ජනපති පදවි ප්‍රාප්තිය සමරා
කලාකරුවන්ට විශ්‍රාම වැටුපක්‌


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදෙන ජනවාරි 08 වැනිදා කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුපක්‌ හඳුන්වා දෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක්‌ නිකුත් කරමින් ශ්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලයේ සභාපති කීර්ති සුරංජිත් මාවැල්ලගේ මහතා මෙසේ කියා සිටී.

සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලය විසින් ශ්‍රී ලංකාවේ කලාකරුවන් උදෙසා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව, අභ්‍යන්තර කටයුතු සංස්‌කෘතික හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්‌. බී. නාවින්න හා සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්‌. බී. දිසානායක යන මහත්වරුන්ගේ මග පෙන්වීමෙන් ආයතන දෙකේ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 444 ක්‌ ශ්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලය වෙත ලබාදීමට සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

ඒ අනුව ලබන ජනවාරි 08 වැනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සැමරුම් දිනයේ සිට කලාකරුවන්ට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිලාභී කලාකරුවෝ තෝරාගැනෙති.

කලාකරුවන් උදෙසා ක්‍රියාත්මක කරන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වයස 23 සිට 55 දක්‌වා වන කලාකරුවන්ට දායකත්වය ලබාගත හැකි අතර පළමුව මෙයට දායකවන්නන් හට ප්‍රතිලාභ ලබන පළමු දිනයේ දී රුපියල් 50,000 ක විශේෂ බෝනස්‌ දීමනාවක්‌ ද සහිතව ප්‍රතිලාභ ලබා දෙන බව ශ්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලයේ සභාපතිවරයා පවසයි.

ප්‍රතිලාභ ලබන කලාකරුවන් සඳහා අර්ධ ආබාධිත, පූර්ණ ආබාධිත හා මරණය වැනි අවස්‌ථාවන්හිදී විශාල පාරිතෝෂිත මුදල් හිමිවන බවද හෙතෙම කියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.