බ්‍රැඩ්මන්ගේ ජීවිත කතාව කියවා
ක්‍රිකට්‌ "ඔස්‌තාර්ලා" බිහිකළ ඉස්‌තරම් ගුරුවරයා

මගේ පුහුණුකරු ටොම් ප්‍රනාන්දු ඒ කාලේ
පිට්‌ටනියට එන්නෙ අශ්වයා පිටේ නැගලා

රොෂාන් මහානාමට ගහපු කම්මුල්පාරට
පස්‌සෙ එයා වෙලාවට වැඩ කරන පුද්ගලයෙක්‌ වුණාලු

රවුම් තොප්පියක්‌ හිසේ පැළඳගෙන ෆයිල් මිටියක්‌ අතේ තබාගෙන සී.සී.සී. ක්‍රිකට්‌ පාසලේ රාජකාරී අසුනෙන් නැගිට නිවී සැනසිල්ලේ කතාවකට වැටුණු අපේ කතානායකයා මෙරට ක්‍රිකට්‌ ඉතිහාසයේ පුස්‌තකාලයක්‌ බඳුය. ඔහුගේ අතීත ආවර්ජනය සරලය. නිරහංකාරය. එහෙත් ඒ සෑම තැනකම විනය හිස්‌ මුදුනේ තබා ගනිමින් කටයුතු කළ ඔහු අදත් ක්‍රිකට්‌ පිටියේ සිටින පැරණිතිම මෙන්ම ඉස්‌තරම්ම ගුරුවරයා බවට තර්ක විතරක නැත.


ක්‍රිකට්‌ "ඔස්‌තාර්ලා" රටටත් ලොවටත් බිහි කරලීමේ අපූරු හැකියාවක්‌ සහජයෙන්ම කර පින්නාගෙන පැමිණි මොහු අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට දායාද කර ඇති ක්‍රීකයන් සංඛ්‍යාව 16 කි. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට්‌ නායකයාද මොහුගේ සොයා ගැනීමකි.

ක්‍රිකට්‌ ගුරුවරයකු පමණක්‌ නොව පාසල් කාලයේ කැඩට්‌ කණ්‌ඩායමේ ඉහළම තනතුරත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ලද හසල දැනුමත් හේතුවෙන් ඔහු "ඕල්ඩ් රවුන්ඩර්" කෙනෙක්‌ යෑයි අපි හඳුන්වමු. අයියගේ පස්‌සෙන් ගොස්‌ ක්‍රිකට්‌ පිටියට පිවිසි මොහු නෙල්සන් මෙන්ඩිස්‌ය. ඔහුගේ අයියාද ක්‍රිකට්‌ ගුරුවරයෙකි. ඒ ලයනල් මෙන්ඩිස්‌ය. නමුත් අපේ කතානායකයා නෙල්සන් මෙන්ඩිස්‌ මෙරට යුද ජයග්‍රහණයට කර දුන් නායකයන් දෙදෙනකුගේම ගුරුවරයෙකි. ඒ ක්‍රිකට්‌ නොව කැඩට්‌ සහ ඉංග්‍රීසි ඉගැන්වීමෙනි.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට පාසලේදී කැඩෙටින් කියා දුන් හැටි සහ හිටපු ආරක්‌ෂ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂට ඉංග්‍රීසි කියා දුන් හැටිත් නෙල්සන් මෙන්ඩිස්‌ මහත්මා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග පැවැති කතාබහේදී මතක්‌ කළේය.

ගාල්ල ධර්මාශෝක විදුහලෙන් ක්‍රිකට්‌ පිටියට පැමිණි අපූරු ආරම්භය නෙල්සන් මෙන්ඩිස්‌ ගුරුතුමාණෝ මෙසේ මෙනෙහි කළේය. " මම මුලින්ම ක්‍රිකට්‌ පටන් ගත්තෙ ගාල්ල ධර්මාශෝක විදුහලෙන්. ඒ කාලෙ තිබුණෙ වයස අවුරුදු 14 න් පහළ. 1953-54 කාලයේ තමයි මම ක්‍රිකට්‌ පටන් ගත්තෙ. 1955 තමයි මම පළමු පෙළ (වයස අවුරුදු 19 න් පහළ) කණ්‌ඩායමට පළමු වරට ක්‍රීඩා කළේ. මගේ අයියා ලයනල් මෙන්ඩිස්‌ තමයි මුලින්ම ක්‍රිකට්‌ ගැහුව්වෙ. එයා මට වඩා අවුරුදු දෙකක්‌ වැඩිමහල්. එයාගෙ පස්‌සෙන් තමයි මම ක්‍රිකට්‌වලට ගියේ."

ආරම්භයේදී හරි ගුරු හරුකම් ලැබීම හේතුවෙන් නෙල්සන් මෙන්ඩිස්‌ විනය සහ දක්‍ෂ ක්‍රිකට්‌ ගුරුවරයකු බවට පත්විය. ලොව විශිෂ්ටතම පිතිකරුවා වූ ශ්‍රීමත් ඩොනලඩ් බ්‍රැඩ්මන්ගේ ක්‍රිකට්‌ පුහුණුවීම් සහ ඔහුගේ ජීවිත කතා පොත් කියවීමෙන් මොහු ක්‍රිකට්‌ ගුරුවරයකු ලෙස අත්පොත් තැබීය.

"ඇත්තටම අපි හරි වාසනාවන්තයි හොඳ පුහුණුකරුවෙක්‌ යටතේ පුහුණු වෙන්න ලැබීම ගැන. ඒ කාලයේ අපේ පළමු ක්‍රිකට්‌ පුහුණුකරුවා වුණේ ටොම් ප්‍රනාන්දු. එයා ශාන්ත තෝමස්‌ විදුහලේ හොඳ ක්‍රිකටර් කෙනෙක්‌. ටොම් ප්‍රනාන්දු සර් එන්නෙ අපිව පුහුණු කරන්න අශ්වයාගේ පිටේ නැගලා. හැතැප්ම දෙකක්‌ විතර අශ්වයාගේ පිටේ නැගල ඇවිල්ල පොල් ගහක අශ්වයා ගැට ගහල තමයි පුහුණු කරන්නෙ. ඕකත් අපිට අලුත් අත්දැකීමක්‌ වුණා ඒ කාලයේ."

නෙල්සන් මෙන්ඩිස්‌ලා ක්‍රිකට්‌ ගැහුව්වත් පාසලේ වැඩ හරියට කිරීමට වග බලා ගත යුතුයි. ක්‍රිකට්‌ පුහුණුකරු ටොම් ප්‍රනාන්දු දිනක්‌ නෙල්සන්ට කන හරහා මතක හිටින පහරක්‌ දුන්නේය. ඒ පාසලෙන් දෙන ගෙදර වැඩ මග හැරීම නිසායි. පසුකලෙක ඒ අඩි පාරේ ගිය නෙල්සන් මෙන්ඩිස්‌ද හරි දේ නිසි කලට නොකරන ඕනෑම ජගතෙකුට කන හරහා ගැසුවේද ඔහුගේ අනාගතය දිග් විජය කිරීමේ ඒකායන ප්‍රාර්ථනාව මුදුන් පත්කොට ගෙනය. එබැවින් රොෂාන් මහානාමටද නෙල්සන් මෙන්ඩිස්‌ දුන් කන හරහා පහරෙන් පසු අදටත් මහානාම නිසි වේලාවට වැඩ කිරීමට පුරුදුව සිටින බවද මෙන්ඩිස්‌ මහතා මතක්‌ කර සිටියි.

"රොෂාන් මහානාම අපේ ගෙදරට අල්ලපු ගෙදර තමයි නැවතිලා හිටියෙ. මමයි ඒ ගේත් හොයලා දුන්නෙ. උදේ පාන්දර 5.00 ට විතර මගේ ගරාඡ් එකේ බෝලයක්‌ එල්ලගෙන මහානාම ටොක්‌..ටොක්‌... ගාල ගහනවා. ඒක මට අවධි වෙන්න එලාම් එකක්‌ වගේ. හැමදාම ඔය සද්දෙට තමයි මම ඇහැ ඇරෙන්නෙ. රොෂාන්ගේ තාත්තා උපාලි මහානාම මාවත් දාගෙන නාලන්දයට අපි ඇරලවනවා.

"මහානාම ඒ කාලයේ කණිෂ්ට කණ්‌ඩායමේ නායකයා වෙලා හිටියා. මම රොෂාන්ට කියල තියෙනවා තරග දවස්‌වලට කැප්ටන් කිසිම වෙලාවක පරක්‌කු වෙන්න බැහැ කියලා. අනිවාර්යයෙන් නායකයා හරි වෙලාවට ඉන්න ඕන. එතකොට තමයි අනිත් අයත් හදා ගන්න පුළුවන් කියලා. ඉතිං රොෂාන්ගෙ තාත්තාගෙ කාර්එකේ මමයි රොෂානුයි දවසක්‌ මැච් එකකට එනකොට අට පහු වෙලා. නාලන්දෙන් බැහැල ග්‍රවුන්ඩ් එකට ගිහින් මම කිව්වා රොෂාන්ට එන්න කියලා. දැන් වෙලාව කීයද ඇහුව්වා. සර් 8.50 කිව්වා. මම කිව්වා ඔයා විනාඩි පනහක්‌ ප්‍රමාදයි. ඒකට මෙන්න දඩුවම කියල කනට පාරක්‌ දුන්නා. එතකොට එයා කියනවා සර් එක්‌කනෙ මමත් ආවෙ කියලා. මම කිව්වා ඒක වෙනම කතාවක්‌. ඔයා කැප්ටන්නම් වෙලාවට එන්න ඕන කියලා. එදායින් පස්‌සෙ මෙයා හැමදාම වෙලාවට වැඩ කරාලු. එයා සමුගැනීම පිළිබඳව ලියපු පොතෙත් ඒක ලියල තියෙනවා. එදායින් පස්‌සෙ ඕනම තරගයකට, රාජකාරී වැඩවලට මෙයා වෙලාවට යනව කියලා."

ටෙස්‌ට්‌ වරම් ශ්‍රී ලංකාවට නොපෙනන ඈතක තිබියදී අද තරම් ක්‍රිකට්‌ රස්‌සාවට ඉස්‌තරම් ඉල්ලුමක්‌ නොතිබූ යුගයක නෙල්සන් මෙන්ඩිස්‌ලා ක්‍රිකට්‌ කෙළියේ යෙදුණේ කුමන ඉලක්‌කයක්‌ මුදුන් පත්කොටගෙනද යන්න ප්‍රහේලිකාවකි. නමුත් ඇඟට කා වැදී ඇති ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් නෙල්සන් මෙන්ඩිස්‌ ඉලක්‌කය සොයා ගියේය. ඒ අනුව නෙල්සන් මෙන්ඩිස්‌ ක්‍රිකට්‌ පිටියෙන් අහුලා ගත් දේ ඔප කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට ලලිත් කළුපෙරුම, බන්දුල වර්ණපුර, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුසල් පෙරේරා, අශාන් ප්‍රියංජන ඇතුළු තවත් ක්‍රීඩකයෝ රැසකට ගුරු හරුකම් දීමට සමත් විය.

"ඒ කාලෙ අපි ක්‍රිකට්‌ ගහන කොට ඉලක්‌කය තිබුණෙ හොඳ තරගයක්‌ දීල විනෝද වෙන එක විතරයි. කොළඹ විතරයි ඒ කාලයේ ක්‍රිකට්‌ එක හොඳට තිබුණෙ. අපි ගැහුව්වට ගැහුව්ව විතරයි. නමුත් අපි හොඳට සටන් කළා. එතනදී තරගයක්‌ දෙන්න ඕන කියන ඉලක්‌කය තිබ්බා. කොළඹ ආනන්ද දෙවැනි පෙළ කණ්‌ඩායම තමයි අපිට ඒ කාලයේ තරගයක්‌ දුන්නෙ. කොළඹ කියල අපි ඒ කාලයේ වැඩියෙන්ම තරග කළේ වේල්ස්‌ කුමාර විදුහල සමග. නමුත් අපි කරන දේ ආදරයෙන් කළා. ඒකෙ පරතෙරට යන්න කියවීම සහ කැපවීමත් කළා."

කෙසේ වෙතත් ටෙස්‌ට්‌ ක්‍රීඩකයන් දුසිමකටත් එහා ගිය පිරිසකගේ ගුරුවරයා වූ නෙල්සන් මෙන්ඩිස්‌ මහතාගේ ක්‍රිකට්‌ පිටියේ පළමු පහර හයේ පහරකි. නමුත් එය ඔහුගේ පාසල් ක්‍රිකට්‌ දිවියේ අවසන් හයේ පහරද වීම දෛවපෝගත සිද්ධියකි.

"මගේ පළමු පාසල් තරගයට වයස අවුරුදු 14 න් පහළ ෆොa ඩවුන් ගිහින් පළමු බෝලයටම ගැහුව්වා හයේ පහරක්‌. ඒක ෆුල්ටෝස්‌ බෝලයක්‌. ඒ හයේ පහරින් මම එක දවසෙන් වීරයෙක්‌ වුණා. ඒ කාලයේ හයේ එකක්‌ ගහන එක ලොකු දෙයක්‌. ඒක තමයි මම ඉස්‌කෝලෙ ගහන කාලෙ ගහපු එකම හයේ පහරත් ඒක. ඊට පස්‌සෙ හැම මැච් එකකදිම කට්‌ටිය මගෙන් හයේ එකක්‌ බලාපොරොත්තු වුණා. නමුත් පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉවර වෙනතුරු මම හයේ ඒවානම් ගැහුව්වෙ නැහැ."

අභියෝග කර අරිනවා වෙනුවට එයට කර තැබීම මෙන්ඩිස්‌ සොහොයුරන්ගේ චර්යාවේ එක්‌ ලක්‍ෂණකි. වේග පන්දු යවන්නන්ට බයේ කකුල් වෙව්ලන මොහොතක මේ අයියා මලෝ එකල ශතක සබඳතාවක්‌ පිහිටුවීමට සමත්ව තිබේ.

"ගාල්ල රිච්මන්ඩ් විදුහල සමග තරගයක්‌ තිබ්බා. ඒ තගරයේදී රිච්මන්ඩ් විදුහලේ පින්නදුව සහ හෙට්‌ටිගේ කියල වේග පන්දු යවන්නන් දෙන්නෙක්‌ හිටියා. මේ අය හොඳම හයියෙන් බෝල් කරනවා. අපේ ආරම්භක පිතිකරුවන් කියනවා මුලින්ම ගහන්න යන්න බැහැ කියලා. මම යන්නෙ හතරට පහට විතරය. අයියා දෙක හරි තුන හරි බැට්‌ කරන්න යන්නෙ. මම කිව්වා මම යන්නම් කැමැති කෙනෙක්‌ එන්න මාත් එක්‌ක යන්න කියලා. එතකොට අයියත් ආව මගෙත් එක්‌ක යන්න. අපි දෙන්න ඕපන් කරල ලකුණු සියයකට වැඩි සබඳතාවක්‌ තියල මැච් එක බේරගත්තා. ඒක මගේ පාසල් කාලයේ තියෙන හොඳ මතකයක්‌."

නෙල්සන් මෙන්ඩිස්‌ පළමුව ක්‍රිකට්‌ පුහුණුකරුවකු ලෙස වැඩ අරඹන්නේ ගාල්ල ධර්මාශෝක විදුහලෙනි. ඔහු එහිදී ක්‍රිකට්‌වලට අමතරව කැඩෙට්‌ කණ්‌ඩායමද මෙහෙයවන ලදී. අනතුරුව කොළඹ නාලන්දාවට පැමිණ එම රස්‌සා දෙකම අපූරුවට කළ මෙන්ඩිස්‌ මහතා ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට්‌ නායකයා වූ බන්දුල වර්ණපුරව සොයා ගනියි.

"ක්‍රිකට්‌ කෝචින් මැනුවල් බයි දොන් බ්‍රැඩ්මන්" කෘතිය කියවා සිය ක්‍රිකට්‌ පුහුණුකරු රාජකාරිය ඉස්‌තරම් කර ගත් නෙල්සන් මෙන්ඩිස්‌ ගුරුතුමාණන්ගේ ගුරු හරුකම් මැද ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දුසිම් දෙකක්‌ බිහිවී තිබීම විශ්වකර්මයක්‌ බඳුය.

නෙල්සන් මෙන්ඩිස්‌ මහතා ගාල්ල ධර්මාශෝකයේ ක්‍රිකට්‌ පුහුණුකරු රාජකාරිය නිමවා කොළඹ නාලන්දයටත් අනතුරුව වසර දෙකක කාලයක්‌ ඩී.එස්‌. පාසලටත් පසුව සී.සී.සී. ක්‍රිකට්‌ පුහුණු පාසලෙත් සේවය කරමින් මෙම ජාත්‍යන්තර ක්‍රීඩකයන් දුසිම් දෙකක්‌ බිහි කර තිබේ.

"මම දුසිම් දෙකක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බිහි කළා. එතනදි නාලන්දයේදී බන්දුල වර්ණපුර, ලලිත් කළුපෙරුම, අනුර රණසිංහ, සුනිල් ජයසිංහ, රොෂාන් ගුණරත්න, ජයන්ත සෙනවිරත්න, රොෂාන් මහානාම අසංක ගුරුසිංහ, කුමාර් ධර්මසේන, ගාමිණි වික්‍රමසිංහ, කීර්ති රණසිංහ, චාමර දුනුසිංහ, හේමන්ත දේවප්‍රිය, යොහාන් ගුණසේකර, සුසන්ත කරුණාරත්න, සනත් කළුපෙරුම ජාතික කණ්‌ඩායම නියෝජනය කළා." යනුවෙන් මෙන්ඩිස්‌ මහතා පවසයි.

නාලන්දයේ පුහුණුකරු ලෙස සේවය කරමින් එම පාසලෙන් ජාතික කණ්‌ඩායමට ක්‍රීඩකයන් 16 ක්‌ බිහි කළ නෙල්සන් මෙන්ඩිස්‌ මහතා අනතුරුව ඩී.එස්‌. විදුහලේ වසර දෙකක පුහුණුකරුවකු සිටි යුගයේදී හෂාන් තිලකරත්න සහ පුබුදු දසනායකටද ගුරුහරුකම් ලබාදී තිබේ. අනතුරුව කොළඹ සී.සී.සී. පුහුණු පාසලේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස සේවය කළ කාලයේදී ඒ හරහා ක්‍රීඩකයන් පස්‌දෙනකු සහ එක්‌ ක්‍රීඩිකාවක්‌ ජාත්‍යන්තරයට දායාද කිරීමට නෙල්සන්ගේ ගුරුහරුකම් සමත්ව තිබේ.

සී.සී.සී. පුහුණු පාසල හරහා කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියංජන, රමිත රඹුක්‌වැල්ල සහ ඇන්ඩි්‍ර බෙරෙන්ජර් ජාත්‍යන්තර ක්‍රීඩකයන් බවට පත්විය. එඑහිදී ඇන්ඩි්‍ර බෙරෙන්ජර් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩා කිරීමෙන් පසුව එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික පිලට ක්‍රීඩා කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ මධුරි සමුද්දිකා හටද නෙල්සන් මෙන්ඩිස්‌ ගුරුහරුකම් ලබාදුන් බව සිහිපත් කරයි.

ධර්මාශෝක විදුහලේදී කැඩෙට්‌ සාජන් ලෙස නෙල්සන් මෙන්ඩිස්‌ මහතාගේ යටතේ සිටි හිටපු යුද හමුදාපති සහ ෆSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එකල මෙන්ඩිස්‌ගේ ගෝලයෙකි. එදා ෆොන්සේකාට ඔහු කියා දුන් ඔවදන් මෙන්ම ෆොන්සේකා පාසලේදී පැටළුණ "කොක්‌කක්‌" පිළිබඳවද මෙන්ඩිස්‌ මහතා අප සමග පැවසීය.

අනතුරුව දියතලාවේදී ගෝඨාභය රාජපක්‌ෂ ඇතුළු පිරිසකට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ හැටිත් පැවසූ මෙන්ඩිස්‌ මහතා අකුරට වැඩ කිරීමේදී තම ගෝලයන්ට දුන් දඩුවම්ද අදටත් පුහුණුකරුවකුට වටිනා ඔවදනකි. එබැවින් ඔහු ෆොන්සේකා සහ ගෝඨාභය මහත්වරුන්ට ඉගැන්වූ හැටි මෙන්ම තවත් බොහෝ දේ ලබන සතියේ අපි පළ කරන්නෙමු.

අසේල විතාන
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රයන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.