ආ පයින්ම යෑවිය යුතු ආවා ගෲප්

භූ කම්පනයක්‌ අවසන් වී සැහෙන වෙලාවක්‌ යන තුරුත් පොළොව සෙලවේ. එම චලනයන් හඳුන්වනු ලබන්නේ After shocksයනුවෙනි. මෙකී After shocks හෙවත් පසු කම්පන තත්ත්වයක්‌ භූමි කම්පාවෙන් පසු දවසක්‌ පවතී; එහෙමත් නැත්නම් දවස්‌ දෙකක්‌ පවතී; ඉන්පසු නැත්තටම නැතිව යයි.

ඉන්පසු නැවතත් චලනයක්‌ හට ගත්තොත් එයට පසු කම්පනයක්‌ යෑයි කියනු නොලැබේ. එය අලුත් භූ කම්පනයකි. එම අලුත් භූ කම්පනයට අදාළ පසු කම්පන වෙනම තිබේ. ඒ සඳහා වෙනම පියවර ගත යුතුය. වෙනම සහන සේවා ඇති කළ යුතුය. වෙනම සහනාධාර වෙනම ඖෂධ බෙදාහැරිය යුතුය. කලින් වතාවේ භූ කම්පනයට බෙදාහල සහනාධාර සහ බෙහෙත්වලින් දෙවැනි කම්පනය කවර් කර ගැනීමට නොහැකිය. එය අලුත්ම ව්‍යාපෘතියකි.

ඕනෑම යුද්ධයක්‌ අවසන් වූ පසු තවත් ටික කාලයක්‌ සිවිල් නොසන්සුන්තා පවතී, ඉරාකයේ යුද්ධයෙන් පසු අදටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා පවතී, ඇµaගනිස්‌ථානයේ පැවැති යුද්ධයෙන් පසු අදටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා පවතී, එහෙත් කොසෝවෝවේ පැවැති යුද්ධය ඉවරය. පශ්චාත් ප්‍රචණ්‌ඩ ක්‍රියාත් ඉවරය. රට පුරා සාමය ඇත. යළි ප්‍රචණ්‌ඩ ක්‍රියා හටගත්තොත් එය අලුත් යුද්ධයකි. එයට ප්‍රතිකාර කළ යුත්තේ කාලතුවක්‌කු කටවලිනි.

උතුරේ යුද්ධය ඉවර විය. යුද්ධය හා බැඳුණු ප්‍රචණ්‌ඩ ක්‍රියා ද මඳ කලක්‌ යන විට ඉවර විය. ඉන්පසු සාමය ඇති විය. ඉනුත් ඔබ්බෙහි නැවතත් ප්‍රචණ්‌ඩ ක්‍රියා හටගන්නේ නම් එය වූකලී ත්‍රස්‌තවාදයයි. තුවක්‌කුවේ හඬ හැර අන් හඬක්‌ ත්‍රස්‌තවාදය නොදනී. උණ්‌ඩයේ තියුණු විදමන හැර අන් යමක්‌ ත්‍රස්‌තවාදය නොදනී. එසේ නම් ත්‍රස්‌තවාදය කළමනාකරණය කිරීම මර්දනයෙන් මිස ආදරයෙන් කළ නොහැක.

ඉහත සඳහන් ඡේද කිහිපය අප විසින් සටහන් කරන ලද්දේ යාපනය අර්ධද්වීපය තුළ මේ දිනවල හටගෙන තිබෙන තත්ත්වය සලකා බැලීමෙන් පසුවය. එහි බෝවී ඇති ආවා ගෲප් නමැති පාතාල කල්ලියක්‌ විසින් ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇති කරනු ලබන්නේය යන ආරංචිය නිසා රටේ දකුණු ප්‍රදේශය මහත් කනස්‌සල්ලට පත්ව සිටී. එමතු ද නොව එම කල්ලිය විසින් මිනිසුන්ගේ අතපය කපමින් කප්පම් ගනිමින් කරනු ලබන නීච ක්‍රියා නිසා යාපනයේ ජනයා ද මහත් භීතියකින් පෙළෙන බව පෙනෙයි. මේ අසරණ මිනිස්‌සු පුරා අවුරුදු 30 ක්‌ යුද්ධයෙන් අන්ත දුක්‌ වින්දහ. යාපනේ වෙඩි හඬ ක්‍රමයෙන් වියෑකී යන්නේ වසර 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ය. ඉන්පසු යාපනයේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට හැරුණු අතර එය අවුල් කිරීමට උත්සාහ කළෝ දෙමළ ජාතික සන්ධානය වැනි අන්ත ජාතිවාදීහුයá උතුරේ යුද්ධය පිටරටවලට විකුණා එදිනෙදා ආදායම සොයාගත් කොළඹ සිටින දේශපාලනඥයෝය.

ආවා ගෲප් යනු තරුණයන් විසින් මෙහෙයවනු ලබන කප්පම් කල්ලියකි. ප්‍රභාකරන් සිය ත්‍රස්‌ත ජීවිතය පටන් ගන්නා ලද්දේත් මෙලෙසම ය. ඔහු මුලින්ම කළේ හොර බඩු ව්‍යාපාරයයි. ඉන්දියාවේ රාමේෂ්වරම් නගරයෙන් පටවන හොර බඩු වැල්වැටිතුරේදී ඔහු විසින් ගොඩබා ගන්නා ලද්දේය. පසු කලෙක කොටි සංවිධානය පටන් ගන්නා ලද්දේ ප්‍රභාකරන්ගේ මෙකී හොර බඩු සෙට්‌ එක විසිනි. එදා සිටි ආණ්‌ඩුව එම හොර බඩු සෙට්‌ එක එදාම විනාශ කර දැමුවේ නම් ප්‍රභාකරනුත් නැතá කොටි සංවිධානයත් නැත.

යුද්ධය නිම වූ පසු එම ප්‍රදේශවලට කඩා පැන මිනිසුන්ගේ අතපය කපන සහ කප්පම් ගන්නා කල්ලි සිටිත්නම් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුත්තේ ත්‍රස්‌තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරයෙනි. කොටි සංවිධානයේ ආරම්භක අවස්‌ථාවේදී තිබූ සියලු ලක්‍ෂණ ආවා ගෲප් එක සතුය. කොටින් කප්පම් ගත්තාහ. ආවා ගෲප් එකත් කප්පම් ගනිති. කොටින් මිනිසුන්ගේ අත් පා කැපූහ. ආවා ගෲප් එකත් මිනිසුන්ගේ අත් පා කපයි. එබැවින් ආවා ගෲප් එක ආපයින් ආපසු යෑවිය යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.