2017 ශ්‍රී ලංකාව

2017 වසර උදා වීමට ඇත්තේ තවත් දවසකි. නව වසරක්‌ යනු නැවුම් බලාපොරොත්තු පිරී ගිය වසරකි. ගෙවී ගිය වසරේ අපට වැරදුනු තැන්, මඟහැරී ගිය අවස්‌ථා නිවැරදි මාවතට ගැනීමට ඒ පිළිබඳ සැලසුම් කිරීමට නැවුම් දින 365 ක්‌ අපට ලැබී තිබේ. මේ සෑම දිනකම අප ගන්නා තීන්දු, තීරණ රටේ අනාගතය සියවසක්‌ ඉදිරියට හෝ පසුපසට ගෙන යැමට හේතු වන බව අප අමතක

නොකළ යුතු ය.

2017 වන විට ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 69 ක්‌ සපිරේ. ගෙවී ගිය කාලය රටක්‌ ලෙස විශාල ඉදිරි පිම්මක්‌ පැනිය යුතු වුවත් අපි තවමත් මංමුලා වූ ජාතියක්‌ වී, ජාතික මඩ ගොහොරුවක ගිලී සිටින්නෙමු. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබන විට ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 18 කි. වසර 69 කට පසු එම ප්‍රතිශතය සියයට සියය ආසන්න අගයකට පත්ව තිබීම පිළිබඳව නිදහසින් පසු ලංකාවේ පාලනය අතට ගත් දේශීය දේශපාලන තන්ත්‍රයම ලැඡ්ජාවට පත්විය යුතුය. ඩී. එස්‌. සේනානායක යුගයේ එංගලන්තයට ණය දුන් ලංකාව අද ලෝකයටම ණයකාරයකු වී සිටින්නේ රට හමුවේ බරපතළ ආර්ථික හා සමාජීය අර්බුද බිහිකරමිනි.

එක්‌සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය සකස්‌ කළ ලෝකයේ සතුටින්ම ජනතාව සිටින රටවල් ලැයිස්‌තුවේ රටවල් 157 අතුරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 117 වන ස්‌ථානයේ ය. අපට වඩා ඉතියෝපියාව, බංගලාදේශය සහ නේපාලය සතුටින් සිටී. මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව 93 වන ස්‌ථානයේ පසුවන අතර, ජීවිත අපේක්‍ෂාව වසර 76 ක්‌ වී ගෝලීය දර්ශකයේ 82 වැනි තැනට පත්ව සිටී.

දළ ජාතික නිෂ්පාදන මට්‌ටම අනුව ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 61 වැනි ස්‌ථානයේ ය. අපට වඩා ඉදිරියෙන් සිටින ආසියානු රටවල් වන්නේ ඉන්දියාව සහ බංගලාදේශයයි. ජන සංඛ්‍යාවට සාපේක්‍ෂව ඒක පුද්ගල ආදායම හිමි රටවල් කාණ්‌ඩයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 124 වැනි ස්‌ථානයේ ය.

ඇමරිකානු ලේඛක, දේශපාලන විශ්ලේෂක රොබට්‌ ඩී. කප්ලාන් පවසන්නේ ඉන්දියන් සාගරයේ මෝසම් වැස්‌ස මගින් ආසියානු ආර්ථිකයේ විප්ලවය සිදු වන බවයි. අවාසනාවට, මේ මෝසම වසර 69 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව පසුකර චීනය, ඉන්දියාව සහ වියට්‌නාමය වෙත ගමන් කරමින් ආසියානු ආර්ථික විප්ලවය අරඹා තිබේ.

අපට වැරදුනේ කොතැනදරෑ යන්න පසුකථනයක යෙදීමට මෙය කදිම අවස්‌ථාවක්‌ කර ගත යුතුය. 2017 වසර තුළ අප හමුවේ ඇති අභියෝග බොහෝය. මේ සියලු අභියෝග ජය ගත හැක්‌කේ රට ආර්ථිකයෙන් ශක්‌තිමත් වුවහොත් පමණි. එබැවින් නව වසරේ මූලිකත්වය හිමිවිය යුත්තේ රටේ ආර්ථිකය ගොඩනැඟීමටය.

එළඹෙන්නේ ආසියානු සියවසේ සංක්‍රාන්ති සමයයි. වසර 2040 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඇමරිකාව හා චීනයේ ආර්ථිකයට සමවනු ඇත. චීනය ඔවුන්ගේ දෙවැනි චJද්‍ර මෙහෙයුම 2017 වසරේ දියත් කරනු ඇත. එහි අරමුණ සඳේ පාෂාණ කැබලි සිය රටට ගෙන ඒමය. ඉන්පසු 2025 දී චීන කොඩිය සඳේ ළෙලදෙනු ඇත. ඒ වන විටත් අපි සිංහයා සිඹිමින්, සඳේ සාවුන් ගැන කවි ලියමින් සිටිනු ඇතිද?

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.