ජයග්‍රහණය දෙපිලටම දෝලනය විය හැක

චමිල කරවිට

ශ්‍රී ලංකාවට යළිත් ක්‍රිකට්‌ වසන්තය උදාවී තිබේ. ඒ සිම්බාබ්වේ සමග වූ තරග 2 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේද සහභාගිත්වය ඇතිව පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේදීය. ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම තරගාවලියට ඉකුත්දා පිටව යන ලද්දේ කණ්‌ඩායමේ මෙහෙයවීමේ ප්‍රධානම අණ දෙන්නා වන නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ඔහුගේ සහායක දිනේෂ් චන්දිමාල් ද රහිතවය. ආබාධ හේතු කොට ගෙන මොවුන් දෙදෙනාට සිම්බාබ්වේ තරගාවලිය මග හැරෙද්දී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ සුක්‌කානම කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම දගපන්දු යවන්නා වන රංගන හේරත්ගේ කර මතට පැටවිණි.

හේරත් යනු ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන්ට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණ සංඛ්‍යාවකට පාර කැපූ ක්‍රීඩකයාය. ඉතිහාසයේ පළමු වතාවට ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව3/0 ක්‌ ලෙස ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණයක්‌ අත්කර ගැනීමට ප්‍රධානම මෙහෙය කරන ලද රංගන හේරත් 38 වැනි වියේදී ශ්‍රී ලංකාවේ 14 වැනි ටෙස්‌ට්‌ නායකයා ලෙසින් කණ්‌ඩායම මෙහෙයවීමට වරම් ලබද්දී ඔහුට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය අහිමිවීම දෛවෝපගතය.

ජාත්‍යන්තර තරග පැවැත්වීමේදී වැඩි තරග අත්දැකීම් යනු නිරන්තරයෙන්ම ජයග්‍රහණය සඳහා වන සාධකයක්‌ බවට පත් වුවත් සිම්බාබ්වේ කණ්‌ඩායමද ජාත්‍යන්තර වශයෙන් එතරම් දක්‌ෂතා දක්‌වනු ලබන කණ්‌ඩායමක්‌ නොවීම හේරත්ගේ අස්‌වැසිල්ලට හේතු වනු ඇත. එහෙත් ප්‍රතිවාදියා සැහැල්ලුවෙන් තැකීමේ ක්‍රමයක්‌ ක්‍රිකට්‌වල නොමැති බැවින් කණ්‌ඩායමේ සියලු දෙනාම සිය උපරිමයෙන් තරග වැදීම තරගාවලියේ සාර්ථකත්වයෙහිලා වැදගත් වනු ඇත.

සිම්බාබ්වේ කණ්‌ඩායමද මෙම තරගාවලියට පිවිසෙන්නේ කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනකු වන ටෙන්ඩායි චටාරා සහ ටිනාෂි පන්යන්ගරා රහිතවීම සිම්බාබ්වේ නායක ග්‍රෑම් ක්‍රිමර්ගේද කණස්‌සල්ලට හේතුවනු ඇත. කෙසේ වෙතත් කණ්‌ඩායම් ශක්‌තිය අතින් ගෙන බැලීමේදී හේරත් සහ ඩිල්රුවන් පෙරේරා හැර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්‌ෂතාවලට සාපේක්‌ෂව සමාන දක්‌ෂතාවයක්‌ සිම්බාබ්වේ පිල සතුවීමද අවධානය යොමු කළ යුතු කරුණකි.

එමෙන්ම සිම්බාබ්වේ තණතීරුලොව වෙනත් රටවල පවතින තණතීරුවලට සමාන නොවීමද ශ්‍රී ලංකා පිල මුහුණ දෙන ගැටලුවකි. එමෙන්ම තරගාවලිය සඳහා සිම්බාබ්වේට ගොඩ බසිමින් දින 3 කට ත් අඩු කාලයකදී පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අභියෝගයද ශ්‍රී ලංකා පිල වෙතයොමු වී තිබේ. කෙසේ වෙතත් වෘත්තීය මට්‌ටමේ ක්‍රීඩකයන් වශයෙන් මේ සියලු අභියෝගයන් ජය ගැනීමේ ශක්‌තිය තිබිය යුතුය. ඒ අනුව බැලීමේදී වඩාත් දක්‌ෂ කණ්‌ඩායම මෙම තරගාවලියේ ජය හිමිකර ගනු ලබන අතර ඔවුන් කවුරුන්ද යන්න ඉදිරි දින කීපයේදී තීරණය වනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.