සීනි රුපියල් දෙකකින් බසී
රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප අහෝසියි

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

ඉස්‌සර අය වැය කතාව යනු රටම ඇසූ කතාවකි. අය වැය යන වචනය ජනතාව වෙත ගෙන ආවේ කුතුහලයකි. එය රසවත් කුතුහලයකි.

මුදල් ඇමැතිතුමා අය වැය පිලියෙල කරන ඡායාරූප අය වැය දිනට පෙර පුවත් පත්වල පළ කරනු ලැබීය. වරෙක රොනී ද මෙල් මහතා අය වැය හැදුවේ එතුමාගේ ගී කියන කන්දේ නිවාඩු බංගලාවේ සිටය.

ඒ දවස්‌වල අය වැයක්‌ යනු මොනවා අඩුවෙයිද මොනවා වැඩි වෙයිද යනුවෙන් කුහුල දනවන බරපතළ ප්‍රකාශනයක්‌ ලෙස සලකනු ලැබීය. අයවැය පෙට්‌ටිය අප වෙත ගෙන ආවේ බරපතළ විචිකිච්ඡාවකි.

"මේ සැරේ නම් සිගරට්‌ මිල සතේකින් වැඩි වෙනවා."

ඒ දවස්‌වල අය වැයදාට කලින්දා වෙළෙන්දෝ සිගරට්‌ හැංගෑහ. භූමිතෙල් විකිණුවේ නැත. වැඩිවෙතැයි සැක සිතූ අනිත් ජාතිය පාන් පිටිය.

මුදල් ඇමැතිවරයා මේ වැඩිවන ගණන් කියන්නේ බොහෝ ප්‍රමාද වීමෙන් අනතුරුවය. අපේ තාත්තලා බඩු වැඩිවීම ගැන අසන්නට බොහෝ රෑ වනතුරු එදාට රේඩියෝව අසා සිටියහ.

තවත් බොහෝ දෙනෙකු අය වැය කතාවට සවන් දෙමින් සිටියේ පඩි වැඩිවන ගණන ඇසීමටය. හැම අය වැයකින්ම පාහේ රජයේ සේවකයන් කවර කණ්‌ඩායමකට හෝ එදා පඩි වැඩි වීමක්‌ ලැබුණේය.

එබැවින් මෙයින් කලකට පෙර අය වැය කතාව යනු එක්‌තරා අන්දමක මංගල්ලයක්‌ විය. වැඩි කළ බඩු පසුවදා කඩේ තිබුණු අතර අඩු කළ බඩු කඩවල තිබුණේ නැත.

වැඩි කරනු ඇතැයි සැක කළ හැකි භාණ්‌ඩ අයවැයදාට කලින්දා සැඟවීම සිරිතක්‌ කොට ගත් බැවින් එක්‌ අයවැයකදී ඇන්. ඇම්. සිගරට්‌ මිල සතයකින් අඩු කොට වෙළෙන්දන්ට බරපතළ විහිළුවක්‌ ද කළේය.

අරක්‌කු, සිගරට්‌, පාන් පිටි, භූමිතෙල්, පරිප්පු රෙදිපිළි ද්‍රව්‍ය, සිමෙන්ති, අය වැයෙන් මිල ඉහළ පහළ යැමේ තිබූ ප්‍රවණතාවය අහෝසි වී දැන් බොහෝ කල්ය.

කොටින්ම දැන් ජනතාව කාලයක සිට අයවැය කතාවට සවන් දෙන්නේ නැත. මක්‌ නිසාද අසන්නට තරම් අලුත් දෙයක්‌ එහි නැති බැවිනි.

සාමාන්‍යයෙන් රජය බදු අය කළේ අය වැය හරහාය. මිනිස්‌සු බදු හඳුනා ගත්තේ අය වැය හරහාය. දැන් එවැනි සිරිතක්‌ නැත. රජය විටින් විට සැරින් සැරේ ගැසට්‌ පත්‍ර මගින් බඩු මිල වැඩි කිරීමේ සිරිතක්‌ පටන් ගෙන බොහෝ කල්ය. මෙය එක රජයක්‌ මගින් කරන ලද්දක්‌ නොව රජයන් ගණනාවක්‌ම ගැසට්‌ මගින් බඩුමිල ඉහළ දැමීමේ චාරිත්‍රය කර ගෙන ගියහ.

අයවැයේ අගය පහලට වැටුණේ එතැන් සිටය.

දැන් අය වැයෙන් කරන්නේ අමාත්‍යාංශවලට සල්ලි බෙදා වෙන් කිරීමේ ගණන් හිලව් ප්‍රකාශ කිරීමය.

ඒ ප්‍රකාශ කිරීම් අවසානයේ සෑම ආණ්‌ඩුවක්‌ම පාහේ කියන්නේ එකම කතාවකි. රජයට සල්ලි නැත. ගිය ආණ්‌ඩුව අපට භාරදී ගොස්‌ තිබෙන්නේ හිස්‌ භාණ්‌ඩා ගරයකි. පිටරටින් බොහෝ ණය ගෙන තිබේ. ඒ ණය ගෙවන්නට තව ණය ගන්නට සිදු වී තිබේ. එබැවින් හිස්‌වන භාණ්‌ඩාගාරය පුරවා ගන්නට ජනතාවගේ මුදල් අවශ්‍යව තිබේ. එහෙයින් බදු පැනවීමට සිදුවේ.

ඒ අනුව අප කාඩ් එකෙන් සල්ලි ගත්විට එදා කැපුනේ රුපියල් පහකි. දැන් දහයකි. මේ අන්දමට අප නොසිතන අන්දමෙන් අපේ මුදල් ආණ්‌ඩුව අරගනී.

දැන් කලක පටන් අය වැය යනු මෙයය. ආණ්‌ඩුවට සල්ලි නෑ. ඒ නිසා කරුණාකර මහජනයා වන ඔබගේ සාක්‌කුවලින් අපේ භාණ්‌ඩාගාරය පුරවන්න. ඊට අමතරව අපි ලෝක බැංකු අරමුදල් වලිනුත් ණය ගත්නෙමු. නැත්නම් රට කරන්නට බැරිය.

ඊළඟ ආණ්‌ඩුවේ අය වැයේදීත් මේ කතාවම අසන්නට ලැබෙනු නිසැකය. අපේ රටේ ජනතාව ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ අසන්නේ එකම කතාවකි.

මීට වඩා වෙනස්‌ අය වැය කතාවක්‌ අපට අසන්නට ඉඩක්‌ නැත්තේ ඇයි?

ආදායමට වඩා වියදම වැඩි නම් එය රටකට ප්‍රශ්නයක්‌ බව ඇත්තය. එහෙත් අප අපේ පාලකයන් වශයෙන් පත් කරන්නේ අපට වඩා දක්‍ෂ උගත් ප්‍රශස්‌ත විදග්ධ පුද්ගලයින්ය. ඔවුන්ගේ දක්‍ෂතාවය විය යුත්තේ වියදම් අඩු කරන විදියේ යෝජනා රැගත් ආදායම් වැඩි කර ගන්නා විදියේ අදහස්‌ සහිත අයවැය යෝජනාවලියකි.

එවන් අය වැයක්‌ නම් ජනතාව අත්පොලොසන් දී පිලිගනු ඇත. එහෙත් ජනතාවට පෙනෙන්නේ ආණ්‌ඩුවේ අය තමන්ට කාර් බෙදා ගන්නා අය වැයකි. ආණ්‌ඩුවේ අය තමන්ටම මුදල් හදල් බෙදා හදා ගන්නා අය වැයකි.

අයවැයක්‌ යනු රටේ අනාගත දර්ශනයෙන් කොටසකි. හාල් මැස්‌සන් මිල රුපියල් දෙකකින් අඩු කරද්දී 2017 සිට රාජ්‍ය සේවයට බඳවා ගන්නා සේවකයන්ගේ විශ්‍රාම වැටුප සහමුලින්ම අහෝසි වේ.

අපට පෙනෙන සුළු වාසිවලට යටින් මෙවැනි දැවැන්ත අවාසිද තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.