගංවතුර සහන සැලසීම නිසා අමාරුවේ වැටුණු තොප්පිගල වීරයා ජනරාල් දයා රත්නායක

තොප්පිගල කැලෑවක්‌ බව එක්‌ දේශපාලකයෙක්‌ ප්‍රකාශ කර තිබුණි. එහෙත් නැගෙනහිර පළාතේ වාකරේ සහ තොප්පිගල වැනි කොටින්ගේ බල කඳවුරු ප්‍රදේශය මුදා ගනු ලැබුවේ එවකට බ්‍රිගේඩියර්වරයකු ලෙස කටයුතු කළ ජනරාල් දයා රත්නායකයි.

තොප්පිගල හා වාකරේ ශ්‍රී ලංකා හමුදාව විසින් අල්ලාගත් බව ශ්‍රවණය වූ විගස කොටි නායකත්වය විස්‌මයට පත් විය. ඊට හේතු වූයේ ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙය වූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකි නමැති හිටපු කොටියා වසර ගණනාවක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා හමුදාවට නැගෙනහිර අල්ලා ගැනීමට නොහැකි බවටත් නැගෙනහිර අල්ලා ගැනීමට උත්සාහ කිරීම හමුදාවට පාරාවළල්ලක්‌ වන බවටත් ජාත්‍යන්තර ප්‍රජාව වෙත හා මෙරට ආරක්‍ෂක ක්‍ෂේත්‍රය වෙත සාවද්‍ය ප්‍රචාර දියත් කර තිබූ බැවිනි.

වාකරේ ප්‍රදේශයේ කොටි කඳවුරු 26 ක්‌ ද මි. මී. 122 සහ 152 වර්ගයේ කාලතුවක්‌කු ඒකක දෙකක්‌ද ස්‌ථානගත කර තිබූ බව හෙළි විය. එහෙත් දයා රත්නායක මෙහෙයවූ හමුදා සේනාංක උතුර සමග මුහුදු මගින් සබඳකම් පැවැත්වීමේ කොටි කේන්ද්‍රස්‌ථානය වූ වාකරේ අල්ලා ගැනීමත් සමඟ ම බරපතළ ප්‍රශ්නයකට මුහුණපෑ කොටි තොප්පිගලට පැන ගියහ. වාකරේ මෙහෙයුම දියත් කරන අවස්‌ථාවේ කොටි 3000 කට අධික පිරිසක්‌ වාකරේ ස්‌ථානගතව සිටි බව හෙළි විය.

මෙම කොටි කණ්‌ඩායම වැනසීම සඳහා පනහකගෙන් සමන්විත කුඩා ප්‍රහාරක කණ්‌ඩායම් යෑවීමට දයා රත්නායක පියවර ගත්තේය. චීන යුද විශේෂඥයකු වූ සුත් ක්‌ට්‌සුගේ උපාය මාර්ග අනුගමනය කළ මෙම හමුදා නිලධාරියා වාකරේ අල්ලා ගන්නාවිට කොටි 718 ක පිරිසක්‌ මරුමුවට පත් වී සිටියහ. ගැටුම්වලදී සෙබලු 36 ක්‌ ද දිවි පිදූහ. තවත් 100 කට අධික කොටි යටත් වූහ. 2007 ජනවාරි 19 දා වාකරේ නගරය ආරක්‍ෂක හමුදාව විසින් මුදාගනු ලැබීය.

මෙහිදී කොටි සතු කාලතුවක්‌කු බතරෝයි හතරක්‌ ද අල්ලා ගැනීමට දයා රත්නායකගේ හමුදා සේනාංකවලට හැකි විය. මෙලෙස නැගෙනහිර කොටි කේන්ද්‍රස්‌ථාන වූ වාකරේ සහ තොප්පිගල මුදාගත් ජනරාල් දයා රත්නායක පසුගිය 20 දා ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් කැඳවා පැය 5 1/2 කට අධික කාලයක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ඇත. මෙහිදී ජනරාල්වරයාට එරෙහිව රුපියල් පන්කෝටියක මුදලක්‌ අවභාවිත කරන ලද බවට පැමිණිල්ලක්‌ එම කොමිසමට ලැබී තිබුණ බවට වාර්තා විය. "2014 වසරේ උතුරු මැද ගංවතුර තර්ජනයක්‌ මතු වුණා. විනාශ වූ නිවාස සාදා දීමට හමුදාවට මුදල් තිබුණේ නැහැ. ඒ නිසා මා ආරක්‍ෂක අමාත්‍යාංශයට යෝජනාවක්‌ ඉදිරිපත් කර ඊට අනුමැතිය ගත්තා. විදුලි සංදේශ නියාමන කොමිසම අපට ලක්‍ෂ 500ක්‌ දුන්නා. ඉන් දස ලක්‍ෂ 23 ක්‌ කැඩී බිඳී ගිය නිවාස ඉදිකරන්න වැයවුණා. ඉතිරි දස ලක්‍ෂ 27 අපි ආපසු යෑව්වා. මේ ඉදිකිරීම් කටයුතු නිවැරැදි ලෙස සිදු වුණා. ඊට අදාළ ගණන් හිලව් හමුදාවේ තිබෙනවා යෑයි අප කළ විමසීමේදී හිටපු හමුදාපති දයා රත්නායක හෙළි කළේය.

විදුලි සංදේශ නියාමන කොමිසම ගංවතුරින් විපතට පත් වූවන් වෙනුවෙන් ලබා දුන් එම පන්කෝටියේ මුදල ජනරාල්වරයා සාක්‌කුවේ දමා ගත්තේ නැත. ඔහු එය හමුදා සුබසාධක අරමුදලට බැර කර තිබුණි. එහෙත් ඔහුට එරෙහිව පැමිණිලිකර තිබුණේ 2015 ජනාධිපතිවරණයට පෙර යුද හමුදාවේ ගිනුමකට බැර කර තිබූ එම මුදල අවභාවිතා කර තිබූ බවයි. මෙම පැමිණිලිකරු මෙතෙක්‌ හෙළි වී නැත. aසේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හිටපු හමුදාපති දයා රත්නායකට එරෙහිව එවන් පැමිණිල්ලක්‌ කර නොතිබුණි.

එහෙත් තොප්පිගල සහ වාකරේ මුදාගත් හමුදා වීරයා දූෂණ මර්දන කොමිසම වෙත කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. මෙම ප්‍රශ්න කිරීමට පෙර පසුගිය රජය සමග දැඩි වෛරයකින් පෙළෙන මාධ්‍යවේදිනියක්‌ ද හිටපු හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවට පැය 24 කට පෙර ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. මේ ප්‍රශ්න කිරීම සිදු කළේ එම කොමිසමේ පොලිස්‌ ඒකකයකි.

දූෂණ මර්දන කොමිෂන් සභාව හමුවේදී තමාට ඉදිරිපත්වූ චෝදනාව ප්‍රතික්‍ෂේප කළ හිටපු හමුදාපතිවරයා වන්නි මෙහෙයුම අවසන් කිරීමට කැප වූ හමුදා නිලධාරියකු ලෙස දැන් සිදු වන දේ ගැන තමා කනගාටුවට පත්වන බව පළ කළේය.

එහෙත් ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ හිටපු හමුදාපතිවරයාට එල්ලවූ මේ මුදල් අවභාවිත චෝදනාව පසුබිමේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු සිටින බවයි. හිටපු හමුදාපතිවරයා දූෂණ සෙවීමේ කොමිෂන් සභාව වෙත කැඳවනු ලැබුවේ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනකු අධිකරණය වෙත දක්‌කාගෙන යැම සම්බන්ධයෙන් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය නොසතුට පළ කර සති දෙකක්‌ ගත වීමටත් පෙරය.

1985 දී ජනරාල් දයා රත්නායක කොටි සැඟවී සිට කළ පහරදීමකින් දිවි ගලවා ගත්තේය. යාපනයේ සිට අරියාලෙයි හරහා නාවක්‌කුලි වෙත හමුදා වාහන තුනකින් ගමන් කරන අවස්‌ථාවේ ප්‍රභාකරන්ගේ ඥතියකු වූ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්‌ටු ප්‍රමුඛ ත්‍රස්‌තයන් පිරිසක්‌ එල්ල කළ ප්‍රහාරයෙන් සෙබළුන් දෙදෙනකු මියගොස්‌ සිව් දෙනෙක්‌ තුවාල ලැබූහ. මෙම බරපතල අවස්‌ථාවේ දයා රත්නායක ප්‍රමුඛ භට පිරිස පාරෙන් ඉවතට පැන සැඟවී සිටි ත්‍රස්‌තයන්ට ප්‍රහාර එල්ල කර ඇත. පැයකට අධික කාලයක්‌ තිස්‌සේ කොටි සමග සටන් කළ මෙම හමුදා භට පිරිස කොටි 37 ක්‌ මරා දමනු ලැබීය.

මෙම කොටි ප්‍රහාරය ජනරාල් දයා රත්නායකගේ මුල්ම අත්දැකීමයි. කිට්‌ටුගේ ප්‍රහාරක කණ්‌ඩායම වැනසීම නිසා දයා රත්නායකට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විසින් රණවික්‍රම පදක්‌කම ප්‍රදානය කරනු ලැබ ඇත.

ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවට පැමිණ කොටින්ට එරෙහිව ක්‍රියා කරන අවස්‌ථාවේ ජනරාල් දයා රත්නායක දකුණේ හමුදා බුද්ධි ඒකකයට සම්බන්ධව ක්‍රියා කළේය. වරක්‌ ඔහු ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයකු ඇතළු ක්‍රියාකාරීන් විසිදෙනකු අල්ලා ගත්තේය. ඉන්පසු ඔහු ජවිපෙ හමුදා නායකයකු ඇතුළු ක්‍රියාකාරීන් 12 ක්‌ අත්අඩංගවට ගනු ලැබීය.

මෙම ජවිපෙ ක්‍රියාකාරීන් විනාශ කරන ලෙස ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු දුන් විධානය ජනරාල් රත්නායක ප්‍රතික්‍ෂේප කළේය. තම නියෝගය ප්‍රතික්‍ෂේප කිරීම ගැන ඉහළ බලධාරීන්ට දන්වන බවද එම හමුදා නිලධාරියා පවසා අවශ්‍ය නම් ජවිපෙ කණ්‌ඩායම වනසන්නැයි ලිත නියෝගයක්‌ දෙන බවද කීවේය. එම ලිත නියෝගය පිළිපදින්නේ නැතැයි ජනරාල් රත්නායක පවසා ඇත.

මේ සමයේ දයා රත්නායකගේ සොහොයුරා පොලිසියේ සේවය කළේය. සිය සොහොයුරාගේ මිතුරන් පිරිසක්‌ දයා රත්නායකට අනතුරු අඟවමින් උසස්‌ නිලධාරීන්ගේ විධාන කඩ කිරීමෙන් වළකින ලෙස පවසා ඇත.

එහෙත් තමා අහිංසක මිනිසුන් මැරීමට ක්‍රියා කරන්නේ නැතැයි එම අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දැක්‌වූ දයා රත්නායක කියා සිටියේය.

දිවයිනේ ප්‍රදේශ රැසක සේවය කළ ජනරාල් රත්නායක මෙරට ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විඡේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන්ගෙන් පදක්‌කම් ලැබූ එකම හමුදා නිලධාරියා වේ.

20 වැනි හමුදාපති ධුරය හොබවා විශ්‍රාම යනවිට ඔහු පදක්‌කම් 10 ක්‌ ලබා තිබුණි. 1995 ඔහු යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුමට ද දායක විය. නිර්වේලිහි කොටි ආරක්‍ෂක වළල්ල බිඳ දැමීමට දියත් කළ මෙහෙයුමේදී සෙබළුන් 100 කට අධික පිරිසක්‌ මරුමුවට පත් වූ අතර දයා රත්නායකගේ ඒකකයේ භටයන් 24 ක්‌ ද දිවි පිදුහ. එහෙත් උත්සාහය අත්හැරියේ නැත. කොටින්ට කොටු වූ හමුදා භට පිරිස බේරා ගැනීමට ජනරාල් රත්නායකට හැකි විය. 2005 වසරේදී බ්‍රිගේඩියර්වරයකු ලෙස සේවය කළ දයා රත්නායක වැලිකන්ද 23 වැනි බලසේනාවේ ප්‍රධානියා ලෙස මාරු කර යවනු ලැබීය.

ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ ජනරාල් රත්නායක හමුදාවෙන් ඉල්ලා අස්‌වීමට ඉදිරිපත් වුවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එය වැළැක්‌වූ බවයි.

"තොප්පිගල වීරයා" ලෙස හමුදා සෙබළුන් අතර ප්‍රසිද්ධියට පත් වූ ජනරාල් රත්නායකට එල්ලවූ චෝදනාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලත් රුපියල් මිලියන 50 ක මුදලින් ගංවතුරින් විපතට පත්වූවන්ට ගොඩනැඟිලි උපකරණ ලබාදීමත් එම උපකරණ කුරුණෑගල හමුදා බ්‍රිගේඩ් මූලස්‌ථානය ඔස්‌සේ කුරුණෑගල - අම්පාර සහ වවුනියාව යන දිස්‌ත්‍රික්‌කවලට බෙදාහැරිය බවත්ය.

ජනාධිපතිවරණයට පෙර සතියේ මෙම ගොඩනැඟිලි උපකරණ බෙදාහැරී බව අබිරහස්‌ පෙත්සම්කරු සඳහන් කර ඇත.

මේ පසුබිම මැද වාකරේ සහ තොප්පිගල මානුෂීය මෙහෙයුමින් මුදාගැනීමට ඔහු සකස්‌ කළ සැලසුම අනුව එකී ප්‍රදේශ මුදාගනු ලැබූ අතර ජාත්‍යන්තර සංවිධාන එකී මෙහෙයුමට එරෙහිව කිසිදු අපරාධකාරී චෝදනාවක්‌ ඉදිරිපත් කර නොතිබුණි.

පසුගිය ජනාධිපතිවරණයෙන් එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පරාජය වීමත් සමග ජනරාල් රත්නායකට එරෙහිව විවිධ පාර්ශ්ව අභූත චෝදනා එල්ල කරමින් ඔහු බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණයක්‌ දියත් කර තිබූ බවට ප්‍රචාරය කළහ. රටේ ඇඳිරිනීතිය පැනවිය යුතු බව ඇතැම් පාර්ශ්ව පැවසුවත් හිටපු පොලිස්‌පති හා ජනරාල් රත්නායක එම ඉල්ලීම එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මේ අතර ගජබා රෙජිමේන්තුවට සම්බන්ධ බලකායක්‌ ජනාධිපතිවරණ දින රාත්‍රියේ කොළඹට කැඳවා ඇති බවට හිටපු හමුදාපතිවරයකු විසින් චෝදනා කර තිබුණි.

ජනාධිපතිවරණ රාජකාරිවලින් පොලිසිය ඉවත් වීම නිසා රටේ ආරක්‍ෂාව සඳහා හමුදා සේනාංක ස්‌ථානගත කිරීම එදා සිටම ක්‍රියාත්මක වූ සම්ප්‍රදායකි. එහෙත් අවස්‌ථාව එනතුරු බලා සිටි යුද හමුදාවේ සිටි ඇතැම් පාර්ශ්ව ආරක්‍ෂක බලමුළු ස්‌ථානගත කිරීම කුමන්ත්‍රණ මෙහෙයුමක්‌ බව කියා සිටියහ.

විදෙස්‌ගත මඩ වෙබ් අඩවි මෙහෙයවන්නෝද එකී සාවද්‍ය ප්‍රචාරයට පුළුල් ප්‍රචාරයක්‌ දුන්හ. දේශපාලන ක්‍රියාකාරින් ද හමුදා කුමන්ත්‍රණයක්‌ සිදුවීමට සැලසුම් කළ බව කියා සිටියහ.

ජනාධිපතිවරණ දිනයේ ආරක්‍ෂක කටයුතු සඳහා හමුදාව කැඳවා තිබුණේ ජනරාල් රත්නායක නොව මාණ්‌ඩලික හමුදා ප්‍රධානියායි.

මේ හමුදා කුමන්ත්‍රණ කතාව අසත්‍යයක්‌ බව රහස්‌ පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළිවීම නිසා එය යටපත් විය.

හමුදාපති වූ දයා රත්නායක හමුදා කුමන්ත්‍රණයක්‌ සැලසුම් කළ බවට දියත් වූ සාවද්‍ය ප්‍රචාරයේ මූලිකයා මේ වනවිට හෙළි වී ඇත. එම ප්‍රචාරයේ අරමුණ වූයේ හමුදාපති රත්නායක අත්අඩංගුවට ගැනීමය.

මෙම සාවද්‍ය ප්‍රචාරයට සම්බන්ධ වූවන් අතර දේශපාලක කටයුතුවල යෙදීම නිසා හමුදා සේවයෙන් ඉවත් කර තිබූ පිරිස අතර සිටි මේජර් ජනරාල්වරයෙක්‌ ද සම්බන්ධ විය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට සාක්‍ෂි දුන්නේ මෙම නිලධාරියායි. ජුදාස්‌ නමින් හඳුන්වනු ලැබූ මොහුට වත්මන් රජය යටතේ තානාපති සේවයේ ඉහළම ධුරයක්‌ හිමිවී ඇත. තම රාජෙද්‍රdaහීත්වය වසා ගැනීම සඳහා එම ජුදාස්‌ සිය වාසගම ද වෙනස්‌ කළේය.

වසර 34 කට අධික කාලයක්‌ තිස්‌සේ යුද හමුදාවේ නොකැලැල් සේවයක්‌ කළ ජනරාල් දයා රත්නායකට දූෂණ මර්දන කොමිසම වෙත ගොස්‌ කට උත්තර දීමට සිදුවූයේ කෙසේදැයි හෙළි වී නැත. ඊට මුල්වූ පසුබිම හමුදා ක්‍ෂේත්‍රය තුළ කතාබහට ලක්‌වී ඇත.

නැගෙනහිර සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් ජනතාවට නිදහසේ සුසුම් හැරීමට හැකි වූයේ වාකරේ සහ තොප්පිගල මුදාගැනීමෙනි. ඒ වනවිට රමේෂ් වැනි කොටි නායකයන්ගේ අණසක යටතේ එම ප්‍රදේශ පැවතුණි. පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වූයේද තිරුක්‌කෝවිල් කැලෑවේදීය.

මේ පසුබිම මැද සනාථ වන්නේ ජනරාල් දයා රත්නායක වැනි විරුවන් පසුපස ජනාධිපතිවරයාට ඉහළ බල කේන්ද්‍රයක්‌ ක්‍රියාත්මක වන බවයි. ජනාධිපතිගේ නිශේධ බලය ඉක්‌මවමින් ක්‍රියාත්මක වන මේ බල කේන්ද්‍රය පසුබිමේ හිටපු හමුදා බලධාරියකු සිsටින බවද වාර්තා වී ඇත. එහෙත් අතීතය අමතක කළ හැකිද? ප්‍රභාකරන්ගේ තුණ්‌aඩු කෑල්ලට බියවූ පාර්ශ්ව මෙරට සිටියේය. එම තත්ත්වය මැද සිය දිවි පරදුවට තබමින් ජනරාල් දයා රත්නායක ඇතුළු රණවිරුවන් කළ සේවය අද අමතක වී ඇත.

මෙලෙස තොප්පිගල වීරයාගෙන් දූෂණ මර්දන කොමිසම ප්‍රශ්න කිරීම ගැන වඩාත් සතුටට පත් වූයේ ඊළාම් ඩයස්‌පෝරාවයි.

ජනරාල් දයා රත්නායකගෙන් පැය 5 1/2 ක්‌ තිස්‌සේ සිදු කළ ප්‍රශ්න කිරීම් ගැන ජනතාවට මතුවී ඇත්තේ ද බරපතළ ප්‍රශ්නයකි. මේ හමුදා නිලධාරියාට එරෙහිව ජනාධිපති හෝ ආපදා කළමනාකරණ ඇමැති පැමිණිලි කර නැත්නම් ඒ පැමිණිලිකරු කවුද යන්න අබිරහසකි.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.