තරුණයන් වෙඩි කෑ පසු යාපනේ අලුත්ම කතාව...

ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත
තරංග රත්නවීර, ප්‍රභාත් විතාන යාපනයේ සිට



මළගමක පසු දින වැනිය. යාපනය අර්ද්වීපයම මහ මූසල අන්දකාරයකින් වෙලී ගොස්‌ය. රාජ්‍ය, පෞද්ගලික ආයතන මෙන්ම ප්‍රධාන නගරවල සුපිරි වෙළෙඳසැලේ සිට ගමේ තේ කඩයටත් දොරගුළු වැටී තිබේ. ඇතැම් කඩ සාප්පු ඉදිරිපිට කළු කොඩි ළෙලදෙන අයුරු ද ඇස ගැටිණි. මග දිගට ද තැන, තැන කලු කොඩි එල්ලෙයි. ඉඳහිට ධාවනය වන යතුරුපැදියක්‌ හැරෙන්නට මගතොටේදී වාහනයක්‌ ඇස ගැටුණේ කලාතුරකිනි. අපි උතුරේ ගම් නියම්ගම් සිසාරා සංචාරය කරමින් සිටිමු. නගරයේ පමණක්‌ නොව, ගම්මානවල ද දොර පියන් විවර වූ නිවසක්‌ සොයාගැනීම අසීරු තරම්ය.

මේ අයුරින් උතුර පාළුවට ගොස්‌ තිබුණේ පසුගිය 25 වැනිදාය. පොලිස්‌ නිලධාරීන් විසින් වෙඩි තබා මරා දැමුවාය කියන යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා වෙනුවෙන් උතුරේ ජාතිවාදී කණ්‌ඩායම් මෙහෙවන 'හර්තාල් ව්‍යාපාරයක්‌' නිසාය. යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියාව යන දිස්‌ත්‍රික පුරා 'හර්තාල්' ක්‍රියාත්මක වී තිබුණ ද 'හර්තාල්' ඇවිලී ගියේ කිලිනොච්චියේ පමණි. සිද්ධිය වූ යාපනයේ ද සමකාමී අයුරින් හර්තාලය ක්‍රියාත්මක වන අයුරු අපට පෙනෙනි.

අපේ රටට උද්ඝෝෂණ, උපවාස 'හර්තාල්වල අඩුවක්‌ නැති බව සැබෑය. එහෙත් උතුරේ සාමාන්‍ය ජනතාව කම්පනයට පත්ව සිටින්නේ යුද ගිනි නැති උතුරේ නැවතත් 'හර්තාල්' විලාසිතාවක්‌ බවට පත්වෙමින් තිsබීම නිසාය. ඒ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසුන් කණාමැදිරි එළියටත් ඇති බිය නිසාය. උතුරේ සාමාන්‍ය ජනතාව පුංචි කෝළහළයක්‌ දකින්නටත් අකමැතිය. කෝළහාලවලට මුල පුරණ අයට ද වෛර කරන්නේය. ඔවුන් ඒ බව අපට කීවේ පසුගිය දිනක උතුරේ කළ සංචාරය අතරතුරදීය.

උතුරෙන් ලැබෙන තොරතුරුවලට අනුව පොලිස්‌ වෙඩි පහරට ලක්‌ව මිය ගියා කියන නඩරාජා ගජන් සහ සුදන්දිරාජා සුලක්‌ෂන් යන විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ද 'සුදෝ සුදු' චරිත නොවේ. කාලයක්‌ ශිෂ්‍යභාවය අහෝසි කර තිබී නැවතත් ශිෂ්‍ය අයිතිය ලබාදී ඇති සිසුන් දෙදෙනෙකි. එමෙන්ම නිතර කළහාකාරී ලෙස හැසිරෙන සිසුන් දෙදෙනෙකි. තරුණ වයසේදී එවැනි ක්‍රියාකාරකම් සාමාන්‍ය දෙයකි. එහෙත් මත්වතුරෙන් මත්ව පිස්‌සු නැටීම විශ්වවිද්‍යාල සිසුන්ට නොගැලපෙන බාල වැඩකි. පසුගිය 20 වැනිදා රාත්‍රියේ ද ඔවුන් දෙදෙනා සතුටු සාඡ්ජයකට සහභාගි වෙමින් පමණ ඉක්‌මාව යන තරමට මත්පැන්වලින් බරිත වී සිට ඇත.

යාපනය ප්‍රදේශයේ පැවති සතුටු සාඡ්ජය අවසානයේ සුලක්‌ෂන් විසින් ගජන්ව නිවසට බැස්‌සවීමට යතුරු පැදියකින් චුන්නාකම් ප්‍රදේශයට ගියේය. වේලාව රාත්‍රී 12 ට ආසන්නය. යාපනය ප්‍රදේශයේ පාතල කල්ලි සීග්‍රයෙන් හිස ඔසවමින් සිටින බැවින් එදින රාත්‍රියේ පොලිසිය විසින් විශේෂ මුර සංචාරයක නිරත වෙමින් සිටියේය. යාපනය පොලිස්‌ වසමේ කන්කසන්තුරය මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීහු බමන මතින් ඉගිලෙන තරුණයන් දෙදෙනාට යතුරුපැදිය නතර කරන ලෙස සංඥා කළහ. වෙරි මතින් සිටි තරුණයන් දෙදෙනා පොලිස්‌ අණ කනකට නොගත්හ. නැවත පොලිස්‌ නිලධාරීහු නලාව හඬ නැඟුහ. එහෙත් යතුරු පැදිය නතර නොවිණි. අවසානයේ පොලිස්‌ නිලධාරීන්ගේ ගිනි අවි ක්‍රියාත්මක විය. එක දිගට ක්‍රියාත්මක වූ වෙඩි පහර සුලක්‍ෂ්න්ගේ උදරයට සහ ගජන්ගේ හිසට වැදිණි. අනතුරුව තරුණයන් දෙදෙනාව යාපනය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස්‌ තිබිණි.

තරුණයන්ගේ ඥතීන් කියන විදිහට රාත්‍රී මුර සංචාරයේ සිටි පොලිස්‌ නිලධාරීන් සිසුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළේ නම් එය පොලිසියේ ගොං පාට්‌ එකකි. මහ මග ගමන් කරන යතුරුපැදියක්‌ පොලිස්‌ අණට කීකරුව නතර නොකළ පමණින් වෙඩි තැබීමට පොලිසියට බලයක්‌ නැත. යතුරු පැදියේ ලියාපදිංචි අංකය සටහන් කරගෙන නීති මාර්ගයෙන් කටයුතු කිරීම පොලිසියේ වගකීමය. එහෙත් කොකුවිල් ප්‍රදේශයේ මුර සංචාරයේ සිටි පොලිස්‌ නිලධාරීන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව ඕනෑම හරකෙකුට තේරුම් යන්නේය. එමෙන්ම අනතුරේ ස්‌වභාවය ද ගැටලු සහගතය. හෙල්මටයට හානි නොවී ගජන්ගේ හිසට බරපතල හානිවීම, සිද්ධිය සිදු වී ඇති ස්‌ථානයේ තාප්පයේ ඇති ලේ පැල්ලමේ ඇඟිලි සලකුණු තිබෙන අයුරු සැකයට තුඩු දෙන කරුණුය. එහෙත් එය රස පරීක්‍ෂණ වාර්තා මෙන්ම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවලින් සැක හැර හෙළිදරව් කර ගතයුතු කරුණුය. එහෙයින් ඒ ගැන කතා නොකර සිටීම අපගේ අදහසය.

ඒ එක සිද්ධියකි. මේ ඒ දිනවලම යාපනෙන් වාර්තා වූ අනෙක්‌ සිද්ධියයි. බුද්ධි අංශ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුව නාඳුනන පිරිසක්‌ විසින් කඩුවලින් කපා කොටා පලා යැමය. දැන් අප සිටින්නේ ඒ සිද්ධිය සිදු වූ චුන්නාකම් නගර මාධ්‍යයේය.

''ළමයින්ට වෙඩි තියපු සිද්ධියයි, මේ සිද්ධියයි අතර කිසිම සම්බන්ධයක්‌ නෑ මහත්තයො... මේ පොලිස්‌ නිලධාරීන් දෙන්නව කැපුවේ මංකොල්ලකාරයො. ආන්න අර රෙදි කඩය කොල්ල කන්න ඇවිත්...'' චුන්නාකම් නගරයේ ව්‍යාපාරිකයෙක්‌ අප සමඟ කතාබහට එක්‌වෙමින් සිද්ධියට තුඩු දුන් රෙදි සාප්පුව ද පෙන්නුවේය.

''ඔය මංකොල්ලකාරයන්ගෙන් අපිට හරිම කරදරයි. දැන් සති දෙකකට ඉස්‌සර වෙලා මගේ කඩේටත් ඇවිත් ලාච්චුව සුද්ද කරගෙන ගියා. මහ දවල් දෙනෝ දාහක්‌ ඉදිරිපිට තමයි උන් කොල්ලකාගෙන ගියේa. කළු ඇඳුම් ඇඳගෙන, රම්බෝ පිහි ඉනේ ගහගෙන, මන්නා පිහි අරගෙන එන්නේ. උන්ගේ තියෙන මරුමුස්‌ පෙනුමට කොල්ල කනවා දැක්‌කත් කවුරුවත් එන්නෙ නෑ. නොදැක්‌කා වගේ ඉන්නවා. එදා අර රෙදි කඩේ කොල්ලකනකොට ඒ පොලිස්‌ නිලධාරීන් දෙන්නා නොදැක්‌කා වගේ හිටියේ නෑ. කොල්ලකාරයො ඉදිරියට ගියා. එහෙම ගිය නිසා තමයි ඒ කොල්ලකාරයො පොලිස්‌ නිලධාරීන්ව කැපුවේ. ඇත්තටම ඒ දෙන්නා පොලිස්‌ නිලධාරීන් කියලා අපිවත් දැනගෙන හිටියේ නෑ. සිද්ධිය වෙලා පහුවෙනිදා තමයි අපිත් දැනගත්තෙ...''

''අනේ මහත්තයො ෙµdටෝ ගන්න නම් එපා... මේවා රටට කියන්න ඕනා නිසා අපි කතා කළේ මහත්තෙලාව විශ්වාස කරලා. අපේ නම් පත්තරවල දාන්න එපා. අපි හෙටත් මේකෙ බිස්‌නස්‌ කරන්න ඕනැ...'' අප සමඟ කතා කරමින් සිටින ව්‍යාපාරිකයාව නිශාන් එස්‌. ප්‍රියන්ත ජායාරූපයකට හසුකරගැනීමට සූදානම් වෙද්දී ඔහු එසේ ප්‍රතික්‌ෂේප කළේය.

''දැන් ආයෙමත් යාපනේ 60, 70 දශකවල වගේ කප්පම් කල්ලි වැහි වැහැලා. කිසිම අණක්‌ ගුණක්‌ නෑ. වචනය වැරදුණ ද මන්නවලින කොටනවා. මනුස්‌සකමක්‌ කියලා ගෑවිලාවත් නෑ. දැන් ප්‍රචාරය අරිනවා කැම්පස්‌ ළමයින්ට වෙඩි තිබ්බට 'රිටන්' එකට පොලිසියේ අයට කෙටුවා කියලා. උන්ට කිසිම ජාති ආලයක්‌ නෑ මහත්තයො... මේ කප්පම් කල්ලි මෙච්චර හයිරන් පෙන්නන්නෙ හමුදාව මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් නොවෙන නිසයි. පොලිසියට මුන්ව මෙල්ල කරන්න බෑ...' ඔහුගේ කතාව ආවේගශීලීය. හදවතේ තෙරපෙන පීඩනය වචන කිරීමට හරි හදිස්‌සිය.

යාපනේ නගරයේ මෙන්ම චුන්නාකම් ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්‌ම උතුරේ පාතාල ක්‍රියාකාරකම් ගැන අප සමඟ කතා බහ කළහ. ඔවුන්ගේ කතාවට අනුව කඩු, පොලු, කිණිසි, අමෝරාගත් පාතාල කණ්‌ඩායමක්‌ යතුරුපැදිවලින් පැමිණ ප්‍රසිද්ධියේ මංකොල්ලකෑම දැන් උතුරට සාමාන්‍ය දෙයකි. මිනිසුන්ට පහරදීම, මහ මඟ ගමන් කරන තරුණියන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීම උතුරේ මැරයන්ට කජු කන ගානය. හරියට දමිළ චිත්‍රපටයක දුෂ්ට ජවනිකා වැනිය.

එල්.ටී.ටී.ඊ. කාඩරයන්ගේ ග්‍රහණයෙන් මිදී නිදහසේ හුස්‌ම ගැනීමට පටන් ගත් උතුරේ මිනිස්‌සු නැවතත් මේ මැරයන්ගේ දුෂ්ටකම් නිසා බියට පත්ව භ්‍රාන්ත වී සිටින්නාහ. එහෙත් මේ රඟ දැක්‌වෙමින් තිබෙන නාඩගම අද ඊයේ පටන් ගත්තක්‌ නොවේ. වසර හතරකට, පහකට ඉහත කාලයක සිට පුංචියට පටන්ගෙන, සෙමෙන් වැඩුණු මැර කල්ලිය. ඒ අතර කාලය තුළ එකී මැර කල්ලි සාමාජිකයන් කිහිපවිටක්‌ම පොලිසියට ද කොටු වී තිබිණි. එහෙත් ඒ මැරයන්ගේ මැරකම් අඩු නොවිණි. උපන්ගෙයි නමක්‌ නොතිබුණාට පසුකාලීනව මේ මැර කල්ලිවලට හරි අපූරු නම් ද පටබැඳිණි. සින්නගේ කල්ලිය, තම්බිගේ කල්ලිය, ටියුෂන් කල්ලිය, කැම්පස්‌ කල්ලිය, සංකර්ගේ කල්ලිය සහ ඩීනෝගේ කල්ලිය උතුරේ පාතාලයේ නම ගිය කණ්‌ඩායම් විය. එහෙත් පසුගිය කාලය තුළ ඒ සියලු පාතාල කණ්‌ඩායම් පරයමින් 'ආවා ගෲප්' ඉදිරියට පැමිණියේය. අවසානයේ සින්නගේ කල්ලිය, තම්බිගේ කල්ලිය ඇතුළු තවත් මැර කණ්‌ඩායම් කිහිපයක්‌ම 'ආවා මැර කල්ලිය සමඟ එකතු විය. මේ වන විට 'ආවා ගෲප්' එකේ සාමාජිකයන් තුන් හාරසීයකට වැඩිය. ඔවුන් අතර සිටින බහුතරය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ය. රජයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ පුනරුත්ථාපනය වී සමාජගත වූවන්ය. එමෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ඥාති තරුණයන් ද 'ආවා ගෲප්' මැර කණ්‌ඩායමේ සාමාජිකයන් වී සිටිති. මෙම මැර කණ්‌ඩායමේ සාමාජිකයන්ගෙන් බහුතරය අවුරුදු දහඅටේ සිට තිහට වැඩි නැති තරුණයන්ය. 'ආවා' මැර කණ්‌ඩායමට නායකත්වය ලබාදෙන්නේ ද හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකි. 'ආවා ගෲප්' හඬත් තනිකරම එල්.ටී.ටී.ඊ හඬය. වෙනසකට ඇත්තේ එල්.ටී.ටී.ඊ ය වෙනම රටක්‌ ඉල්ලුවේ ආයුධ අතින් ගෙනය. ආවා ගෲප් එකට ආයුධ නැත, හයියට ඇත්තේ පිහි, කඩු, කිණිසි, යකඩ පොලු, කලාකිරිඤaඤd වැනි ආයුධ පමණි.

මැරකම්, කොල්ලකෑම් අතරේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ අරමුණ ඉදිරියට ගෙන යැමට ද 'ආවා' මැරයෝ පසුබට නොවෙති. 2013 වසරේ මහවිරු සමරුම් දිනවල මේ මැර කල්ලිය උතුරේ අමතර පන්තිවල දැන්වීම් පත්‍රිකාවන් බෙදමින් කියා සිටියේ 'ප්‍රභාකරන් මිය ගියේ නෑ... අපේ එකම ජාතික නායකයා ප්‍රභාකරන් විතරයි... එතුමා වෙනුවෙන් උතුරේ සෑම තැනකම පහනක්‌ පත්තු කරන්න ඕනා...' කියාය. ආවා ගෲප් නාමය උතුරේ රැව් දෙන්න පටන් ගත්තේ ඒ පත්‍රිකා බෙදීමත් සමඟය. එහෙත් පත්‍රිකා අච්චු ගසා බෙදීමට තරම් ආවා ගෲප් මුදල්වලින් ශක්‌තිමත් නැත. සංවිධානයේ කිසිම සාමාජිකයකු රැකියාවක හෝ නිරතව නැත. එකී මැරයන් නඩත්තු කිරීමට සහ පත්‍රිකා අච්චු ගැසීමට මුදල් පොම්ප කරන්නේ විදේශීය රටවල සිටින කොටි සෙවණැලිය. ලැබෙන එම මුදල ද ප්‍රමාණවත් නොමැති තැන අහිංසක මිනිසුන්ගේ දේපළ කඩා වඩා ගන්නේය.

යාපනය කෝපායි ප්‍රදේශයේ රථ වාහන ගාල් කරන පුද්ගලයන්ගෙන් රුපියල් පනහක කප්පම් මුදලක්‌ අය කිරීම ආවා මැරයන්ගේ ප්‍රථම කප්පම් ගැනීම විය. එසේ කප්පම් එකතු කරමින් සිටින විට එක්‌ වාහන හිමිකරුවකු කප්පම් මුදල නොගෙවා පොලිසියට පැමිණිලිs කරන බව දැනුම් දීමත් සමඟ එම වාහන හිමිකරුට 'ආවා මැර' සාමාජිකයන් දරුණු ලෙස පහරදී තිබිණි. එසේ ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් මුදල් ලබාගැනීම මේ පාතාල මැරයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. එදා සිට උතුරේ ප්‍රදේශවල රිසි සේ පාතාල ක්‍රියාකාරකම් ව්‍යාප්ත කරමින් සිටින 'ආවා' මැරයෝ මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට පහරදීම, තර්ජනය කිරීම, දේපළ විනාශ කිරීම ජයටම කරගෙන යන්නාහ. ආපනශාලාවලට කඩාවැදී බලහත්කාරයෙන් ආහාර පාන ලබාගැනීම 'ආවා' පාතාල මැරයන්ගේ දින චාරියාවේ කොටසක්‌ය. පාසල නිම වී නිවසට එන සිසුවියන්ට ආයුධ පෙන්වා අතවර කිරීම, කාන්තාවන් පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීම එකී මැරයන්ගේ විනෝදාංශයක්‌ විය. බොහෝ විට එසේ අතවරයට පත් වන්නේ සැමියා විදේශගත වී සිටින රූමත් බිරින්දෑවරුන්ය. යුද්ධයෙන් මියගිය සැමියන් නැති කාන්තාවන්ය. මැරයන්ට දක්‌වන බිය නිසා කිසිවකුත් මැරයන් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවෙති. එමෙන්ම එකී මැරයන්ට එරෙහි වූවන්ට සිදු වූයේ ද ජීවිතයෙන් වන්දි ගෙවීමටය. නැති නම් හතර හන්දි කඩාගෙන, හරි හම්බ කරගත් දේපළ කුඩු කරගැනීමකි. පාතාල ක්‍රියාකාරකම්වලට අමතරව තැන, තැන එකතු වන 'ආවා' සාමාජිකයෝ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කරන්නාහ. ගම්මානවල ජනතාව රැස්‌ කර එල්.ටී.ටී.ඊ ය සොයා ගිය විමුක්‌තිය වෙනුවෙන් හඬ නඟන්නාහ. කඩු, කිණිසි ආයුධ රැස්‌ කරන්නාහ. මිය ගිය එල්.ටී.ටී.ඊ නායකයන් සමරන්නාහ.

කළු ඇඳුමෙන් සැරසී, µqල්පේස්‌ හෙල්මට්‌වලින් මුහුණ ආවරණය කරගෙන ගමන් බිමන් යැම 'ආවා' සාමාජිකයන්ගේ විලාසිතාවකි. ශරීර අභ්‍යාසවලින් ඇඟපත පුම්බා ගත් මේ පාතාල සාමාජිකයන් උතුරේ සැරිසරන්නේ රුපියල් ලක්‍ෂ හතර, පහ වටිනා නවීනතම යතුරුපැදිවලිනි. රංචු ගැසී යතුරු පැදිවලින් පාරේ යන එන විට පොලිස්‌ අණටවත් එකී මැරයන් අවනත නොවිණි. එමෙන්ම 'ආවා' මැර කල්ලියට 'එගේන්ස්‌ට්‌' පාතල කණ්‌ඩායම් සමාජිකයන්ව උපන් ගෙයිම මිය පරළොව හැරීමට ද 'ආවා මැරයෝ' පසුබට නොවූහ. පසුගිය කාලයේ ආවා මැර කල්ලිය සහ 'ටී.සී ලේන් එකේ සංකර්ගේ කල්ලිය ආරවුලක පැටලිණි. එතැනදී ඇන කොටාගෙන දෙපැත්තට ගිය පාතාල කණ්‌ඩායම් දෙක නැවතත් තැන, තැන ඇවිළිණි. අවසානයේ තිලිප්පනේ අධිකරණ සංකීර්ණය තුළදීම සංකර්ගේ කණ්‌ඩායමේ සාමාජිකයන් දෙදෙනකුව කපා කොටා ඝාතනය කිරීමට ආවා මැරයෝ ඉක්‌මන් වූහ. ඒ සිද්ධියෙන් පසු ආවා මැරයන් යාපනයෙන් පැන ගොස්‌ කිලිනොච්චිය ප්‍රදේශයේ කැලෑ ගම්මානයක සැඟ වී සිටියහ. මරණවල උණුසුම නිවී ගිය පසු නැවතත් ආවා මැරයන් එළිපෙහෙළියට පැමිණියේය. අනතුරුව 2015 අවුරුද්දේ අප්‍රේල් 25 වැනිදා මනිපායි ප්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයක්‌ අතරතුර යාපනේ විශ්වවිද්‍යාල සිසුන් සමඟ ගැටුමක්‌ ඇති කර ගත්තේය. එම ගැටුමේදී 'ආවා මැරයන්' විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ එක්‌ අතක්‌ වෙන් වෙන්නම කපා තිබුණු අතර, තවත් ශිෂ්‍යයන් හයදෙනකුට අමානුෂික ලෙස පහරදී තිබිණි. ඒ සිද්ධියත් සමඟ 'ආවා මැර' කල්ලියට එරෙහිව මනිපායි පොලිසියට පැමිණිලි තිහකට වැඩි ප්‍රමාණයක්‌ ලැබී තිබිණි. එකී පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ කර 'ආවා මැරයන්' අත්අඩංගුවට ගත්ත ද දේශපාලන බලපෑම් මත නීතිය ලිහිල් විය. එමෙන්ම දිගින් දිගටම ආවා මැරයන් උතුරේ මැර බලය පතුරුවා හරිමින් වැළලුණු එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් හඬ නඟන්නේ දේශපාලන රැකවරණය සහිතවය.

පෙළගැසෙන කතාව අනුව පොලිස්‌ සැරයන් නවරත්න සහ පොලිස්‌ කොස්‌තාපල් හේරත්ව කැපූ 'ආවා' ගෲප් නොහොත් කඩු ගැන්සිය මීට පෙර විශ්වවිද්‍යාල සිසුන්ට පහරදී එක්‌ අයකුගේ අතක්‌ වෙන් කර ඇත. එහෙත් මේ වන විට 'ආවා' සාමාජිකයන් සහ ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් එකට ක්‍රියාත්මක වෙමින් උතුරේ ජාතිවාදය පතුරුවමින් සිටිති. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගෙන යන සියලු අරගලවලට 'ආවා ගෲප්' මැර කණ්‌ඩායමේ පූර්ණ සහයෝගය සහ ආරක්‍ෂාව ලබාදෙන තරමට දැන් ඔවුන් එකමුතුය. ඒ එකමුතුකමේ ශක්‌තිය වැළලුණු කොටි හඬ නැවත ඉස්‌මතු කිරීමය.

ප්‍රභාකරන් මුලින්ම උතුරේ පතුරුවාහැරීයේ මැර බලයයි. අවසානයේ ප්‍රභාකරන් ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදීයා විය. කොටි සංවිධානය ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදී කාණ්‌ඩායම විය. එවැනි මිනී මරු ත්‍රස්‌තවාදීන්ගේ ඇටකටු මිහිදන්ව ඇති පොළොවෙන් නැවත ත්‍රස්‌තවාදීන් බිහිවීමට ඉඩ නැතුවාම නොවේ. එහෙයින් රටේ ආරක්‍ෂක අංශ මීට වඩා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුය. පොලිසියේ අවම හෝ උපරිම බලය ක්‍රියාත්මක විය යුත්තේ බීමතින් යන යතුරුපැදිකරුවන් අරබයා නොව, මැර බලය පතුරුවාහරින මැරයන් ඉලක්‌ක කරගෙනය. එසේ නොවෙන්න නැවතත් අපට මරණ සහතිකය අතේ තියාගෙන ජීවත් වීමට සිදුවීම ද වැළැක්‌විය නොහැකිය.

මේ කතාව අපට කීවේ යාපනේ පාතාලයට යට වී සිටින පීඩිත මිනිසුන්ය. උතුරේ මහ ඇමැති විග්නේශ්වරන්ගේ එළුග තමිල්වලට අකැමැති මිනිසුන්ය. උතුරේ ආරක්‍ෂාව ගැන නැවත වරක්‌ අප තැතිගෙන් සිටින්නෙ එහෙයිනි...

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.