ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දුසිමක්‌ මුදුනට ගෙනා ගුරුවරයා
ෆොන්සේකාට සහ ගෝඨාභයටත් උගන්වයි

ක්‍රිකට්‌ "ඔස්‌තාර්ලා" බිහිකළ ඉස්‌තරම් ගුරුවරයා 2වැනි කොටස

සරත් ෆොන්සේකා මගේ කැඩෙට්‌ කෙනෙක්‌. එයාගෙ උත්සවයකට මටත් ආරාධනා කළා. එතනදි මාව පෙන්වලා එයා කිව්වා අතන ඉන්නවා මගේ ගුරුවරයෙක්‌. එයා තමයි මට යුද්ධ උපක්‍රම ඉගැන්නුවේ කියලා.

ෆොන්සේකා ඒ කාලයේ ටිකක්‌ දඟයා. දවසක්‌ ළමයි වගයක්‌ එක්‌ක ගහගෙන පොඩි කේස්‌ එකක්‌ දාගත්තහම මම ගිහින් එයාට කිව්වා. ඔයා "බ්ලැක්‌ මාර්ක්‌" එකක්‌ ගහගන්න එපා. ඔයා හොඳ විනයක්‌ තියාගෙන ඉන්න ඕන කියලා.

බන්දුල වර්ණපුරව නායකත්වයට පත් කළේ මම.

එක කලිසම හෝද හෝදා ක්‍රිකට්‌ කෙළියේ යෙදුනු නෙල්සන් මෙන්ඩිස්‌ මහතා එදා කලිසම් නොතිබුණද ක්‍රිකට්‌ බඩු භාණ්‌ඩ හරි හැටි නොතිබුණද ක්‍රිකට්‌ සමග ජීවත් විය. ඔහු ක්‍රිකට්‌ අතහැර නොගියේ එය ඇඟට කා වැදී තිබුණ හෙයිනි. අදටත් ක්‍රිකට්‌ වෙනුවෙන් සිය දහඩිය වපුරුවන මේ අපූරු ගුරුවරයාගෙන් ගුරුහරුකම් ලද දුසිම් දෙකක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලට ක්‍රීඩා කිරීම එක්‌තරා පුදුම කතාවකි. රොෂාන් මහානාම එදා නෙල්සන් මෙන්ඩිස්‌ මහතාගේ අල්ලපු ගෙදර සිටිමින් සිය ගුරුවරයාගේ ගරාජයේ පන්දුවක්‌ එල්ලා පාන්දර පහට පමණ අවධි වී ටොක්‌...ටොක්‌..ටොක්‌.. යන සද්දයෙන් කරන පුහුණුවීම් කන වැකී අවදි වන නෙල්සන් මෙන්ඩිස්‌ මහතා කළ ඒ රසවත් අතීතය ගැන අපි ඉකුත් සතියේ පළ කළෙමු.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ගුරුහරුකම් කියා දුන් නෙල්සන් මෙන්ඩිස්‌ මහතා හිටපු ශ්‍රී ලංකා යුද හමුදාපති සරත් ෆොන්සේකාට කැඩෙටින් කියා දීම සහ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ඉංග්‍රීසි කියා දීමද තවත් කතාවකි. රටේ නම ගිය චරිත ගණනාවකට ගුරුවරයකු වූ නෙල්සන් මෙන්ඩිස්‌ මහතා "දිවයින ඉරිදා සංග්‍රහයේ" පාඨකයන් වෙනුවෙන් තවදුරටත් අතීතයේ සිදුවීම් මෙසේ දිග හැරියේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් අධ්‍යාපනය ලබා ක්‍රිකට්‌ පිටියට පිවිසි නෙල්සන් මෙන්ඩිස්‌ මහතා එදා ක්‍රිකට්‌ වලට අමතරව තවත් ක්‍රීඩාවලට දක්‍ෂයකු විය. ඔහු කැඩෙට්‌ කණ්‌ඩායමේ ඉහළම තනතුර හෙබවීය. ඒ අතර සරත් ෆොන්සේකාද නෙල්සන් මෙන්ඩිස්‌ මහතාට හමුවිය.

"සරත් ෆොන්සේකා මගේ කැඩෙට්‌ කෙනෙක්‌. එයාගෙ උත්සවයකට මටත් ආරාධනා කළා. එතනදි මාව පෙන්වලා එයා කිව්වා අතන ඉන්නවා මගේ ගුරුවරයෙක්‌. එයා තමයි මට යුද්ධ උපක්‍රම ඉගැන්නුවේ කියලා. මම බැලුව මොකක්‌ද මේ කියන කතාව කියලා. දැන් හරි මට පුදුමයි මේ කතාවට. මොකද මම එහෙම යුද්ධ උපක්‍රම එයාට ඉගැන්නුවෙ නැහැ. පස්‌සෙ උත්සවය අවසන් වෙලා සුහදව කතා කරන වෙලාවෙ මම ඇහැව්වා සරත් ඔයාට මම අර කියපු ඒවා ඉගැන්නුවෙ නැහැනෙ කියලා. එයා කිව්වා සර් තමයි මට විනය ඉගැන්නුවෙ. ඒක තමයි මේකට මුලාරම්භය කියලා. යුද හමුදාවේ සොල්දාදුවන් පැය ගණන් ඔය කියන දේවල් කරහම නිකන්ම විනය ඇති වෙනවා"කියලා.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා පාසල් කාලයේදී ටිකක්‌ විතර දඟයකු බව නෙල්සන් මෙන්ඩිස්‌ මහතා පවසයි. එහෙත් කැඩෙටින් කණ්‌ඩායමේ මෙහෙයවන නෙල්සන් මෙන්ඩිස්‌ මහතාට මේ සියල්ලෝම ගරු කරති. ඔහුගේ ක්‍රියා පිළිවෙත අනුගමනය කරති. එබැවින් එදා ෆොන්සේකා මේ සියලු දේට කළ ගරු බුහුමන් කළ මතකය ඔහු යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගියද ඔළුවේ වැඩ කළ බව ඉහත කතාවෙන් ගම්‍ය වේ.

"ෆොන්සේකා ඒ කාලයේ ටිකක්‌ දඟයා. දවසක්‌ ළමයි වගයක්‌ එක්‌ක ගහගෙන පොඩි කේස්‌ එකක්‌ දාගත්තහම මම ගිහින් එයාට කිව්වා. ඔයා "බ්ලැක්‌ මාර්ක්‌" එකක්‌ ගහගන්න එපා. ඔයා හොඳ විනයක්‌ තියාගෙන ඉන්න ඕන. ඔයා එහෙම හිටියොත් ශිෂ්‍ය නායකයෙක්‌ වෙන්නත් පුළුවන් කියලා. ඒ කතාව අහල එයා ඔළුව වනලා ගියා. එදායින් පස්‌සෙ හැබැයි එයා කේස්‌ දාගත්තෙ නැහැ."

සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා ලෙස මෙරට යුද්ධය නිමා කිරීමට එක්‌ අන්තයක නායකත්වය දෙන විට ආරක්‌ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‌ෂ ඒ සියලු දේට අවශ්‍ය නායකත්වය ලබා දුන්නේය. එහෙත් මේ දෙදෙනා දැන් දෙපැත්තක සිටියද එදා ගෝඨාභය රාජපක්‌ෂත් නෙල්සන් මෙන්ඩිස්‌ මහතාගෙන් ගුරුහරුකම් ලබා තිබේ. ඒ ඉංග්‍රීසි භාෂාව පිළිබඳවය.

"සරත් ෆොන්සේකා විතරක්‌ නෙමෙයි ගෝඨාභය රාජපක්‌ෂටත් මම එදා ඉංග්‍රීසි ඉගැන්නුවා. මට පත්වීමක්‌ ලැබුණා හමුදා කාණ්‌ඩයකට ඉංග්‍රීසි උගන්වන්න. ඒ අනූව ගෝඨාභය සහ තව කීපදෙනෙකුට මම ඉගැන්නුවා. මේ අය ඉතින් කොහොම හරි ඒ විභාගය සමත් වුණා. හැබැයි ගෝඨාභය ඒ කාලෙත් හොඳ විනයක්‌ තිබුණ කෙනෙක්‌."

"කියවීම මිනිසා අංග සම්පූර්ණ කරයි" යනුවෙන් කියමනක්‌ තිබේ. එබැවින් නෙල්සන් මෙන්ඩිස්‌ මහතාද එකල අලුයම අවදි වී සිය අම්බලන්ගොඩ ගමට එන පත්තර ගැනීමට පෝලිමේ බලා සිටියි. ඒ ඔහුට රට තොට විස්‌තර මෙන්ම අනෙකුත් විස්‌තර කියවීමට තිබූ උනන්දුව නිසාය.

"අපි ඒ කාලෙ පුස්‌තකාලවල තියෙන හැම පොතක්‌ම පාවිච්චි කළා. "ස්‌පෝටින්ස්‌ ටයිම්" කියල පත්තරයක්‌ තිබ්බා. අම්බලන්ගොඩට එන්නෙ පත්තර දහයයි. පෝලිමේ වගේ ඉඳල තමයි පත්තරේ ගන්නෙ. ඒ වගේ අපිට උනන්දුවක්‌ තිබ්බා කියවන්න. සමහර දවසට පාන්දර පහට නැගිටල තමයි පත්තරේ ගන්න ටවුමට එන්නෙ."

රටේ නම ගිය චරිත අතර ඉස්‌තරම් ගුරුවරයකු වූ නෙල්සන් මෙන්ඩිස්‌ මහතාට මෙරට පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායකයා වූ බන්දුල වර්ණපුරව සොයා ගත්තේය. ඔහුට පළමුව නායකත්වය ලබාදුන්නේද නෙල්සන් මහතායි. ඒ කතාව රසවත් ලෙස ඔහු මෙලෙස විස්‌තර කළේය.

"බන්දුල වර්ණපුරව නායකත්වයට පත් කළේ මම. මම ඇහැව්වා නාලන්දෙ කනිෂ්ඨ කණ්‌ඩායමෙන් කවුද නායකත්වය භාරගන්න කැමැති කියලා. පරණ කට්‌ටිය කවුරුත් අත ඉස්‌සුවේ නැහැ. ඒ ගමන අලුතෙන් කට්‌ටියගෙන් කවුද කැමැති කියල මම ඇහුව්වා. එක ළමයෙක්‌ අත උස්‌සල කිව්වා මම කැමැතියි කැප්ටන් කරන්න කියලා. කවුද මේ ළමයා බන්දුල වර්ණපුර. මෙයා තමයි මගේ පුහුණුකරු යටතේ පළමු ක්‍රිකට්‌ නායකයා වුණේ."

"මට දවසක්‌ බන්දුලගේ තාත්තා හම්බ වෙලා කියනවා අවුරුදු 11 ඉඳන් ක්‍රිකට්‌ පුහුණු වීම්වලට බන්දුල එනවා. නමුත් එයාව ගත්තෙ නැහැ කියලා. කට්‌ටිය ඉන්නවා කියලා මාµsයාවක්‌ ඒ කාලයේ තිබිල තියෙනවා. බන්දුල වර්ණපුරගේ තාත්තා ඩොක්‌ටර් ප්‍රනාන්දු. තාත්තා ක්‍රිස්‌තියානි වුණාට පුතා බෞද්ධ. එයාගෙ ළමයි ඔක්‌කොම බෞද්ධ."

"බන්දුල ඒ කාලයේ ආරම්භක වේග පන්දු යවන්නා. පිතිකරණයත් ඉතාම හොඳයි. කණ්‌ඩායමත් හොඳට මෙහෙයවනවා. බන්දුලට කතාවක්‌ කරන්න කිව්වහම මම විශේෂ දෙයක්‌ කියන්න ඕන කියල එයා කිව්වා "අතිරේක ක්‍රීඩකයන් තමයි අපිට ඉන්න වැදගත්ම ක්‍රීඩකයන්." කියලා. ඒ වගේ දැනුමත් එයාට පොඩි කාලයේ ඉඳල තිබුණා. මොකද අතිරේක ක්‍රීඩකයන් ගැන කවුරුත් කතා කරන්නෙ නැහැනෙ. නමුත් බන්දුල ඒ ගැන කතා කළා.

"බන්දුල වයස අවුරුදු 14 න් පහළ ගහන කොට අවුරුදු 19 න් පහළ කණ්‌ඩායමට ගත්තා. ඒ 19 න් පහළ කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවා නැති හින්දා. ඒ ගමන මම කිව්වා බන්දුලට උපරිම හයියෙන් බෝල් කරවන්න කියලා. බන්දුල පළමු ශතකය ගැහුව්වේ එයා ගහපු පළමු 19 න් පහළ තරගයේදී. ප්‍රේමසර ඈපාසිංහ තමයි මගේ සහය පුහුණුකරු වුණේ."

නෙල්සන් මෙන්ඩිස්‌ගේ පුහුණුකාර ජීවිතයේ දඟකම නවතා ගැනීමට නොහැකි දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු විය. ඒ අනුර ද සිල්වාය. නමුත් ඔහුව ක්‍රිකට්‌ වලින් දක්‍ෂයකු කරන්නට නෙල්සන් මෙන්ඩිස්‌ට හැකිවුවද මෙන්ඩිස්‌ ගුරුතුමාගේ විනය මාලාවට විරුද්ධව ඔහු කටයුතු කිරීමෙන් ක්‍රිකට්‌ දිවිය කෙළවර ගත්තේය.

"අනුර ද සිල්වා තමයි ඒ කාලයේ නාලන්දෙන් බිහිවුණ හොඳම ක්‍රීඩකයා. එයාගෙ විනය තමයි තිබුණෙ නැත්තෙ. දැන් එයා ජීවතුන් අතරත් නැහැ. එයා මැරෙන්න කලින් හැම මාසෙකම ඇවිල්ලා මගෙන් සල්ලි කීයක්‌ හරි ඉල්ලගෙන යනවා. දවසක්‌ නුවර මැච් එකකට ගියාම හැමෝම ඇවිල්ල ඇහුව්වෙ කවුද අනුර ද සිල්වා කියන්නෙ කියලා. එයා ඒ වෙනකොට ශතක තුනක්‌ ගහල තමයි නුවර තරගයට ගියේ.

ඒ කාලේ ශාන්ත අන්තෝනි විදුහලේ ජැක්‌ ඇන්තන්ස්‌ පිට පිට ශතක හයක්‌ ගහල වාර්තාවක්‌ තිබ්බා. ඒ වාර්තාව කඩන්න කියල මම අනුරව දිරිමත් කළා. කොහොම හරි නුවර ගියාට පස්‌සෙ අනුර මට කිව්වා කණ්‌ඩායමේ උපනායකයා වුණ දිවුල්වලගේ නැන්දලාගෙ ගෙදර ගිහිල්ල එන්නම් කියලා. මමත් ඉතින් අවසරය දුන්නා. පස්‌සෙ මට ආරංචි වුණා ඒ ගිය පස්‌දෙනා රෑ 9.00 ට විතරත් ආවෙ නැහැ කියලා. ඊට පස්‌සෙ මම බලන් ඉන්න කොට ඔන්න මේ අය එනවා. අනුර ද සිල්වා හොඳටම බීලා මාට්‌ටු වුණා."

"පස්‌සෙ ගමන ගිය ලලිත් කළුපෙරුම, එඩ්වින් සහ දිවුල්වල කියන තුන්දෙනා ඇරෙන්න අනුර ද සිල්වාව මම සවර් එක ඇතුළට දාල එළිවෙනකම් ඉන්නවා කියල දඩුවමක්‌ ලබාදුන්නා. මුරටත් එක්‌කෙනෙක්‌ව තියල ගියා. මම ගියාට පස්‌සෙ අනුර මුරට තිබ්බ එකාට සද්දෙ දාලා ෂවර් එක වහල නිදාගෙන. මම උදේ හැදුවෙ මෙයාව ආපහු කොළඹ අරින්න. ප්‍රේමසර ඈපාසිංහ මට කිව්වා ඊයේ කෝච්චිය නැවැත්තුවාහම අනුර ගැන ඇහැව්වා මතකයි නේද කියලා. ඒ කට්‌ටිය ඇහුව්වම නාලන්දෙ ළමයා බීල දඩුවමක්‌ දීල මැච් එක ගැහැව්වෙ නැහැ කිව්වහම මොනවද වෙන්නෙ. ගිහිල්ල වෙන දඩුවමක්‌ දෙමු. මිනිහ නායකයා වුණත් ටොස්‌ කරන්න යවන්නෙ නැතිව උපනායකයව ටොස්‌ කරන්න යෑව්වා."

"පස්‌සෙ අනුර බැට්‌ කරන්න ගිහින් මගේ යුතුකම මම කරන්නම් කිව්වා. අනුර හිමින් හිමින් ගහල සියයක්‌ ගැහැව්වා. මිල්ක්‌ ඉන්ටවල් එකක්‌ ඒ කාලයේ මැච්වල තියෙනවා. මම අතිරේක ක්‍රීඩකයෙක්‌ යෑව්වා අනුරගෙන් අහන්න මොකද තත්ත්වෙ කියලා. යනකොට මේ මිනිහ අහල තියන්නෙ මෙන්ඩියා මොකද දැන් මට කියන්නෙ කියලා. මිනිහ සියය ගහල මගේ පැත්තට බැට්‌ එක කරකවල අමුතු සෙල්ලමක්‌ දැම්මා. අපි මැච් එක දිනුවා. සර් ගාණෙ පාටි එකක්‌ දෙන්න කියලා කිව්වා. මම කට්‌ටිය කඩේකට එක්‌කගෙන ගියාහම මෙයා කොල්ලන්ට කියල අද මෙන්ඩියගෙ පර්ස්‌ එක හිඳෙන්න කාපල්ල කියලා. එහෙම කියල මේ මිනිහ වටෙන් ගිහිල්ල කැෂියර්ගෙන් සිගරට්‌ පැකට්‌ එකක්‌ ඉල්ල ගත්තා. ඒක දෙනකොටම මම අල්ල ගත්තා. ඊට පස්‌සෙ මම තරග තුනක්‌ තහනම් කළා. ඒ නිසා එයාට පිට පිට ශතක හය ගහන්න බැරි වුණා. හැබැයි ස්‌කූල් බෝයි ක්‍රිකටර් වුණා. ඒකාබද්ධ පාසල් කණ්‌ඩායමේ නායකයා වුණා. එස්‌.එස්‌.සී. ක්‍රීඩා සමාජයෙන් අනුරට ආරාධනා කළා. මෙයාට තමයි මුලින්ම ආරාධනා කළේ පාසල් ගහන කාලෙ එන්න කියලා. මෙයා ගිහිල්ල පළමු සරා තරගයෙදි ශතකයක්‌ ගැහැව්වා."

එදා ක්‍රිකට්‌ ගැටව් යෝධයන් බවට පරිවර්තනය කිරීමට මූලික අඩිතාලම සකස්‌ කළ නෙල්සන් මෙන්ඩිස්‌ මහතා වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් පෙරේරාගේ රාජකීය ගමනට අත්වැලක්‌ විය.

"කුසල් ජනිත් පෙරේරා වයස අවුරුදු 13 න් පහළ ගහන කාලයේ ඉඳල සී.සී.සී. එකට ආවා. අපි රාජකීයත් එක්‌ක තරගයක්‌ ගැහුව්වා. ඒකෙදි මෙයා බෝල 40 කට විතර ලකුණු 80 ක්‌ ගැහුව්වා. ඒ ගහපු ගැහිල්ලට රාජකීය විදුහලට මෙයාව ගන්න කැමැති වුණා. ඒක එයාට ලොකු ශක්‌තියක්‌ වුණා ඉදිරියට යන්න."

දැනට අවුරුදු 18 ක්‌ පුරා සී.සී.සී. ක්‍රිකට්‌ පාසලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන නෙල්සන් මෙන්ඩිස්‌ මහතා එහි පුහුණු ඒකකය විධිමත්ව කරගෙන යයි. සී.සී.සී. පුහුණු පාසලේ වැඩ පටන් ගැනීමෙන් පසුව මෙන්ඩිස්‌ මහතා ළඟට පැමිණි ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියංජන, රමිත රඹුක්‌වැල්ල, කුසල් ජනිත් පෙරේරා වැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ බවද ඔහු පවසයි."

අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.