අවුරුදු 198 කතාව බොරුවක්‌
එදා මහින්ද සින්නක්‌කරව චීනයට දෙන්න හදපු ඉඩම්
මේ ආණ්‌ඩුව 99 අවුරුදු බදු ක්‍රමයට ලබා දෙනවා

අපිට තවත් ණය ගන්න පුළුවන්
ඇ. ඩො. බිලියන 100 ක්‌ පමණයි
ඇමැති මහින්ද අමරවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක්‌ පිහිටුවීමට අදාලව ඉඩම් විශාල ප්‍රමාණයක්‌ චීන රජයට සින්නකරව පවරාදීමට සූදානම් කර තිබූ බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ පෙරේදා (25 වැනිදා) හම්බන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී පැවැති යෝජිත හම්බන්තොට කර්මාන්තපුරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයේදීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.

රජය විසින්, ලබන මස හම්බන්තොට ආරම්භ කිරීමට යෝජිත කර්මාන්ත ප්‍රවර්ධන කලාපය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාර නිසා හම්බන්තොට ජනතාව අතර මෙම කර්මාන්ත ප්‍රවර්ධන කලාපය සම්බන්ධයෙන් වැරදි මතයක්‌ ගොඩනැගීමට හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් එක්‌ එක්‌ පාර්ශ්ව දැනුවත් කිරීම අරඹා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන වැඩකටයුතු රැසක්‌ සිදු කළා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ මෙන්ම ප්‍රදේශයේ මහාමාර්ග සංවර්ධනය ආදි විශාල වැඩකොටසක්‌ කළා. හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක්‌ පිහිටුවීමට අදාළව ඉඩම් විශාල ප්‍රමාණයක්‌ වෙන්කර තිබුණා.

මේ රජය බලයට පත් වූ පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු යළිත් ආරම්භ කිරීමේ දී අපට තිබුණ ලොකුම අභියෝගය තමයි රු. කෝටි නව ලක්‍ෂ 90,000 ක්‌ ඉක්‌මවන ණය කන්දරාව. හම්බන්තොට වරාය ඉදි කිරීමේ දී ඇමරිකන් ඩොලර් බිලියන 02 කට ආසන්න මුදලක්‌ වියදම් කර තිබෙනවා. ඒවා චීන රජයෙන් ණය වශයෙන් ගත් මුදල්.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ දී කර්මාන්තපුරය සඳහා පවරා ගත් ඉඩම් සින්නක්‌කරව චීන රජයට පවරා දීමටයි සූදානම් කර තිබුණේ. ඉඩම් චීනයට සින්නක්‌කරව පවරා දුන්නා නම් අඩුම තරමින් අපේ ගුවන් යානයකටවත් ඒ ඉඩම්වලට ඉහළින් වත් යන්න බෑ. දේශ සීමා ප්‍රශ්නයක්‌ මතු කරනවා. අඩුම තරමින් ජනාධිපතිතුමාටවත් ඒ කර්මාන්තපුරයට ඉහළින් ගුවනින් යානයකින් යන්න බැහැ. අවසර ගන්න ඕන. නමුත් වත්මන් රජය ඒ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් චීනයත් එක්‌ක සාකච්ඡා කළා. චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා. එතුමා ඇතුළු රජය චීන රජයත් එක්‌ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඉල්ලීම් 02 ක්‌ ඉදිරිපත් කළා. එකක්‌ තමයි ලබා ගත් ණය කපා හැරීම. දෙවැන්න විකල්ප වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීම.

චීන රජය ණය කපා හැරීමට කැමැති වුණේ නැහැ. හේතුව තමයි ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන්නේ සුළු ණය ප්‍රමාණයක්‌ වුණත්, ලෝකයේ වෙනත් රටවල් ඇමරිකාව පවා චීනයෙන් විශාල මුදලක්‌ ණය වශයෙන් අරන් තියෙනවා. අපේ ණය කපා හැරියොත් ඒක පූර්වාදර්ශයක්‌ වන බැවින්, ණය කපා හැරීම ඔවුන් ප්‍රතික්‍ෂේප කළා.

ඒ අනුව හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ සහ බොහෝ වේලාවට කඩා වැටෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය චීන රජයේ මැදිහත් වීමෙන් පවත්වාගෙන යන්න චීන රජය සහයෝගය පළ කළා. ඒ අනුව තමයි මේ තීරණය ගත්තේ. රටේ විශාල ණය කන්දරාවක්‌ තබා ගෙන ඒවාට පොලිය හා ණය වාරිකය ගෙවමින් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට රජයට හැකියාවක්‌ නැහැ. ඒ විතරක්‌ නොවෙයි. රජයේ සේවක වැටුප රු. දස දහසකින් වැඩිකරනු ලැබුවා. තවත් භාණ්‌ඩ විශාල ප්‍රමාණයක මිල අඩු කළා. එහි ප්‍රතිඵලය වූයේ රටේ අදායම තව තවත් පහළට වැටීමයි.

ඒ නිසා චීන රජයේ ණය මත ඉදිකර තිබෙන එම ව්‍යාපෘති චීන රජයේ සමාගම් කිහිපයක්‌ පවරා ගැනීමට කැමැත්ත පළ කළා. මෙව්වා ලබා දෙන්නේ අනූ නව අවුරුදු බදු ක්‍රමය යටතේ. සමහරු කියනවා අවුරුදු 198 කට දෙනවා කියලා. එහෙම දෙයක්‌ නැහැ. සින්නක්‌කරව පවරන්න තීරණය කර තිබුණ ඉඩම් අනූනම අවුරුද්දක්‌ දක්‌වා අඩුකර ගන්න රජය පියවර ගත්තා.

කර්මාන්තපුරය ඉදිකිරීමේ දී ඒ සඳහා හම්බන්තොට මහජනතාව පදිංචිව සිටින කිසිදු ඉඩමක්‌ පවරා ගන්නේ නෑ. අනවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචිව සිටින අයගේ ඉඩම් වුවත් පවරා ගන්නේ ඔවුන්ගේ කැමැත්ත මත සහ ඔවුන්ට විකල්ප ඉඩමක්‌ ලබා දී අදාළ ඉඩමට වන්දි ලබා දීමෙනුයි. ඒ වගේම හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජනතාව පදිංචි ඉඩම් අක්‌කර 15,000 ක්‌ රජය බලහත්කාරයෙන් පවරා ගන්න යන කතාව සම්පූර්ණ බොරුවක්‌.

හම්බන්තොට නියෝජනය කරන මම වැනි මහජන නියෝජිතයින් සිටිය දී එවැනි යෝජනාවලට අපි ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා රජය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න නම්, තවත් විශාල මුදලක්‌ අපිට අවශ්‍යයි. හම්බන්තොට වරාය ඉදි කරපු සමාගම මිළ ගණන් ඉදිරිපත් කරලා තිබුණේ ඔවුන් ඉදි කරන්නට වැය කරන ලද මුදලට වඩා අඩුවෙන්. තවත් සමාගමක්‌ ඊට වැඩි මුදලක්‌ ඉදිරිපත් කර තිබුණා. ඒ සමාගමට තමයි වරාය පැවරීම සිදු කරන්නේ.

අනිත් එක තමයි අපේ රට ණය ගත හැකි උපරිම මට්‌ටමට දැන් ඇවිත් තිබෙන්නේ. වැඩිම වුණොත් තවත් අපිට ණය ගත හැක්‌කේ ඇමරිකන් ඩොලර් බිලියන 100 ක්‌ තරම් ප්‍රමාණයක්‌ විතරයි. ඊට පස්‌සේ ලෝකයේ කිසි කෙනෙක්‌ අපිට ණය දෙන්නේ නැහැ. ඒ නිසා රටේ සංවර්ධනය තුළින් පමණයි රට ඉදිරියට ගෙන යාමට හැකි වන්නේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.