මේ ගෙවෙන්නේ මගේ හොඳම කාලේ
- ඡේ. ඒ. රොම්ලස්‌ පෙරේරා


ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා....

"ඇමැතිකම" හැට අටේදී නිහාල් ජයසිංහ අධ්‍යක්‌ෂණය කළ චිත්‍රපටය. ප්‍රධාන චරිත රඟපෑවේ සන්ධ්‍යා කුමාරි, ජෝ අබේවික්‍රම, චිත්‍රපටයට ගී ගැයුවේ එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා. මොහිදින් බෙග්ටත් ගීයක්‌ ගයන්න නියමිතව තිබිණි. ඒ මිල්ටන් පෙරේරා සමඟ යුග ගීයක්‌.

බොත්තම් නැති රාළහාමි
බංග වෙනවාමයි
ඒ කලුකඩ මුදලාලි
බංග වෙනවාමයි

ගීතය පටිගත කරන දවස. එහෙත් බෙග් මාස්‌ටර් නැත. ඔහු හදිසියේ මදුරාසියට ගොසිනි. සංගීත අධ්‍යක්‌ෂ ආර්. මුත්තුසාමි මාස්‌ටර්, ගැටලුවකට මැදිවිය. ඔහු ජෝතිපාලට මේ ගැන පැවැසුවේය.

"මාස්‌ටර් බය වෙන්න එපා. නුගේගොඩ පැත්තේ කොල්ලෙක්‌ ඉන්නවා. බෙග්ගේ සිංදු ඒ විදිහටම කියනවා. මම හෙට උදේට එක්‌ක ගෙන එන්නම්." ජෝති පොරොන්දු වූවේය.

නුගේගොඩ අවට ජෝතිට යහළුවන්ගෙන් අඩුවක්‌ නැත. දිනක්‌ එක්‌තරා කොලු ගැටයෙක්‌ ජෝතිට හඳුන්වා දෙමින් එක්‌ යාළුවෙක්‌" මූට හොඳට සිංදු කියන්න පුළුවන්" යෑයි කීවේය. ජෝති මුත්තුසාමි මාස්‌ටර්ට පැවැසුවේ මේ කොලු ගැටයා ගැනය.

පසුදා උදේ පාන්දරම ජෝතිපාල ඇඳ සිටි සරම පිටින්ම නුගේගොඩට ආවේ මේ වයස අවුරුදු පහළොවේ කොලු ගැටයා සොයාගෙනය. කොලුවා ගීය ගයන්න එක පයින් කැමැති වූවේය. බෙග් වෙනුවට ගීයක්‌ ගයන්න. අනෙක හියුගෝ මාස්‌ටර් පෙනී සිටින රූපරාමුවකට, මිල්ටන් පෙරේරා සමඟ යුග ගීයක්‌ මිල්ටන් ගයන්නේ ජෝ අබේවික්‍රම වෙනුවෙන්" මොන තරම් වාසනාවක්‌ද ඔහු ගීය ගැයුවේය.

මේ කොලු ගැටයා වයස අවුරුදු දහතුනේදී ගංගොඩවිල සුභද්‍රdරාමයේ දොරකඩ අස්‌න කියවූවේය. හොඳ කටහඬක්‌ තියෙනවා. සිංදු කියන්නත් පුළුවන් වේවි. " එදා සුභද්‍රdරාමයේ ලොකු හාමුදුරුවෝ.... දේවමිත්ත හිමි. නියත විවරණ දුන් හැටි මේ කොලු ගැටයාට "ඇමැතිකම" ගීය ගයද්දී සිහිපත් විය. හාමුදුරුවන්ගේ බස්‌ ඇසූ පසු තාත්තා සිමියොන් පෙරේරා, අම්මා ඇලන් විඡේසිංහ සතුටු වූ අයුරු. ඉන්පසු සරස්‌වතී මණ්‌ඩපයේ ගී ගයන්න යොමු කළ අයුරු. "ඇමැතිකම" ගීය ගයද්දී මතකයට ආවේය.

ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා

අප මේ කියන කොලු ගැටයා හැත්තෑව දශකයේදී ජනප්‍රිය ගායකයෙකු බවට පත් කළේ රංජිත් පීරිස්‌ ලියූ ඒ ගීයයි. මේ ගායකයා අන් කිසිවකු නොව ඡේ. ඒ. රොම්ලස්‌ පෙරේරාය.

ඡේ. ඒ. රොම්ලස්‌ පෙරේරා නමැති මම එදා "ඇමැතිකම" චිත්‍රපටයට ගීය ගැයුවේ ඡේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟයි. ඒක හරි පුදුම සිද්ධියක්‌. මම උපන්නේ නුගේගොඩ කිරුලපන. බෞද්ධ මිශ්‍ර පාසලට පළමුව ගියා. ඉන්පස්‌සේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තා. සුවිනීතා වීරසිංහත්, ලූෂන් බුලත්සිංහලත් එකල ඒ විදුහලේ ඉගෙන ගත්තා. පාසල් කාලේදීත් මම ගී ගැයුවා. ගායනා කළේ එච්. ආර්. ජෝතිපාලගේ, ධර්මදාස වල්පොලගේ, බෙග් මාස්‌ටර්ගේ ගීත. හැට හතරේදී කරු අයියාගේ ළමා පිටියට ගියා. සරස්‌වතී මණ්‌ඩපයට ගැයුවේ සමූහ ගීත. තනි ගීත ගයන්න ඉඩ නෑ. අවුරුද්දක්‌ විතර සමූහ ගීත ගැයුවා. හැට පහේදී මම ගුවන්විදුලියේ හඬ පරීක්‌ෂණයට ගියා. ආර්. ප්‍රේමදාස මහත්තයා තමයි ඒ අවස්‌ථාව අරන් දුන්නේ. පුළුවන් නම් ගිහින් පාස්‌ වෙන්න." කියා එතුමා කිව්වා. මම ගියා රූපසිංහ මාස්‌ටර්, සුනිල් ශාන්තයන්, අමරදේව මාස්‌ටර් තමයි හඬ පරීක්‌ෂණ මණ්‌ඩලයේ හිටියෙ. නන්දා මාලිනීත් පරීක්‌ෂණයට ආවා.

ඔබ එනව බලා පැල්පතට වෙලා
මම හිටියා උදේ ඔබ කොහෙද ගියේ

මම කට ඇරලා බෙග් මාස්‌ටර්ගේ සිංදු තුනක්‌ම ගායනා කළා. මෙයාට කෑගහලා සිංදු කියන්න පුළුවන්නේ කියලා පරීක්‌ෂණ මණ්‌ඩලය මාව එදා බී ශේ්‍රණියේ ගායකයෙක්‌ කළා. නන්දා මාලිනී ඒ ශේ්‍රණියේ ගායිකාවක්‌ වුණා. ඉන්පස්‌සේ මට සරල ගී වැඩසටහන් ලැබුණා. ඒ කාලේ සිංදු ලියන්න කවුරුත් නෑ. ගී ගැයුවෙත් හින්දි තනුවලට

මේ ජීවිතේදී හමුවූ
මගෙ ආදරී කොහෙදොa

නාරාහෙන්පිට ආරියසිරි රාජරත්න ලියූ සරල ගීයක්‌ මම ගැයුවා.

රාත්‍රියේ ගුවන් ගැබෙන්
පායපං සඳේ ඉතිං

වෙලින්ටන් බාලසූරිය ලියූ ගීයකුත් සරල ගී වැඩසටහනට ගායනා කළා. ඒත් රොම්ලස්‌ පෙරේරා ගායකයෙක්‌ ලෙස ජනප්‍රිය වුණේ හැත්තෑවේදී.

කී දේ කළ දේ දැන සිටියේ මා පමණී
අවසානෙ දුක යෑයි මා හට දැනුනේ පසුවයි
ඇයි මා.... ඇයි මා තනිකළේ ඔබ
වැරදී මා නොවේ

මේ විරහ ගීය මාව ජනප්‍රිය කළා. සංගීතය මහාචාර්ය සනත් නන්දසිරිගේ ඒ එක්‌කම ප්‍රේමකීර්ති ද අල්විස්‌ මට ගීයක්‌ ලියුවා ඒකත් අතිශයින් ජනප්‍රිය වුණා.

මල් පෙත්තක පන් හිඳකින්
ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ
ගීයකින් ගය ගයා

රංජිත් පීරිස්‌ එකල ගුවන්විදුලියේ නිවේදකයෙක්‌. ඔහු මේ ගීය පුදුමාකාර විදිහට ජනප්‍රිය කෙරෙව්වා. ප්‍රේමකීර්තිට බොහෝ දෙනා මේ ගීයේ පදමාලාව ගැන දොස්‌ නැඟුවා. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.

කොහොමද කියන්නේ මල් පෙත්තක ආදරය ගැන ලියන්න පුළුවන් කියලා. දොස්‌ කියපු අයගේ තර්කය වුණේ ඒක.

මට සරල ගී වැඩසටහන් කිහිපයක්‌ම ලැබුණා. ප්‍රේමකීර්ති ගීත හතරක්‌ම ලියල දුන්නා.

පැතුම් සමුදුරේ
ආදරේ නෞකා පාවී....
ඔබ ආදරෙන් සැදී පැදී අවේ....

මේ හින්දි තනුවක්‌. තිළිණ ලේබලයට ගායනා කළේ. ඉස්‌සර ආවේ පොඩි තැටි. දැන් ඒ තැටි නෑ. දෙපැත්තේ සිංදු දෙක දෙක සිංදු හතරක්‌ පටිගත කළා. පැටි්‍රක්‌ කොරයාගේ ගෞරී කෝපරේෂන් එකෙන් තමයි කළේ. මිල්ටන් මල්ලවආරච්චිගේ "ඔරුවක පාවෙන" ගිය කළේත් ගෞරී කෝපරේෂන්.

"පැතුම් සමුදුරේ" සිංදුව මම 1970 දී රෙකෝඩ් කළා. හැත්තෑ තුනේදී විතර ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක එක්‌ක මේ තනුවටම වෙන පදමාලාවක්‌ ගායනා කළා.

මතකයේ ඈත ඇත පින්බර
සොඳුරු අතීතේ
මතකයෙන් ඈත එළවු
කිසි කෙනෙකු ලොව නැතේ
නෙත කඳුළු ගලා වියළී
කිළිටි බව වතේ
ඇල් දියෙන් කඳුළකින්
දෝවනු හැකිද පිය කතේ

මම හැට අටේදී කසාද බැන්දා. ඇය මගේ ඥති සොහොයුරියක්‌. ඒ කාලේ මම ජනප්‍රියයි. එයාව බැන්දට පස්‌සෙ හුඟක්‌ ජනප්‍රිය වුණා. ඉන්ද්‍රdනි පෙරේරා.... ඇය කිසිම ලෙසකින් කලාවට සම්බන්ධ නෑ. ප්‍රේමදාස මහත්තයා එක්‌ක මම හැත්තෑ හතේ වැඩ කළා. මට ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්‌ථාවේ රස්‌සාවක්‌ දුන්නා. ගම් උදාවට මම හුඟක්‌ උදව් කළා. එතුමා මට හොඳ ගෙයක්‌ දුන්නා. ඒ අතරතුරදී මම ප්‍රේමදාස මහත්තයාට කිව්වා වැලි, ගඩොල්, සිමෙන්ති එක්‌ක කාලය ගත කරනවට වඩා ගුවන්විදුලි සංස්‌ථාවට යන්න තියෙනවා හොඳයි කියලා. එහෙම නම් වහාම යන්න කියලා මාව ගුවන්විදුලියට යෑව්වා. මම ගුවන්විදුලියේ නොකළ වැඩසටහනක්‌ නෑ. අදත් මම තමයි ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨතම නිෂ්පාදකයා. දේශපාලන හේතු නිසා මාව ගුවන්විදුලියෙන් තුන් හතර වරක්‌ විසි වුණා. දැන් මම ඉන්නේ හතරවැනි වතාවේ. මාව කවුරු එළියට දැමීමත් හඩ්සන් සමරසිංහ මහත්තයා ආවම යළි වැඩට ගත්තා. ගුවන්විදුලියේ අද ඉන්න වයෝවෘද්ධම පුද්ගලයා මම. මට දරුවෝ තුන්දෙනෙක්‌ ඉන්නවා. ලොකු පුතා මංජුල පෙරේරා විදේශගතයි. දෙවැනියා නිහාරා පෙරේරා හෙදියක්‌. තුන්වැන්නා තරංගා පෙරේරා මහාචාර්ය සනත් නන්දසිරි යටතේ විශාරද විභාගය කළා.

නීලජලේ යමුනා සමීරේ.... සමීරේ....
ඇදි ඇදි ගලා ගියා ප්‍රියාව මිහිරේ....
පියා සලා පියා ඹලා කැදැල්ලටයි ආවේ
ප්‍රියාදරී කොහෙද මාගේ ඇයි ඔබ නාවේ....

හින්දි තනුවකට අයිරින් ද අල්විස්‌ එක්‌ක ගැයූ ගීයක්‌. හේම ශ්‍රී ද අල්විස්‌ගේ පදමාලාව. මොහොමඩ් සාලියේ සංගීතය. අද මම පුදුමාකාර සතුටකින් ඉන්නෙ. මම හිතුවෙ නෑ. මේ තරම් දුරක්‌ මට එන්න පුළුවන් වේවි කියලා. මට සංගීතය පරතෙරටම ඉගෙන ගන්න බැරි වුණා. ඒ මගේ පාසලේ සංගීත ගුරුවරයා හදිසියේ හෘදයාබාධයකින් වියෝවීම නිසා. ඉන්පස්‌සේ අම්මා තාත්තා ඒ තරම් උනන්දු වුණෙත් නෑ. පිහිටට හිටියේ රේඩියෝ එක. රේඩියෝ එකෙන් සිංදු අහලා තමයි ගායනයට හුරු වුණේ. මේ වෙද්දී මට සම්මාන ඇගයුම් ඕනෑ තරම් ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ විතරක්‌ සම්මාන හයක්‌ හතක්‌ ලැබුණා. මේ ගෙවන්නේ මගේ හොඳම කාලෙ. වයසට යද්දී තමයි හැම දෙයක්‌ම ලැබෙන්නේ. මම මේ ක්‍ෂේත්‍රයට ආවේ 1964 දී. අවුරුදු පනස්‌ දෙකක්‌ වෙනවා. මගේ හැත්තෑ තුන්වැනි උපන් දිනය යෙදෙන්නෙත් අනිද්දාට (18 වැනිදාට)

ළඳුනේ ඔබගේ ප්‍රේමෙ පතා මා හිටියෙ
ඇයි මේ වගේ දුක්‌ සාගරයක මා හෙලුවේ
ඇයි මා.... ඇයි මා තනි කළේ ඔබ
වැරදී මා නොවේ....

මේ සිංදුවට වයස අවුරුදු හතළිහකට වැඩියි. කොල්ලන්ගේ කෙල්ලන්ගේ හමුදාවල රණවිරුවන්ගේ බොක්‌කටම වැදුණු ගීයක්‌. මම අදත් ජීවත් වෙන්නේ "ඇයි නාවේ" සිංදුව නිසා.

අනිද්දාට හැතAතෑ තුන්වැනි උපන් දිනය සමරන රොම්ලස්‌ පෙරේරාට අපිද සුබපතමු. චිරං ජයතු !

අජිත් අලහකෝන්

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.