මාස්‌ටර්ප්ලෑන් එක්‌ක හැප්පෙන
කුඩුම්බිගල පුරා විද්‍යා ප්ලෑන


ප්‍රතිසංස්‌කරණ නිසා පුරාවස්‌තුවලට හානි වෙලා - පුරා විද්‍යාව
එහෙම වෙලා නෑ කිව්වෙත් පුරා විද්‍යාවම තමයි - කුඩුම්බිගල නාහිමි

සංචාරක පාරදිසයක්‌වු අරුගම්බ වෙරළ තීරය පසුකර කිලෝ මීටර් 17ක්‌ ගිය කල්හි හමුවන්නේ සුන්දර පානම ගම්මානයයි. එතැන් සිට වමට හැරි කුමන වන පෙතට යන ගුරු පාරදිගේ කිලෝ මීටර් 15 ක්‌ පමණ ගිය කල්හි අපට මහා පර්වත කිහිපයක්‌ මුදුනත පිහිටා ඇති දාගැබ් සමුහයක්‌ පෙනෙයි. ඒ වසර සිය දහස්‌ ගණනක ඉතිහාසයක තොරතුරු සගවා ඇති කුඩුම්බිගල වන සෙනසුනයි.

කාවන්තිස්‌ස රජු සහ දුටුගැමුණු රජුගේ අනුග්‍රහය මත නන්දමිත්‍ර යෝධයා ද මෙම පුදබිම ගොඩනගන්නට දායකවූ බව ඉතිහාසයේ කියවේ. මෙම ගල් පර්වතයේ කොටසක්‌ ඈතට කුඩුම්බියක හැඩට දිස්‌වන නිසා මෙම සෙනසුනට කුඩිම්බිගල යෑයි නම ලැබී ඇතැයි පැවසේ.

අක්‌කර 640 වන අරණ පුරාවට මෙම පුදබිමෙහි විවිධ වූ පුරාවස්‌තුන් විසිර ඇත. මෙම සෙනසුනෙ පර්වත මස්‌තකයේ දාගැබ් 08 ක්‌ පමණ තිබී ඇත. අතිතයේ සගරුවනට නිබදවම සෙවන දුන් කටාරම් කෙටූ ළෙන් සියයකට අධික සංඛ්‍යාවක්‌ මෙම වනපෙතේ දක්‌නට ලැබෙයි. එක්‌ දාගැබක්‌ ඉන්දියාවේ ධම්මික ස්‌ථූපයට සමානකමක්‌ දක්‌නට ලැබේ. මනස්‌කාන්ත පොකුනු හා පියගැට පෙළවල් සහිත මහා උරුමයන් රැසක්‌ අදටද පරිසරයේ අකාරුණික බව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම පුදබිම රැක ගන්නට නිසි ක්‍රමවේදයක්‌ නොමැති කමින් විනාශ වෙමින් පවති.

අතීතයේ පැවති යුධමය වාතාවරණය, දුරභික්‌ෂය සහ සොර සතුරු උවදුරු ආදී දේ නිසා දිගාමඩුල්ල මිටියාවතම පාළුවට යද්දී මෙම තපෝවනයද නැවතත් වන වදුළට යටව යන්නට වීය. මේ ආකාරයෙන් වසර සිය දහස්‌ ගණනක්‌ ජනයාගෙන් වසන්ව තිබු මෙම සෙනසුන කතෝලිකයෙක්‌ව පසු කාලයේ බුදු දහම වැළඳගත් මෛත්‍රී නම් උපාසකයෙකු 1942 වසරේදී පැමිණෙන්නට වුවේය.

ඉන්පසුව 1954 වසරේදී මෙම පුදබිමට තාඹුගල ආනන්ද ස්‌ථිවිරයන් පැමිණෙන්නට වූයේ මෙම පුදබිම නැවතත් ගොඩ නගන්නට අදිටන් කරගෙනය. වසර සිය දහස්‌ ගණනකට පෙර අරාමවාසී භික්‌ෂුන්වහන්සේලා වැඩම කර සිටි මෙම ළෙන් කුටි නැවතත් පිළිසකර කරමින් නැවතත් ධර්මය බෙදාහරින පුදබිමක්‌ බවට පත්වන්නට වුහ. සක්‌මන් මළු, පැන් පොකුණූ, විශ්‍රාම ශාලා දාන ශාලා සහ පුස්‌තකාල ඇතුඵ දේ ගොඩනගමින් මෙම ස්‌ථානය නැවතත් ධර්මය බෙදාහරින දහම් බිමක්‌ බවට පත් කරන්නට විය. වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ ජරාවාස පැවති ලෙන් නැවතත් කළුගල් සහ මැටි යොදා සකස්‌ කරමින් හුණු බදාමයෙන් පිරියම් කොට නැවතත් ආරණ්‍ය භික්‌ෂූන්ට වාසය කළ හැකි ආකාරයට සකස්‌ කරන්නට විය.

තාඹූගල ස්‌ථවිරයින් දායකයින් එකතු කරගනිමින් චෛත්‍ය සංවර්ධන සභාව පිහිටුවා ඒ හරහා රුපියල් ලක්‌ෂයක මුදලක්‌ එම සමයේ එකතු කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදී මෙම පුදබිමේ පිහිට ඇති දාගැබ නැවතත් ප්‍රතිසංස්‌කරණය කරන්නට විය.

89 වසරෙදි මොණරාගල ගල්වෙල ලොල්වල තපෝ වනයේදි වසරේදි තාඹුගල හිමියන් ඝාතනය කළ නිසා මෙම වන සෙනසුනෙහි භාරකාරිත්වය පැවරෙන්නේ ගම්පහ සිව්රලුමුල්ලේ ධම්මසිරි ස්‌වාමින්ද්‍රයන් වහන්සේටය.

මේ අකාරයෙන් වග වළසුන් ග්‍රහණ මෙම වන අරණේ සිටිමින් භාවනායෝගීව සිටින හිමිවරුන්ටද ඒ අතරේ ත්‍රස්‌තවාදි සමයේ මහත් වූ කරදර හිරිහැර මෙම පුදබිම වෙත එල්ල වන්නට විහ. එම නිසා 80 දශකය වන විට මෙම ආරණ්‍යයෙන් භික්‌ෂූන් වහන්සේලා රැසක්‌ ඉවත්වූ අතර ඉතිරිවූ භික්‌ෂූන් වහන්සේලා දෙතුන් නමක්‌ පමණි. දිගින් දිගටම මෙම වනස්‌පුරයේ අරක්‌ගත් ත්‍රස්‌තයන්ගෙන් පීඩාවන් එල්ලවන විට ඉතිරි හිමිවරුන්ද මෙම සෙනසුන අත්හැර ගොස්‌ පානම පුරවරයේ සිට මෙම පුදබිම රැකගන්නට මහත් වෙහෙසක්‌ ගන්නට වූහ.

භික්‌ෂූන්ගෙන් තොරවූ මෙම වන සෙනසුනේ කොටි යකා නටන්නට වුහ. කුටි ළෙන් කඩා බිඳ දමමින් පුස්‌තකාලය ගිනි තබමින් මහත්වූ හානියක්‌ මෙම පිංබිමට ත්‍රස්‌තයින් විසින් සිදු කරන්නට වූහ. නැවතත් සාමයේ අරුණැල්ල පතිත වීම නිසා මෙම පිංබිමද නැවතත් සගරුවණින් පිරිගොස්‌ ලක්‌වාසී ජනතාවගේ වන්දනාමානයට ලක්‌වුන ස්‌ථානයක්‌ බවට පත් වන්නට වූහ. සිවුරුළුමුල්ලේ ධම්මසිරි හිමියන්ගේ අභාවයෙන් පසු මෙම ආරණ්‍ය සේනාසනය භාරවන්නේ පැල්වත්තේ බුද්ධවංශ හිමියන්ටය.

මේ වන විට දෙස්‌ විදෙස්‌ ලාංකිකයන්ගේ නොමද බුහුමනට වන්දනාවට ලක්‌ වෙමින් තිබෙන මෙම පින් බිමේ භික්‌ෂුන් වහන්සේලා 13ක්‌ වැඩ සිටිති. එම නිසා එම ළෙන් කුටි සකස්‌ කරන්නට ගොස්‌ බුද්ධවංශ හිමිට සිදුවූයේ පොලිසි ගානේ රස්‌තියාදුවන්නටය.

මේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පැල්වත්තේ බුද්ධවංශ හිමියන් 'ඉරිදා දිවයින'ට කියු කථාවයි.

"මෙම ආරණ්‍ය සේනාසනයේ මේ වන විට දෙස්‌ විදෙස්‌ භික්‌ෂුන් වහන්සේලා 13 නමක්‌ පමණ වැඩ වාසය කරනවා . එම නිසා භික්‌ෂූන් වහන්සේලාට වැඩ සිටිමට ළෙන් කුටි ප්‍රමාණවත් නොවීම දැඩි ගැටළුවක්‌ බවට පත් වෙලා තිබෙනවා. එනිසා 2012 වසරේදී අපි මෙම ලෙන් ප්‍රතිසංස්‌කරණය කරන්නට පටන් ගත්තා. ඒ මොහොතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපිව දැනුවත් කලා මෙම ළෙන් කුටි අලුත්වැඩියා කරන්නට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතු බවට.

"එම නිසා අපි 2013 වසරේ මෙම ලෙන් අලුත්වැඩියා කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටියා. නමුත් මේ වෙනකම් අපිට අවසර ලැබුනේ නැහැ. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙම ස්‌ථානයට දෙවතාවක්‌ ආවා. හිටපු පුරා විද්‍යා අධ්‍යක්‌ෂක ශිරාන් දැරණියගල මහාතාත් මෙ ස්‌ථානයට ආවා. මේ පිsළිබඳව වාර්තාවක්‌ සකස්‌ කරනවා කීවා. නමුත් මේ වනකම් අපිට අවසර ලැබුනේ නැහැ. මෙම ස්‌ථානයේ පිළිසකර කරන්න. මේ වන විට 1954 දී තාඹුගල හිමියන් පිළිසකර කර විනාශව යමින් සිටි ලෙන් කූටි කිහිපයක්‌ අපි ඒ වෙන කොටත් ගඩොලින් බැදලා ප්‍රතිසංස්‌කරණය කරලා තිබ්බේ.

"දැනට දින කිහිපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්මේන්තුවෙන් අනවසර ඉදිකිරීම් කළ බවට තොරතුරක්‌ ලැබුණ බව පවසමින් අපේ සෙනසුනට ආවා. ඇවිත් ඉදිකිරම් බලලා මෙතන අළුතින් මොකක්‌වත් ඉදි කරලා නැහැ, කවුරු හරි බොරුවක්‌ කියන්න ඇති කියලා යනුවෙන් පවසා පිටව ගියා. එහෙම ගිහිල්ලා ඒ අය පානම පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ දාලා තිබ්බා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ප්‍රතිසංස්‌කරණය කර තිබෙන ලෙන් තුනක ප්‍රතිසංස්‌කරණය කරන ලද කොටස්‌ කඩා ඉවත් කරන ලෙසට පවසා සිටියා.

"මම මේ ලෙන් සකස්‌ කලේ භික්‌ෂූන් වහන්සේලාට වැඩ සිටින්නට දෙස්‌ විදෙස්‌ සිටින දායකයින්ගේ උදව් ආධාර මත. එක නිසා මට මේවා කඩලා දාන්න බැහැ. එහෙම නම් ඔබතුමාලා මේවා කඩලා දාන්න යෑයි මම කියා සිටියා. ඔබ වහන්සේ මෙම ඉදිකිරීම් කඩලා ඉවත් කලේ නැත්නම් අපට සිදු වෙනවා ඔබ වහන්සේව අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒකනිසා මෙම ඉදිකිරීම් ඉවත් කරන්න කටයුතු කරන්න යනුවෙන් පවසා සිටියා"

මේ පුරාවිද්‍යා නිලධාරීන් සහ පොලිසිය අතර කුඩුම්බ්ගල නායක හිමියන් සමග ඇතිවු කථාබහ පිළිබදව විස්‌තරයි.

උන්වහන්සේ 2013 වසරේ සිට මෙම වන සෙනසුන ලෙන් ප්‍රතිසංස්‌කරණය කරන්නට නිරන්තරයෙන් අවසර ඉල්ලා සිටි බව කියති. විටින් විට නිළධාරි නඩ පැමිණ වාර්තා සකස්‌ කර මාස්‌ටර් ප්ලෑන් සකස්‌ කර දෙන්නම් යෑයි පවසා ගියද වසර 03 ක්‌ යනකම් පුරාවිද්‍යා නිලධාරීන් නිදාශීලීව ඇතැයිද කියති.

මේ ආකරයෙන් කොළඹට ගොස්‌ තුන් වතාවක්‌ ඉල්ලීම් කළද ඒවා බීරි අලින්ට වයනා වීනා වැයුමක්‌ම විය. අධ්‍යක්‌ෂකතුමා සෙනසුනට පැමිණ ගියද හිමියන්ට සෙතක්‌ව නොමැත. එම නිසා මේ වන විට කුඩුම්බිගල නායක හිමියන් අන්ත අසරණව ඇත. භාවනායෝගිව වැඩ වාසය කරන භික්‌ෂූන් වහන්සේලා නිසි පරිදි බවුන් වඩන්නට ආරක්‌ෂිත ලෙනක්‌ නොමැතිවම ගැටළුවක්‌ බවට පත්ව ඇත.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපර්තමේන්තුවේ අධ්‍යක්‌ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙසේ පවසා සිටියේය.

කුඩුම්බිගල සේනාසනයේ ළෙන් ප්‍රතිසංස්‌කරණයක්‌ කරන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා යුතුයි. නමුත් මෙ ස්‌ථානයේ අපෙන් අවසරයක්‌ නොගෙනයි එම ස්‌ථානවල ප්‍රතිසංස්‌කරනයන් කළේ. මෙම ඉදිකිරීම් නිසා පුරා වස්‌තු වලට හානි වෙලා තියෙනවා. පුරා වස්‌තු විකෘති වෙලා තියෙනවා. 2013 ඉදන් මෙම ස්‌ථානයේ ළෙන් ප්‍රතිසංස්‌කරණය කරන්න අවසර ඉල්ලුවේ නැහැ. කුඩුම්බිගල හාමුදුරුවන් අවස්‌ථා කිහිපයක්‌ම මේ පිsළිබදව කථා කිරිම සදහා කාර්යාලයට ආවා. වෙන තැන්වල පුරා වස්‌තු විනාශ වෙනවා කියලා මෙම ස්‌ථානයේ පුරා වස්‌තු විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. අනෙක මෙම ස්‌ථානයේ ඉදිරියේදී භීක්‌ෂූන් වහන්සේලා 50 ක්‌ පමණ සිටියොත් ඒ සියල්ලටම ළෙන් දෙන්න වෙනවා නේද? පුරා වස්‌තු වලට හානියක්‌ නොවන මෙම ස්‌ථානයේ හිමිවරුන්ට වාසය කරන්න පුළුවන්. එම නිසා මෙම ස්‌ථානයේ කරන්න අවසර දෙන්න පුළුවන් කමක්‌ නැහැ.

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂකවරයා පවසන්නේ 2013 සිට අවසර ඉල්ලා නැති බවය. කුඩුම්බිගල හිමියන් පවසන්නේ 2013 සිට අවසර ඉල්ලු බවය.

මේ පිළිබදව කුඩුම්බිගල තපෝ වනයේ සේනාසනාධිපති හිමි නැවතත් මෙලෙස කීවේය.

"පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයාගෙන් අපි 2013 සිට අවසර ඉල්ලුවා මෙම ලෙන් ප්‍රතිසංස්‌කරණ කරන්න. 1954 සිට මෙහි වැඩ සිටි හිමිවරුන් තමයි මේවා ආරාක්‌ෂා කළේ. එදා පටන් මෙම ස්‌ථාන රැකගන්න මුරකරුවෝ දෙන්නෙක්‌ දැම්ම නම් පුරාවිද්‍යා දෙපර්තමේන්තුවට කොච්චර මුදලක්‌ යයිද මෙම ස්‌ථානය රැකගන්න. අපි තුන් වරක්‌ කංඩායම් වශයෙන් ගොස්‌ අවසර ඉල්ලුවා මෙම ලෙන් අළුත්වැඩියා කරන්න. නමුත් අවසර ලැබුනේ නැහැ. අපි මෙම ස්‌ථානයේ පුරාවස්‌තු විකෘතියක්‌ කරන්න ගියේ නැහැ. අපිටත් වුවමනා වන්නේ මේවා රැකගන්න.

54 දී තාඹුගල ආනන්ද ස්‌ථිවිරයන් බිත්ති බැඳ තිබූ ලෙන් වේයෝ හුඹස්‌ බැදලා දිරාලා තිබ්බේ. එම නිසා තමයි අපි භික්‌ෂූන් වහන්සේලාට සිටින්නට හැකි ආකාරයෙන් ඒවා සකස්‌ කරන්න හැදුවේ. මෙම ගල් ලෙන් ආසන්නයට නිතරම වගේ කොටි, වළස්‌සු සහ අලි එනවා. එම නිසා ගල්ලෙන ඉදිරිපිටට අව්වෙන් සහ වැස්‌සෙන් ආරක්‌ෂා වෙන්න පොඩි පියස්‌සක්‌ හදලා ඉදිරියෙන් ආවරණයක්‌ යොදන්න කටයුතු කළාම පුර විද්‍යා නිලධාරීන් කියනවා ඉස්‌සරහට ඉටි කොළයක්‌ දාලා වහළට පිදුරු දාන්න කියලා. අලින්ගෙන් කොටින්ගෙන් සහ වළසුන්ගෙන් ආරක්‌ෂා වෙන්න ඉටි කොලයක්‌ දාලා පුඵවන්ද? එම ඉලුක්‌ වේයන්ගෙන් සහ අලින්ගෙන් බේරගන්න පුළුවන්ද?

මෙම ලෙන් පිළිසකර කිරීමට 2013 වසරේ සිට අවසර ඉල්ලා නොසිටි බව සෙනරත් දිසානායක මහතා පවසා සිටියි. නමුත් කුඩුම්බිගල හිමියන් 2013.04.22 පළමු ලිපිය දෙන ලදී. එයටත් ප්‍රතිචාර නැති කල 2014.12.17 දින දෙවන ලිපියත් එයටද ප්‍රතිචාර නැති කල 2016.06.28 දින තෙවන ලිපියනුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇත.

අධ්‍යක්‌ෂකවරයා එසේ 2013 දී ඉල්ලිමක්‌ කර නැතැයි පවසන්නේ නම් පසුගිය රජයේ ජාතික උරුමයන් පිළිබඳ ජගත් බාලසූරිය මහතාගේ අවධානය යොමුව අංක ජා.උ.අ./02/ 28 යන අංකය යටතේ 2013.07.31. දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිපියක්‌ යවා මෙම අපහසුතාවයට පත් භික්‌ෂුන් වහන්සේලා හට ලෙන් පිළිසකර කිරිම සදහා සති දෙකක්‌ තුළ උපදෙස්‌ ලබා දෙන ලෙස දැනුම්දී ඒ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාශයට දැනුම් දෙන ලෙසට දන්වා නොතිබුනේද?

එම ඇමැතිවරයාගේ ලිපියට පිළිතුරක්‌ නොලැබුන කල්හි 2013.09.13 වන දින තවත් ලිපියකින් මෙම ගැටළුව පිළිබඳව ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යාංශයේa දැනුම් දුන්නේ නැතිදැයි අපටද අසන්නට සිදුව ඇත.

එසේ නම් මෙම අවසර ඉල්ලීම 2013 වසරේදී කුඩුම්බිගල හිමියන් නොකල බවට අධ්‍යකෂ ජනරාල් වරයා කියන්නේ කෙසේද? එසේ නොමැතිනම් ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යංශය මගින් මේ පිළිබඳව දැනුම් දුන්නේ නැතිදයි පවසන්නේද?

එසේ නම් වසර 03 ක්‌ යනකම් පුරාවිද්‍යා නිලධාරීන්ට මෙම ලෙන් පිළිසකර කිරීම සඳහා උපදෙස්‌ ලබාදීමට නොහැකි වීමෙන් මෙම ආයතනයේ කඩිසර බව මැනවින් කියාපානු ලබයි.

පුරාවස්‌තු රැකීම පුරා විද්‍යාව සතු කාර්යක්‌ බව සැබැය. නමුත් මහා පරිමාණයෙන් දැවැන්ත පුරා වස්‌තු විනාශයන් සිදුවෙද්දී ඒ ගැන තොත්ත බබ්බුන්සේ සිටින පුරාවිද්‍යා නිලධාරීන් මෙම කුඩුම්බිගල ලෙන් ටික පිsළිසකර කිරීමට වත් නිසි උපදෙසක්‌ නොදෙන්නේ කුමන හේතුවක්‌ නිසාදැයි අපට අසන්නට සිදුව ඇත. යම් හෙයකින් මෙම ස්‌ථානයෙන් මෙම හිමිවරුන්ද ඉන්නට තැනක්‌ නොමැතිව පිටව ගියහොත් තිරුක්‌කෝවිල, සාගම සහ මොට්‌ටයාගල දාගැබ්වලට අත්වූ ඉරණමම අත්වන බවද පුරාවිද්‍යා ලොක්‌කන්ට පවසා සිටිය යුතුය. එම නිසා මෙම ලෙන් සහ හිමිවරු රැකෙන ආකාරයේ වැඩ පිළිවෙළකට දැන්වක්‌ කඩිනමින් යා යුතු වග මෙසේ අපට සටහන් කරන්නට සිදුව ඇත.

සුසන්ත අමර බන්දු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.