විදූෂා බළකායේ හිටියේ හැඩකාර අඩු වයසේ අයයි
එල්.ටී.ටී.ඊ. ය ගැන 'සුමදි' කියන කතාව සුමුදු නැත...

තරංග රත්නවීර

1 කොටස

සුමදි තරුණ කාන්තාවකි. වයස අවුරුදු තිහකි. හිරිමල් විය ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනයට බිලි දී සිsටි ඇය තාරුණ්‍ය කැප කර ඇත්තේ හමුදාව සමඟ යුද වදින්නය. මහා කැලෑවේ ගස්‌, ගල් යට තුවක්‌කු කර පින්නාගෙන, සයිනයිඩ් කරල ගෙල දවටාගෙන ජීවත් වූ ඇයගේ ජීවිතය බේරී ඇත්තේ පූරුවේ පිනකටය. එහෙත් ඇය දැන් අබ්බගාතය. හමුදාව සමඟ යුද වදිද්දී නොසිතූ මොහොතක ඇයගේ කලව ප්‍රදේශය පසාරු කරගෙන වෙඩි උණ්‌ඩයක්‌ පුපුරා ගොස්‌ය. ඇය කියන විදිහට සිරුරේ හැම තැනම මූනිස්‌සම් කෑලිය. යුද්ධයේ බිහිසුණු බව හොඳින් අත්විඳ ඇති ඇය ත්‍රස්‌තවාදී ජීවිතය ගැන කතා කිරීමට ද අකමැතිය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ඇය ඒ කාලකණ්‌ණි අතීතය නැවත මතක්‌ කළාය.

අපි පදිංචි වෙලා හිටියේ මයිලඩිවල. අපේ පවුලේ සහෝදර, සහෝදරියෝ දොළොස්‌ දෙනයි. මම පවුලේ හත්වැනියා. අපේ තාත්තා මාළු වෙළෙඳාම් කළේ. අම්මා කඩෙයප්පන් හැදුවා. අපි ජීවත් වුණේ බොහෝම අමාරුවෙන්. අපි ඉස්‌කෝලේ ගියේ මයිලඩි තලෙයි මහා විදුහලට. ඒ කාලේ අපේ ගම්වල මිනිස්‌සු එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලොකු කැමැත්තක්‌ තිබුණා. ප්‍රභාකරන් අපේ දෙයියො කියලා තමයි හිතුවේ. ඒ වගේම අපේ එකම වීරයා ප්‍රභාකරන් විතරයි. ප්‍රභාකරන්ව දකින්න අපි පුදුම ආශාවකින් හිටියේ. ඒ කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන ඕනෑම දෙයක්‌ අපේ ගම්වල මිනිස්‌සු කළා. ගම්වල හැම පවුලකම සමාජිකයො දෙතුන් දෙනෙක්‌ එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳිලා හිටියා. අපේ පවුලෙත් ලොකු අයියලා දෙදෙනෙක්‌ එල්.ටී.ටී.ඊ. යට බැඳිලා හිටියා. කඳවුරුවල ඉඳලා අයියලා ගෙදරට ආපු හැම වේලාවකම කිව්වේ වැඩි කාලයක්‌ යන්න ඉස්‌සර වෙලා අපිට යුද්ධය දිනන්න පුළුවන් කියලයි. එතකොට අපිටම කියලා රටක්‌ තියෙනවා කියලා අයියා සතුටු වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානෙන් අපේ ඉස්‌කෝලෙට ඇවිත් දේශනා පවත්වලා කිව්වෙත් වැඩි කාලයක්‌ යන්න ඉස්‌සර වෙලා සිංහල හමුදාව පරාජය කරලා යුද්දෙ ජයගන්න පුළුවන් කියලයි. මාසෙකට දවස්‌ තුන, හතරක්‌ එල්.ටී.ටී.ඊ. සාමාජිකයො අපේ ඉස්‌කොලෙට ඇවිත් දේශන පැවැත්තුවා.

'ලංකාව කියන්නෙ දෙමළ ජනතාවගේ රට. සිංහල මිනිස්‌සු අපේ රට බලෙන් අල්ලගෙන ඉන්නවා. එහෙම කරන්න දෙන්න බෑ. අපි අපේ රට දිනා ගන්න ඕනෑ. අපිටත් ලෝකයේ රටක්‌ තියෙන්න ඕනෑ. සිංහල හමුදාව කියන්නෙ අපිට පහර දෙන්න එන ත්‍රස්‌තවාදී. උන්ව සමූල ඝාතනය කරන්න ඕනෑ. ඒකට අපි සේරම එක මිටට එකතු වෙන්න ඕනා. ඔයලාගේ ශක්‌ති අපිට ඕනා. ජීවිත ගැන හිතන්න එපා... අපේ රට බේරාගන්න එක ගැන විතරක්‌ හිතන්න. එහෙම වුණොත් අපේ මතු පරම්පරාවට හරි රටක්‌ තියෙයි...' එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන් කරපු ඒ දේශන අපේ හිත්වලට තදින් කා වැදුණා. ඒ වගේම අපි පුංචි කාලේ සිංහල මනුස්‌සයෙක්‌ දැකලවත් තිබුණේ නෑ. අපි සිංහල මිනිස්‌සු ගැන දැනගෙන හිටියේ අපේ හතුරෝ කියලා. සිංහල හමුදාව ත්‍රස්‌තවාදීන් කියලා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ගේ දේශන ඇහුවම මගේ හිත කිව්වේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන්නම කියලයි.

ඔය කාලේම එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳිලා හිටිය අපේ එක අයියා කෙනෙක්‌ හමුදාව එක්‌ක සටන් කරද්දී වෙඩි වැදිලා මැරුණා. අයියා මැරුණු බව දැන ගත්ත වේලෙ ඉඳලා හමුදාව ගැන මගේ හිතේ තිබුණු වෛරය තවත් වැඩි වුණා. හමුදාවේ උන්ව මරාගෙන මැරෙන්න එල්.ටී.ටී.ඊ. යට බැඳෙන්න ඕනා කියලා මටත් හිතුණා. අයියගේ මිනිය ගෙදරට ගෙනාපු වේලාවේ අපේ අම්මා ඇඬුවෙත් අයියා මරපු පලිය ගනිල්ලා කියලා. අයියගේ මරණය ගැන අපේ සහෝදරයො හැමෝම ගොඩක්‌ දුක්‌ වුණා.

මැරුණු අයියත් පවුලේ හැමෝටම පුදුම විදිහට ආදරේ කළා. එල්.ටී.ටී.ඊ. යට බැඳෙන්න ඉස්‌සරවෙලා මාවයි, නංගිලා දෙන්නවයි ඉස්‌කෝලෙට ගිහින් දැම්මේ, එක්‌කර ගෙන ආවේ ඒ අයියා. ඒ වගේම අම්මටයි, තාත්තටයි පුදුම ආදරයක්‌ තිබුණේ. එල්.ටී.ටී.ඊ. යට බැඳුනට පස්‌සෙතA මාසෙකට සැරයක්‌ හරි ගෙදර ඇවිත් අපිව බලලා යනවා. ඒ අපු දවසට ගෙදර හැමෝම එයත් එක්‌ක එකට කෑම කන්න ඕනෑ. එයාගේ එකම ආශාව ඒක තමයි. එහෙම අපිත් එක්‌ක එකට හිටිය සහෝදරයව නැති වුණාට පස්‌සේ අපේ එකම අරමුණ වුණේ අයියව මරපු අයගෙන් පලිගන්න.

මම අම්මගෙන් ඇහුවා එල්.ටී.ටී.ඊ. යට බැඳෙන්නද කියලා. අම්මා විරුද්ධ වුණේ නෑ. තාත්තත් විරුද්ධත්වයක්‌ පෙන්නුවේ නෑ. මම එල්.ටී.ටී.ඊ. කඳවුරකට ගිහින් සංවිධානයට බැඳුණා. ඒ එක්‌කම මාත් එක්‌ක මගේ යාළුවො දෙන්නෙකුත් එල්.ටී.ටී.ඊ.ය ට බැඳුණා. අපි එල්.ටී.ටී.ඊ. යට බැඳුණේ 1997 අවුරුද්දේ. එතකොට මම ඉස්‌කෝලෙ දහය වසර පන්තියේ ඉගෙන ගත්තේ. මට අවුරුදු දහසයයි.

අපිව පුහුණුවීම්වල දැම්මේ මාන්කුලම් එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරට. මාස හයක්‌ පුහුණුවීම් කළා. අපේ ටීම් එකේ එකසිය පනහක්‌ හිටියා. අපිත් එක්‌ක හිටිය ගොඩක්‌ අය අවුරුදු පහළොවේ, දහසයේ ළමයි. ඒ කාලේ එල්.ටී.ටී.ඊ. ය බොහෝම ශක්‌තිමත්. ජාත්‍යන්තර ආධාර හොඳට ලැබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය සාමාජිකයන්ටත් හොඳට සැලකුවා. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ගෙවල්වලට. අපිටත් තුන් වේලටම මස්‌, මාළු එක්‌ක හොඳට කන්න බොන්න දුන්නා. නිතරම ඩොක්‌ටර්ස්‌ලා ඇවිත් අපිව චෙක්‌ කරලා බෙහෙත්, විටමින් වර්ග දුන්නා. අපෙත් හොඳට දුවන, පනින වයස. හොඳ මොරාල්. ඒ මාස හයට අපි හොඳ යුද පුහුණුවක්‌ ලබා ගත්තා. පුහුණුවේදී අපේ දක්‍ෂතා අනුව බළකායන්වලට බෙදුවා. මාව වැටුණේ විදූෂා බළකායට. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දක්‍ෂම බළකායක්‌. විදූෂා බළකායට දාන්න ටිකක්‌ ඉගෙනීමටත් දක්‍ෂ වෙන්න ඕනෑ. පුහුණු කාලේදී දැනුම විභාගවලින් හොඳට සමත් වෙන්නත් ඕනෑ. ඒ වගේම ටිකක්‌ හැඩකාර අඩු වයසේ අයව විතරයි විදූෂා බළකායට ඇතුළත් කළේ.

ඒ බළකායේ නායිකාව විදිහට හිටියේ විදූෂා. අපිව ඒ බළකායට භාර දුන්නට පස්‌සේ විදූෂා වෙනම දේශනයක්‌ තියලා බළකායේ ඉතිහාසය, සටන් වදින හැටි, එතකොට අත්පත් කරගෙන තිබුණු ජයග්‍රහණ ගැන පැහැදිලි කළා. විදූෂාගේ ඒ කතාව ඇහුණම නිකම්ම මොරාල් හැදෙනවා. ඒ තරමටම අපේ හදවත්වලට ඒ කතාව කා වැදුණා. ඒ වගේම විදූෂා බළකායේ නායිකාවන් අපිව හොඳට ආරක්‍ෂා කළා. අපේ හැම දෙයක්‌ ගැනම හොඳට හොයලා බැලුවා. කෑම, බීම, ඇඳුම්, පැළඳුම්, සනීපාරක්‍ෂක පහසුකම්, යුනිපෝම්වලින් කිසිම අඩුවක්‌ තිබුණේ නෑ. අපේ ගෙවල්වලට හොඳට උදව් උපකාර කළා. ගෙදර ගිහින් එන්න ඕනෑ කියලා කලින් කිව්වම යන්න දෙනවා. ඒ අය කියන දවසට නැවත කඳවුරේ ඉන්න ඕනෑ. ඒ කාලේ අපේ බළකායේ හැමෝම යාළුවො වගේ තමයි හිටියේ. කාටවත් ගැටලු නෑ. හැමෝම හොඳ මොරාල්. එල්.ටී.ටී.ඊ. ඉහළ පෙළේ නායකයොත් විදූෂා බළකාය ගැන හොඳට හොයලා බැලුවා. ඕනෑම සටනකට බහින්න සුපිරි ආයුධ ලබා දුන්නා. ඒ බළකායේ හිටිය අපිත් ගේමකට බැස්‌සොත් මරාගෙන මැරිලා ඉස්‌සරහටම යනවා මිසක්‌ ආපස්‌සට හැරිලි නෑ. අපෙන් විදූෂාට අවශ්‍ය වෙලා තිබුණෙත් එච්චරයි....

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.