පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යට ගිය දවස

සුමුදු නිරාගී සෙනෙවිරත්න
සිංහල අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

''කිසියම් සරසවියක්‌ එහි පිහිටීම හේතුවෙන් වැදගත් වන්නේ නම් ලෝකයේ පවතින කුඩා විශ්වවිද්‍යාල අතරින් අනගිතම වනු ඇත්තේ පේරාදෙණිය බව මට නිසැකය. මුළු මහත් ලෝකයම ඒ අදහස ප්‍රතික්‌ෂේප කළද මගේ නිගමනය නිවැරදි යෑයි මට හැෙ`ග්.''

1941 වසරේ මහ සිකුරාදා දින පළමු වැනි වරට පේරාදෙණියට පැමිණි ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස්‌, අනාගත විශ්වවිද්‍යාලයීSය භූමිය සිසාරා ඇවිද්දේය. ඔහු පැමිණියේ තනිවමය. කිසිවකුටත් නොදන්වාය. පුවත්පත් වාර්තාකරුවන්ට සිය පැමිණීම ආරංචි වීම සඳහා ඉඩ නොතැබීමට පරෙස්‌සම් වූ බව ඔහු කියා තිබේ. තමන් එදා දුටු පේරාදෙණි භූමිය ගැන ඔහු සිය ස්‌වයං චරිතාපදානයේ සඳහන් කර ඇත්තේ ඉහත දැක්‌වෙන ආකාරයෙනි.


ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස්‌

ක්‌ලිෆර්ඩ් හොලිඩේ

ඩී. ආර්.
විඡේවර්ධන

ලංකා විශ්වවිද්‍යාලය මෙරට ආරම්භ කරන ලද්දේ 1942 දීය. දේශීය සිසුන්ගේ උසස්‌ අධ්‍යාපනය නඟාලීම සඳහා විශ්වවිද්‍යාලයක්‌ මෙරට පිහිටුවීම මෙන්ම එය පේරාදෙණියේ ස්‌ථාපිත කිරීමද රමණීය පේරාදෙණි පරිසරය සේ සුන්දර වූ ක්‍රියාදාමයක්‌ නොවූ බව ඒ පිළිබඳ ඉතිහාසය විමසීමේදී පැහැදිලි වේ. එය තත්කාලීන සමාජ දේශපාලනික සාධක සමඟ බැඳුණු දුෂ්කර හා දීර්ඝ ප්‍රයත්නයකි. එසේම, ඉගෙනීමට හිතකර පරිසරයක සියලු පහසුකම් සහිත නේවාසික විශ්වවිද්‍යාලයක්‌ ඇරඹීම සඳහා කැපවීමෙන් ක්‍රියා කළ දේශීය මෙන්ම විදේශීය පුද්ගලයන් කිහිපදෙනකුගේ දැඩි පරිශ්‍රමයෙහි ප්‍රතිඵලයකි. මෙම ලිපියේ අරමුණ වන්නේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියෙහි පිහිටුවීමේ පසුබිම පුනරාවලෝකනය කිරීමයි.

යටත්විජිත රජය විසින් ඉන්දියාවට විශ්වවිද්‍යාල පහසුකම් ලබා දෙන ලද්දේ 1857 දීය. එහෙත්a විසිවන සියවස ආරම්භ වන විටත් ලංකාවේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය නඟාසිටුවීම පිළිබඳ උනන්දුවක්‌ ඔවුන් වෙත වූ බවක්‌ නොපෙනේ. යටත්විජිත පාලනයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පැවති මෙරට ජාතික ව්‍යාපාරය දේශීය අධ්‍යාපනයේ දියුණුව පිළිබඳ අවධානය යොමු කරන්නට වූයේ මේ අතරය. නිදහස දිනා ගැනීමේ අරමුණ කරා ජනයා මෙහෙයවීම සඳහා විවිධ සමිති හා සමාගම් බිහි වීම දහනව වැනි සියවසේ අවසානයෙහි පටන් දක්‌නට ලැබෙන විශේෂ ලක්‌ෂණයකි. ඉංග්‍රීසි අධ්‍යාපනය හා බටහිර සංස්‌කෘතිය පිළිබඳ අත්දැකීම් හේතුවෙන් සමාන සංස්‌කෘතික තලයක්‌ හා සමාන දේශපාලන දෘෂ්ටියක්‌ උරුම වූ මධ්‍යම පාන්තිකයෝ ලංකා සමාජ ප්‍රතිසංස්‌කරණ සංගමය (1905) වැනි සංවිධාන පිහිටු වූහ. මෙරට උසස්‌ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සඳහා විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීමට ඉංග්‍රීසි උගත් මධ්‍යම පාන්තිකයන්ගේ අනුග්‍රහය ලැබුණි. ඊට පුරෝගාමී වූවන් අතර ලංකා සමාජ ප්‍රතිසංස්‌කරණ සංගමයේ සාමාජිකයෝද වෙති.

ලංකාවේ විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීම පහසු නොවූයේ ඒ පිළිබඳ තීරණ ගැනීමේදී උද්ගත වූ මතභේද මෙන්ම වරින් වර ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ සිදුවීම නිසා ඇති වූ පමාවද හේතුවෙනි. මෙරට විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවනවාද නැතිද? පිහිටුවන්නේ නම් ඒ කවරාකාරයේ විශ්වවිද්‍යාලයක්‌ද? එය ගොඩනඟන්නේ කොළඹද ඉන් බැහැරද? යන කාරණා සම්බන්ධව විශ්වවිද්‍යාලයක්‌ මෙරටට ඉල්ලා සිටි ක්‍රියාකාරීන් අතර මෙන්ම රජයේ නිලධාරීන් අතරද විවිධ වාද විවාද උද්ගතව තිබේ.

ලංකා විශ්වවිද්‍යාල සංගමය පිහිටුවීම

වෛද්‍ය ඇන්ඩි්‍රයස්‌ නෙල් ප්‍රකාශ කර ඇති ආකාරයට, ලංකා විශ්වවිද්‍යාලය පිළිබඳ අදහස සාකච්ඡා මට්‌ටමට පැමිණ ඇත්තේ 1902 දී පමණ සිටයි. ඉන්දීය විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ වාර්තා සහ මෙරට විශ්වවිද්‍යාලයක්‌ ඇරඹීම සඳහා පැවති බාධක පිළිබඳව විවිධ පුද්ගලයන් 170 දෙනෙකු සමඟ පමණ වරින් වර සාකච්ඡා පැවැත්වූ බව ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවිය යුතුය යන මතය ස්‌ථාපිත කිරීම සඳහා වූ පළමු වැනි ප්‍රසිද්ධ රැස්‌වීම 1906 ජනවාරි 19 වැනි දින කොළඹ කොටුවේ පුස්‌තකාල ශාලාවේදී විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. චාල්ස්‌ පී. ඩයස්‌, මාකස්‌ ප්‍රනාන්දු, ඩී. බී. ජයතිලක, ඩොනල්ඩ් ඔබේසේකර, ඡේම්ස්‌ පීරිස්‌, පොන්නම්බලම් අරුණාචලම් යනාදීහු ඊට සහභාගි වූ බව වාර්තාගතය. පොන්නම්බලම් අරුණාචලම්, වෛද්‍ය එච්. එම්. ප්‍රනාන්දු, පූජ්‍ය ආර්. ඡේ. එම්. පාර්ක්‌ සහ එස්‌. සී. කේ. රත්නම් එහිදී විශේෂ දේශන පවත්වා තිබේ. දේශීය මට්‌ටමේ උසස්‌ අධ්‍යාපන පහසුකම් නොතිබීම නිසා තරුණ පරපුරේ අධ්‍යාපනයට ඇතිව තිබෙන බාධාව එහිදී අවධාරණය කරන ලදී. 1880 සිට කේම්බ්‍රිඡ් සීනියර් විභාගය සහ ලන්ඩන් මැටි්‍රකියුලේෂන් විභාගය මෙරටට හඳුන්වා දෙනු ලැබ තිබිණ. 1904 දී සිසුන් 693 දෙනෙකු කේම්බ්‍රි- සීනියර් විභාගයට පෙනී සිට ඇත. මෙම අධ්‍යාපන රටාව එංගලන්තයේ සිසුන් සඳහා සකසන ලද්දක්‌ වන බැවින් මෙරට දේශීය අවශ්‍යතා සඳහා එය නොසුදුසු බව මෙම රැස්‌වීමේදී සාකච්ඡා වූ මූලික කාරණයකි. එම නිසා ඉංග්‍රීසි හා බටහිර සංස්‌කෘතිය පමණක්‌ නොව ස්‌වකීය මවුබස, ඉතිහාසය හා දේශීය සම්ප්‍රදායයන් හැදෑරිය හැකි ආකාරයේ විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවිය යුතු බව පෙන්වා දෙනු ලැබිණි. එම ආකල්පය සෘජුවම ජාතික පුනර්ජීවන සමයේ පොදු මතවාදය නියෝජනය කරන්නක්‌ විය. ඒ අනුව ලාංකේය විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා 'ලංකා විශ්වවිද්‍යාල සංගමය' (The Ceylon
University Association) ආරම්භ කරන ලදී. සංගමයේ අදහස්‌ ප්‍රචාරය කිරීම සඳහා 'සිලෝන් නැෂනල් රිවීව්' නම් ස`ගරාවද ඇරඹිණ.

1906 අග භාගයේදී මෙම සංගමය මගින් රජය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය ලබා ගැනීමට උත්සාහ කෙරිණි. එවකට ආණ්‌ඩුකාරවරයාව සිටියේ හෙන්රි බ්ලේක්‌ය. එම අභියාචනය සම්බන්ධයෙන් එවන ලද රජයේ වාර්තාවෙහි සඳහන් වූයේ විශ්වවිද්‍යාලයක්‌ යනු සෑම සැලකිය යුතු ප්‍රජාවකගේම සාධාරණ අභිලාෂයක්‌ වුවද එවැන්නක්‌ පිහිටුවීමට අවශ්‍ය පසුබිම ලංකාවෙහි නොමැති බවයි. ඒ වන විට හඳුන්වා දී තිබුණු ලන්ඩන් විභාග ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් බවද එහි දක්‌වා තිබිණ. 'ලංකා විශ්වවිද්‍යාල සංගමය' විසින් ඒ සඳහා යවන ලද පිළිතුරු ලිපියෙන් මෙරට පැවති උසස්‌ අධ්‍යාපන පහසුකම්වල තත්ත්වය නිර්ණය සඳහා මෙන්ම මෙරටට කවරාකාරයේ විශ්වවිද්‍යාලයක්‌ අවශ්‍යද යන්න තීරණය කිරීම සඳහාත් කමිටුවක්‌ පත් කරන ලෙස ඉල්ලා සිටින ලදී. මෙම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දක්‌වන ලද්දේ හෙන්රි බ්ලේක්‌ගේ අනුප්‍රාප්තිකයා වූ හෙන්රි මැකලම් ආණ්‌ඩුකාරවරයා (1907-1913) විසිනි. වසර කිහිපයක නිහඬතාවකින් පසුව 1911 දී ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කමිටුවක්‌ පත් කරන ලද අතර මෙරට උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ පිහිටුවිය යුතුද එසේ පිහිටුවන්නේ නම් එය විශ්වවිද්‍යාලයක්‌ද නැතිනම් විශ්වවිද්‍යාල කොලීජියක්‌ද යන්න සොයා බැලීම එම කමිටුවේ කාර්ය භාරය විය. මෙරටට සුදුසු වන්නේ විශ්වවිද්‍යාල කොලීජියක්‌ බව 1913 දී තීරණය කෙරුණි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ලබා ගැනීම සඳහා සිසුන් සූදානම් කිරීම විශ්වවිද්‍යාල කොලීජියේ කාර්යය විය. ඒ අනුව එය ස්‌වාධීන ආයතනයක්‌ නොව අනුබද්ධ ආයතනයක්‌ පමණි.

කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය

විශ්වවිද්‍යාල කොලීජිය පිහිටුවීමට තීරණය වූයේ කොළඹ රාජකීය විද්‍යාලයට අයත් නව ගොඩනැඟිල්ලේය. එහෙත් තවත් පිරිසකගේ යෝජනාව වූයේ එය මහනුවර පිහිටුවිය යුතු බවයි. එම ප්‍රදේශයේ දේශගුණික සුවදායීභාවය හා කොළඹට වඩා අඩු වියදමකින් සිසුන්ට මහනුවර ජීවත් විය හැකි වීම යනාදී කරුණු එම මතයට බල පෑවේය. මේ අතර පළමුවන ලෝක යුද්ධය නිසා විශ්වවිද්‍යාල කොලීජිය ඇරඹීමේ කටයුතු ද පමා වූ බව පෙනී යයි. එය කොළඹ පිහිටුවන්නේ නම් ඊට වඩාත් සුදුසු ස්‌ථානය කුමක්‌ද යන්න පිළිබඳවද නිශ්චිත අදහසක්‌ නොතිබුණු අතර එය රාජකීය විද්‍යාලයේ නව ගොඩනැඟිල්ලෙන් බැහැර තැනක්‌ විය යුතු බව රොබට්‌ චාමර්ස්‌ ආණ්‌ඩුකාරවරයාගේ ආකල්පය වී තිබුණි. අවසානයේදී තර්ස්‌ටන් පාරෙහි වූ රැජින වලව්ව මිලට ගෙන 'කොලෙ හවුස්‌' යෑයි නම් කර, 1921 ජනවාරි 1 දා විශ්වවිද්‍යාල කොලීජිය පිහිටුවන ලදී. එහි අධිපති ධුරයට පත් කරන ලද්දේ මහාචාර්ය රොබට්‌ මාර්ස්‌ය. සිසුන් 155 දෙනෙකුගෙන් ආරම්භ වූ එහි අධ්‍යයන කාර්ය මණ්‌ඩලය මහාචාර්යවරුන් 5 දෙනෙකු කථිකාචාර්යවරුන් 3 දෙනෙකු සහ බාහිර කථිකාචාර්යවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත විය.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධි ලබා ගත හැකි ආයතනයක්‌ ඇරඹීම නිසා නේවාසික විශ්වවිද්‍යාලයක්‌ අනවශ්‍යය යන මතය ඇතැම් අය වෙතින් ඉදිරිපත් වුවද ලංකා විශ්වවිද්‍යාල සංගමයේ පුරෝගාමීන් සිය අරමුණ උදෙසා අඛණ්‌ඩව ක්‍රියාත්මක වූ බව පෙනී යයි. විශ්වවිද්‍යාල කොලීජියෙන් ලන්ඩන් බාහිර උපාධිය ලබා ගැනීම යනු ඔවුන් අපේක්‌ෂා කළ ආකාරයෙන් මවුබස, ඉතිහාසය හා දේශීය සම්ප්‍රදායයන් හැදෑරිය හැකි ආකාරයේ අධ්‍යාපනයක්‌ නොවේ. පොන්නම්බලම් අරුණාචලම් කියා සිටියේ විශ්වවිද්‍යාල කොලීජිය යනු හුදෙක්‌ ආරම්භය පමණක්‌ බවයි. විශ්වවිද්‍යාලය කොළඹින් බැහැරව පිsහිටුවිය යුතුය යන මතයෙහි ඔහු තරයේ පිහිටා සිටියේය.

විශ්වවිද්‍යාලයට සුදුසු ප්‍රදේශය පිළිබඳ මත ගැටුම

නේවාසික විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීම සඳහා සුදුසු ප්‍රදේශය තීරණය කිරීම සම්බන්ධව උණුසුම් වාතාවරණයක්‌ ක්‍රමයෙන් නිර්මාණය විය. එය තැනිය යුත්තේ කොළඹද නොඑසේ නම් මහනුවරද යන කාරණය තීරණය කර ගැනීමේදී ජාතික නායකයෝ දෙපිලකට බෙදුණහ. විශ්වවිද්‍යාල කොලීජියේ අධිපති වූ මහාචාර්ය රොබට්‌ මාර්ස්‌ගේ අදහස වූයේ කොළඹ රේස්‌ පිටිය හා ගිල්µර්ඩ් චන්ද්‍රවංකය අතර පිහිටි භූමිය ඊට පවරා ගත යුතු බවයි. එහෙත් රාජකීය විද්‍යාලයේ ව්‍යාප්තියට බාධාවක්‌ විය හැකි බැවින් එම අදහස ඉවත දමන ලදී. අනතුරුව 1923 දී ඒ පිළිබඳ තීරණයක්‌ ගැනීම සඳහා රොබට්‌ මාර්ස්‌, මාකස්‌ ප්‍රනාන්දු, ඡේම්ස්‌ පීරිස්‌ හා පොන්නම්බලම් රාමනාදන් යනාදීන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත් කෙරුණි. එහි තීරණය වූයේ බුලර්ස්‌ පාරට යාබදව පිහිටි භූමිය විශ්වවිද්‍යාලයට උචිත බවයි. එහෙත් ඩී. ආර්. විඡේවර්ධන, ඇන්ඩි්‍රයස්‌ නෙල්, එස්‌. සී පෝල්, එච්. ඒ. පී. සන්ද්‍රසාගර, ඩබ්ලිව්. ඒ ද සිල්වා, සී. ඒ. හේවාවිතාරණ, ප්‍රැන්සිස්‌ ද සොයිසා, ඒ. එµa. මොලමුරේ යනාදීහු මහනුවර ප්‍රදේශයේ විශ්වවිද්‍යාලය ස්‌ථානගත කළ යුතු බව තරයේම කියා සිටියහ. ලේක්‌හවුස්‌ ආයතනයේ අධිපති වූ ඩී. ආර්. විඡේවර්ධන තමන්ගේ පක්‌ෂයේ අදහස්‌ ප්‍රචාරණය සඳහා සිය පුවත්පත් ප්‍රයෝජනයට ගත්තේය. 'ලංකාව කමකට නැති විශ්වවිද්‍යාලයක්‌ භාර ගන්නවාද' යන මැයින් වූ ලිපි 'ඩේලි නිවුස්‌' පත්‍රයේ මෙන්ම 'දිනමිණෙහි'ද පළ වී තිබේ.

1926දී ව්‍යවස්‌ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රීවරයෙකු ගෙනා යෝජනාවක්‌ හේතුවෙන් මෙම අර්බුදය 'මහනුවර කඳවුරට' වාසි සහගත වීමට අවශ්‍ය පසුබිම සැකසුණු බව පෙනී යයි. ඔහු යෝජනා කළේ විශ්වවිද්‍යාලය බුලර්ස්‌ පාරේ භූමියෙහි නොව අන් තැනක ස්‌ථාපිත කළ යුතු බවයි. එවකට ආණ්‌ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් හියු ක්‌ලිµර්ඩ් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්‌වීමක්‌ කැඳවා විශ්වවිද්‍යාලයට සුදුසු භූමිය තීරණය කිරීමට පරීක්‌ෂණ කමිටුවක්‌ පත් කළේය.

අක්‌බාර් කමිටුව වශයෙන් හැඳින්වෙන ඊට එම්. ටී. අක්‌බාර්, ප්‍රැන්සිස්‌ මොලමුරේ, වෛත්‍යලිංගම් දොරේසාමි, ඩී. බී. ජයතිලක, හර්මන් ලුස්‌ හා ඩබ්ලිව්. එµa. වේට්‌ ඇතුළත් විය. බුලර්ස්‌ පාර ආසන්නයේ භූමිය, රත්මලාන, පේරාදෙණි වත්ත හා අරුප්පොලට නුදුරු උයන්වත්ත යන ස්‌ථාන සතර ඔවුන් විසින් පරීක්‌ෂා කරන ලදී. පේරාදෙණි භූමිය ඔවුන්ගේ සිත් ගත්තේ නැත. ඔවුන්ගේ වාර්තාවෙහි සඳහන් වන්නේ තැනිතලා බිම් අඩු, කඳුගැටවලින් යුක්‌ත විසම බිමක්‌ වන එහි ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා විශාල මුදලක්‌ වැය විය හැකි බවයි. 1926 නොවැම්බර් 19 වැනි දින ඉදිරිපත් කෙරුණු එම වාර්තාවට අනුව විශ්වවිද්‍යාලයට සුදුසු භූමිය ලෙස කමිටුව තීරණය කර තිබුණේ දුම්බර නිම්නයේ අරුප්පොල ප්‍රදේශයයි.

අක්‌බාර් කමිටුවෙහි තීරණය මගින් කොළඹ - මහනුවර කඳවුරු දෙක අතර උණුසුම් මතවාදීමය අරගලයක්‌ උද්ගත කරනු ලැබිණි. පුවත්පත් හා ප්‍රසිද්ධ රැස්‌වීම් මාර්ගයෙන් ඔවුහු ස්‌වකීය මතය තහවුරු කිරීමට තැත් කළහ. කොළඹ කඳවුරේ පළමුවැනි ප්‍රසිද්ධ රැස්‌වීම 1927 ජුනි 06 වැනිදා ෙ-ම්ස්‌ පීරිස්‌ගේ මූලාසනයෙන් බෙන්ජියන් ශාලාවේදී පවත්වන ලදී. ෙ-ම්ස්‌ පීරිස්‌, මාකස්‌ ප්‍රනාන්දු, පොන්නම්බලම් රාමනාදන්, ටී. බී. ජයා යනාදීහු එහිදී සිය අදහස්‌ දැක්‌වූහ. එහිදී ෙ-ම්ස්‌ පීරිස්‌ පැය තුනහමාරක පමණ කාලයක්‌ මුළුල්ලේ කළ සිය කතාවෙන් කියා සිටියේ විශ්වවිද්‍යාලයට සුදුසු භූමිය තීරණය කිරීමේ ප්‍රශ්නය මෑත ඉතිහාසයේ උද්ගත වූ භාරදූර ගැටලුවලින් එකක්‌ බවයි. අක්‌බාර් කමිටුවේ වාර්තාව එහිදී දැඩි විවේචනයට පාත්‍ර වූ අතර බුලර්ස්‌ පාරේ යෝජනාව තහවුරු කිරීම ඔවුන්ගේ උත්සාහය විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සියලුම රටවල විශ්වවිද්‍යාල තනා ඇත්තේ ඒවායේ අගනුවර බවත් විශ්වවිද්‍යාලයක්‌ නැති අගනුවරක්‌ නොමැති බවත් ෙ-ම්ස්‌ පීරිස්‌ කියා තිබේ.

මේ සඳහා ප්‍රත්‍යුත්තර වශයෙන් මහනුවර කණ්‌ඩායමේ රැස්‌වීම පවත්වන ලද්දේ ජූනි 21 වැනිදාය. ඩී. ආර්. විෙ-වර්ධන ඒ සඳහා ක්‍රියාකාරී වූ අතර මුලසුන හොබවන ලද්දේ මහමුදලි සොලමන් ඩයස්‌ බණ්‌ඩාරනායක විසිනි. ඩී. බී. ජයතිලක, එච්. ඒ. පී. සන්ද්‍රසාගර, ප්‍රැන්සිස්‌ ද සොයිසා, අයිසැක්‌ තම්බයියා සහ පූජ්‍ය ඒ. ජී. ප්‍රේසර් එහිදී දේශන පවත්වා තිබේ. මෙහිදී වාර්ගික අනන්‍යතාව සම්බන්ධ කාරණාද ඉස්‌මතු වූ බව පෙනී යන්නේ පොන්නම්බලම් රාමනාදන් සම්බන්ධයෙන් පූජ්‍ය ප්‍රේසර් කර ඇති ප්‍රකාශයක්‌ හේතුවෙනි. යාපනයේ විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීම රාමනාදන්ගේ අභිමතාර්ථයව ඇති හෙයින් එය මහනුවර පිහිටුවීමෙන් ඔහුගේ අරමුණ නිෂ්ඵල වනු ඇති බව ඔහු පවසා තිබේ. විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීම යන කාරණය ඉක්‌මවා කේන්ද්‍රය හා පරිධිය සම්බන්ධ ගැටුම අවධාරණය වී ඇති බව මෙම කඳවුරු දෙකෙහි අදහස්‌වලින් පෙනී යයි.

ස්‌වකීය අරමුණ කෙසේ හෝ ඉටු කර ගැනීමට 'කොළඹ කඳවුර' උත්සාහ කළ බව, 1948 පෙබරවාරි 12 වැනි දින 'සිලෝන් ඩේලි නිවුස්‌' පත්‍රයට වෛද්‍ය නෙල් සපයා ඇති විස්‌තරයකින් පැහැදිලි වේ. ඒ මෙසේය. දුම්බර මිටියාවතෙහි මහවැලි ගෙ`ගන් නැගෙනහිර ඉවුරේ වූ සුන්දර භූමියක්‌ පරීක්‌ෂා කිරීමට ඊ. ඒ. නුගවෙලගේ ආරාධනයෙන් විශ්වවිද්‍යාලයීය භූමිභාගය පිළිබඳ කොමිෂන් සභාවේ නිලධාරීන් එහි ගොස්‌ ඇත. ඔවුන් ඊට ඉතා කැමති වී තිබේ. පසුව ෙ-. සී. රත්වත්තේගේ ආරාධනයෙන් හියු ක්‌ලිµඩ් ආණ්‌ඩුකාරවරයාද එම භූමිය පරීක්‌ෂා කර සතුටු වී ව්‍යවස්‌ථාදායක මන්ත්‍රීවරුන්හටද එය පරීක්‌ෂා කරන ලෙස දන්වා තිබේ. එහෙත් මන්ත්‍රීවරුන්ව කැඳවාගෙන ගොස්‌ ඇත්තේ ආණ්‌ඩුකාරයාට පෙන්වූ භූමිය වෙත නොව මඩ ගොහොරුවලින් පිරුණු කැලෑ ප්‍රදේශයක්‌ වෙතටය. මේ නිසා ඔවුන් නිර්දේශ කර ඇත්තේ ඒ භූමිය නුසුදුසු බවයි. එබඳු අයෝග්‍ය ස්‌ථානයක විශ්වවිද්‍යාලය පිහිටුවීමට ගෙනා යෝජනාවද ඔවුන් හෙළාදැක ඇත. මෙයින් ආණ්‌ඩුකාරයා ඉතා කෝපයට පත් වූ බව පවසන වෛද්‍ය නෙල් ඉ`ගි කරන්නේ මන්ත්‍රීවරුන්ට වෙනත් භූමියක්‌ පෙන්වීම කොළඹ කඳවුරේ කුමන්ත්‍රණයක්‌ බවයි.

ලංකා විශ්වවිද්‍යාලය බුලර්ස්‌ පාරේ ඉඩමේ පිහිටුවිය යුතු යෑයි පොන්නම්බලම් රාමනාදන් 1927 දෙසැම්බර් මාසයේදී ව්‍යවස්‌ථාදායක මන්ත්‍රී මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කළද එය ප්‍රතික්‌ෂේප විය. අනතුරුව එම්. ටී. අක්‌බාර් මහතා යෝජනාවක්‌ කළේ, යෝජිත විශ්වවිද්‍යාලය ඒකීය හා නේවාසික විය යුතුය, එසේම එය මහනුවර පිහිටුවිය යුතුය, ඒ පිළිබඳ පරීක්‌ෂා කිරීමට කමිටුවක්‌ පත් කළ යුතුය යනුවෙනි. කොටස්‌ තුනකින් සමන්විත වූ එම යෝජනාව සඳහා ඡන්දය විමසන ලද්දේද කොටස්‌ වශයෙනි. පිළිවෙළින් ගත් කල, පක්‌ෂව 38 විපක්‌ෂව 5, පක්‌ෂව 23 වික්‌ෂව 15 සහ පක්‌ෂව 25 වික්‌ෂව 16 වශයෙන් යෝජනාවේ කොටස්‌ තුනම අනුමත විය. ඒ අනුව, විශ්වවිද්‍යාලය මහනුවර පිහිටුවීම සුදුසුද යන්න පරීක්‌ෂා කිරීම සඳහා ආණ්‌ඩුකාරවරයා විසින් 1928 දී වෝල්ටර් රිඩ්ල් කමිටුව පත් කරන ලදී. 1929 දී නිකුත් වූ එහි වාර්තාවෙන්ද දුම්බර නිම්නයේ යෝජනාව තහවුරු කර තිබුණි.

අනතුරුව ස්‌ථානීය ගැටලුව ඇදී ගියේ කොළඹද නැතිනම් මහනුවරද යන්න මත නොව මහනුවර ප්‍රදේශයේ කුමන ස්‌ථානයක්‌ වඩාත් සුදුසුද යන කාරණාව මතය. විශේෂයෙන් ඩී. ආර්. විෙ-වර්ධන, ඇස්‌. සී. පෝල් සහ ඇන්ඩි්‍රයස්‌ නෙල් යන තිදෙනා දුම්බර යෝජනාවට අකමැති වූ බව පැහැදිලිය. අරුප්පොල ඉඩම මිලට ගැනීම සඳහා කටයුතු කිරීමට 1937 මාර්තු මස තුන්වැනිදා රැස්‌ වූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් තීරණය කෙරිණි. එහෙත් එස්‌. සී. පෝල් සහ ඇන්ඩි්‍රයෙස්‌ නෙල් ඊට එරෙහි වූහ. ඔවුන් පෙන්වා දෙන ලද්දේ අනාගතයේදී විශ්වවිද්‍යාලය පුළුල් කිරීමේ අවකාශය එම ප්‍රදේශයේ නොමැති බවත් මැලේරියා උවදුර පවතින නිසා එය සිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැති බවත්ය. ඔවුන්ගේ කැමැත්ත වූයේ විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවීමයි. කෘෂිකර්ම පර්යේෂණායතනය, රසායනාගාර සහ උද්භිද උද්‍යානය පේරාදෙණියේ පවතින හෙයින් විශ්වවිද්‍යාලයද ඒ ආසන්නයේ තැනීමෙන් විද්‍යා හා කෘෂි විද්‍යා සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පහසුවක්‌ වන බවද පෙන්වා දෙනු ලැබිණි. කොළඹ කඳවුරේ රොබට්‌ මාර්ස්‌ගෙන්ද පේරාදෙණි යෝජනාවට සහාය ලැබී තිබේ.

අවසානයේ 1938දී ඔවුන්ගේ යෝජනාව රජයෙන් සහ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයෙන් සම්මත වී විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවීමට තීරණය කෙරුණි. ඊට තෝරා ගන්නා ලද්දේ තේ හා රබර් වවන ලද අක්‌කර 363ක්‌ පමණ විශාල වූ වත්තකි. ඒ සඳහා ඩී. එස්‌. සේනානායක සහ ජෝන් කොතලාවල යන අමාත්‍යවරුන්ගේ සහායද ලැබුණු බව වෛද්‍ය නෙල් සඳහන් කර ඇත. ඔවුන් දෙදෙනාගේ සහාය ලබා ගැනීමට ක්‍රියා කර ඇත්තේ ඩී. ආර්. විෙ-වර්ධනය. පේරාදෙණියේ සිතියම් හා විස්‌තර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිලධාරීන් වෙත සපයමින් අදාළ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදි කිරීම සම්බන්ධ කාර්මික පර්යේෂණ සඳහා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වෙමින් තමන් සහ ඇස්‌. සී. පෝල් වෙහෙසුණු ආකාරය ගැනද ඔහු සඳහන් කර තිබේ. ස්‌ථානය පිළිබඳ මතභේදය අවසන් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු ජෝන් කොතලාවල ඇමතිවරයාට ස්‌තුතිය ප්‍රකාශ කර ඇත.

ලංකා විශ්වවිද්‍යාලය

1942 ජුලි පළමුවැනිදා විශ්වවිද්‍යාල කොලීජිය සහ වෛද්‍ය විද්‍යාලය ඒකාබද්ධ කරමින් ලංකාවේම උපාධි පිරිනැමිය හැකි වන පරිදි ලංකා විශ්වවිද්‍යාලය පිහිටවන ලද්දේ නුදුරු අනාගතයේදී එය පේරාදෙණිය වෙත ගෙන යැමේ අපේක්‌ෂාවෙනි. පේරාදෙණියේ ඉදිකිරීම් නිමවන තුරු අධ්‍යාපන කටයුතු කොළඹදී සිදු විය. ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූයේ ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස්‌ය. ශාස්‌ත්‍ර, ප්‍රාචීන අධ්‍යයන, විද්‍යා සහ වෛද්‍ය යන පීඨ සතරෙන් ඇරඹුණු එය අධ්‍යයනාංශ 41 කින් සමන්විත වූ අතර, සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව 904 ක්‌ විය. ආචාර්ය මණ්‌ඩලය වශයෙන් මහාචාර්යවරුන් 15 දෙනෙකුද කථිකාචාර්යවරුන් 20 දෙනෙකුද සහකාර කථිකාචාර්යවරුන් 8 දෙනෙකුද සම්බන්ධ වී තිබේ. පුස්‌තකාලයෙහි වූයේ 30000 කට ආසන්න පොත් එකතුවක්‌ පමණි.

පේරාදෙණියේ භූමිභාගය සැලසුම් කිරීම සඳහා ආරාධනා කරන ලද්දේ ශ්‍රීමත් පැටි්‍රක්‌ ඇබර්ක්‍රොම්බ් සහ ක්‌ලිµර්ඩ් හොලිඩේ යන ගෘහ නිර්මාණ ශිල්පීන්හටය. ඔවුන් ඉදිරිපත් කළ මූලික සැලැස්‌ම ක්‍රියාත්මක කරන ලද්දේ ගෘහ නිර්මාණ ශිල්පී ෂර්ලිs ද අල්විස්‌ විසිනි. ගොඩනැඟිලි සැලසුම් කිරීමේදී මෙරට පැරණි වාස්‌තු විද්‍යා ශිල්පයේ ආභාසය ලබා ගන්නා ලදී. දැවැන්ත ගල් කුලුනු මත සනාථන මන්දිරය ඉදි කරන ලද්දේ අනුරාධපුරයේ ලෝවාමහාපාය ආදර්ශයට ගනිමිනි. විද්‍යා පීඨයේ සිට ශාස්‌ත්‍ර පීඨය කරා පැමිණීමේදී හමු වන මංසන්ධියේ තනා ඇති 'අල්විස්‌ පොන්ඩ්' නමින් ප්‍රකට පොකුණ, ෂර්ලි ද අල්විස්‌ගේ නමින් හඳුන්වා ඇත්තේ ඔහු ඉටු කළ විශිෂ්ට සේවය සිහි කිරීම සඳහාය. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීම පේරාදෙණියේ ඉදිකිරීම් පමා වීමට හේතු වූ අතර, 1941-1946 දක්‌වා එම භූමිය හමුදා කඳවුරක්‌ව පැවතිණ. මෙම භූමියේ ඉදිකිරීම් ව්‍යාප්ත වීමේදී පැරණි ගලහ මාර්ගය බාධාවක්‌ වූ බැවින් දැනට පවතින නව ගලහ මාර්ගය 1946 දී විවෘත කරන ලදී. 1947 දී හටගත් මහා ජල ගැල්මද එහි සැලසුම් අවුල් වීමට හේතු වූ බව පෙනී යයි.

ලංකා විශ්වවිද්‍යාලය, පේරාදෙණිය

ශ්‍රීමත් ජෙනින්ග්ස්‌ගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් පනස්‌ දෙදෙනකුගෙන් සමන්විත වූ ප්‍රථම ශිෂ්‍ය කණ්‌ඩායම 1947 දී පේරාදෙණි පරිශ්‍රය වෙත විතැන් කිරීමට හැකි විණි. නීති හා කෘෂි විද්‍යා සිසුන්ද පශු වෛද්‍ය පීඨයේ තෙවන හා දෙවන වසරවල සිසුන්ද ඊට ඇතුළත්ය. ප්‍රධාන ආගමනය සිදු වූයේ 1952 දීය. ශාස්‌ත්‍ර සහ ප්‍රාචීන අධ්‍යයන පීඨවල සිසුන් මෙන්ම ආචාර්ය මණ්‌ඩලයද ඊට අයත් වේ. ප්‍රධාන පුස්‌තකාලයද ඒ සමඟ පේරාදෙණියට ගෙන එන ලදී.

1952 වන විට ශිෂ්‍යයන් 632 ක්‌ද ශිෂ්‍යාවන් 301 ක්‌ද සඳහා නේවාසික පහසුකම් සම්පාදනය වී තිබුණි. ශිෂ්‍ය නේවාසිකාගාර නාමකරණයේදී අවධානය යොමුව ඇත්තේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නඟාසිටුවීමෙහිලා කැපවීමෙන් ක්‍රියා කළ පුද්ගලයන් වෙතය. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, මහාචාර්ය රොබට්‌ මාර්ස්‌, ශ්‍රීමත් ෙ-ම්ස්‌ පීරිස්‌, ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු යනාදීහු ඒ අතර වෙති. ඩී. ආර්. විෙ-වර්ධන නමින් නේවාසිකාගාරයක්‌ නම් කරන ලද්දේ පසුකාලීනවය. ආරම්භයේදී එක්‌ කාමරයකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කරන්නේ වුවද 1953 වසරේ සිට සෑම සිසුවෙකුටම තනි කාමරයක්‌ ලබා දෙන බව 'ද වීක්‌ලි ඔµa ඉන්ඩියා' පුවත්පතට උපකුලපතිවරයා ප්‍රකාශ කර තිබුණේය.

1952 සැප්තැම්බර් මස 'සිලෝන් ටුඩේ' පුවත්පත වෙත කර ඇති ප්‍රකාශයකින් විශ්වවිද්‍යාල ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ ශ්‍රීමත් ජෙනින්ග්ස්‌ වෙත වූ පුළුල් අපේක්‌ෂා පැහැදිලි වෙයි. භාණ්‌ඩ අලෙවි ස්‌ථානයක්‌, ලොන්ඩි්‍රයක්‌, කාර්ය මණ්‌ඩලයේ දරුවන් සඳහා පාසලක්‌, බැංකු පහසුකම්, පිරවුම්හලක්‌, දුරකථන හුවමාරු මධ්‍යස්‌ථානයක්‌, කුඩා පොලිසියක්‌, ගිනි නිවන මධ්‍යස්‌ථානයක්‌ යනාදී පහසුකම් ඊට අවශ්‍ය බව ඔහු දක්‌වා තිබේ. ඒ වන විටද කුඩා වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පැවතුණද නුදුරු කාලයේදීම ඇඳන් දහසක පමණ ශික්‌ෂණ රෝහලක්‌ අවශ්‍ය බවද ඔහු සඳහන් කර ඇත. ඔහු ගොඩ නඟන්නට උත්සාහ කළේ විශ්වවිද්‍යාල ගම්මානයකි.

1952 ඔක්‌තෝබර් 06 වැනි දින පේරාදෙණි විශ්වවිද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණේ එලිසබත් කුමරිය සහ එඩින්බරෝ ආදිපාදවරයා අතිනි. එහෙත් සයවැනි ජෝර්- රජුගේ අභාවය හේතුවෙන් එම උළෙල කල් දැමීමට සිදු විය. සිය සැලසුම් වෙනස්‌ කිරීමට කැමති නොවූ උපකුලපතිවරයා නියමිත පරිදි 1952 ඔක්‌තෝබර් 07 වැනි දින පෙරවරු 8.00ට අධ්‍යයන කටයුතු ආරම්භ කළේය. එදින සිසුන් 827 දෙනෙකු සිටි අතර වෛද්‍ය සේවයද එදිනම ඇරඹිණ. ප්‍රධාන පුස්‌තකාලය එදින උදෑසන නවයට විවෘත කළ අතර එය පිහිටුවා තිබුණේ ශාස්‌ත්‍ර පීඨයේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ බිම් මහලේය. 1952 වසරේ නොවැම්බර් විසි එක්‌ වැනිදා පළමුවැනි උපාධි ප්‍රදානෝත්සවයද පවත්වන ලදී. ඒ සඳහා තාවකාලික ශාලාවක්‌ ඉදි කර තිබුණි. කල් දමන ලද නිල විවෘත කිරීම දෙවැනි එලිසබෙත් රැජන සහ එඩින්බරෝ ආදිපාදවරයා විසින් සිදු කරන ලද්දේ 1954 අප්‍රේල් 20 වැනිදාය.

1954දී දන්ත වෛද්‍ය පීඨයද 1961දී විද්‍යා පීඨයද 1962දී වෛද්‍ය පීඨයද 1964දී ඉංජිනේරු පීඨයද පේරාදෙණිය වෙත සම්බන්ධ කෙරුණි. ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණිය වෙත රැගෙන ඒම සඳහාත් එහි ප්‍රමිතිය සඳහාත් කැපවීමෙන් ක්‍රියා කළ ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස්‌ උපකුලපති ධුරයෙන් ඉවත් වූයේ 1955දීය. අනතුරුව ශ්‍රීමත් නිකලස්‌ ආටිගල දෙවැනි උපකුලපතිවරයා වශයෙන් පත් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ සන්ධිස්‌ථාන සතරකි. ඒ මෙසේය.

1942 සිට 1952 දක්‌වා ලංකා විශ්වවිද්‍යාලය

1952 සිට 1972 දක්‌වා ලංකා විශ්වවිද්‍යාලය, පේරාදෙණිය

1972 සිට 1978 දක්‌වා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්‌ඩපය

1978 න් පසු පේරාදෙණි විශ්වවිද්‍යාලය

1942 සිට පේරාදෙණිය වෙත රැගෙන ඒම දක්‌වා වූ කාල සීමාවේදී ලංකා විශ්වවිද්‍යාලය වශයෙන්ද අනතුරුව ලංකා විශ්වවිද්‍යාලය, පේරාදෙණිය ලෙසද එම ආයතනය හඳුන්වා තිබේ. 1972දී පත් වූ රජයේ නව සැලසුම් මගින් එවකට පැවති විශ්වවිද්‍යාල සතර ඒකාබද්ධ විශ්වවිද්‍යාලයක මණ්‌ඩප බවට පත් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්‌ඩපය වශයෙන් එය හඳුන්වනු ලැබිණ. මෙම පරිවර්තනයේදී අධ්‍යයනාංශ කිහිපයක්‌ ඊට අහිමි වූ අතර සමහර ආචාර්යවරුන්ටද වෙනත් මණ්‌ඩප කරා යැමට සිදු විය. 1977 රජය විසින් 1942 ලංකා විශ්වවිද්‍යාල ව්‍යවස්‌ථාවෙහි වූ ඇතැම් කේන්ද්‍රීය අංග නැවත ලබා දීමට ක්‍රියා කරන ලද හෙයින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පිහිටුවා ඒ යටතේ විශ්වවිද්‍යාල වෙත යම් ප්‍රමාණයක ස්‌වාධීනත්වයක්‌ නැවත ලබා දීමට පියවර ගන්නා ලදී. මූල්‍ය කටයුතු, සිසුන් බඳවා ගැනීම, ආචාර්යවරුන් බඳවාගැනීම සහ ඔවුන්ගේ උසස්‌වීම් සම්බන්ධ කටයුතු නව කොමිෂන් සභාව වෙත පැවරුණි. මෙහිදී සිදු වූ වැදගත්ම දෙය නම් 1978 සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය නමින් පළමුවන වරට මෙම ආයතනය හඳුන්වනු ලැබීමයි.

ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වීම මෙන්ම එය පේරාදෙණියේ පිහිටුවීමද තත්කාලීන සමාජ හා දේශපාලනික වාතාවරණය සමඟ සම්බන්ධ වූ ක්‍රියාවලියක්‌ බව මෙම කරුණු පැහැදිලි වේ. තවත් ආකාරයකින් කිවහොත් එය මෙරට ජාතික පුනර්ජීවන ව්‍යාපාරයේ එක්‌ ප්‍රතිඵලයකි. ජාතියක්‌ බිහි වන්නේ සමූQහයක්‌ වශයෙන් සිතීමට හා ක්‍රියා කිරීමට ජනතාව පොලඹවන සංකල්ප නිර්මාණය කිරීම ම`ගින් බව 'ඉන්වෙන්ෂන් ඔµa ට්‍රැඩිෂන්' නම් සංකල්පය ඉදිරිපත් කළ එරික්‌ හොබ්ස්‌බෝම්ගේ අදහසයි. 'සම්ප්‍රදාය නිර්මාණය කිරීම' වශයෙන් එය සිංහලයට නැගිය හැකිය. ඉන් අදහස්‌ කෙරෙන්නේ ජාතියක්‌ වශයෙන් සමූහගත වීම සඳහා ජාතික භාෂාව, ජාතික සංකේත, ජාතික ගීය, ජාතික උත්සව, ජාතික ධජ යනාදී පෙලඹවීම් මිනිසුන්ට අවශ්‍ය බවයි. වර්තමානයේදී විවිධ ජාතීන්ට හිමිව ඇති එබඳු දෑ, ජාතියක්‌ වශයෙන් සාමූහිකව පෙනී සිටීම සඳහා ඔවුන් වුවමනාවෙන් හා අලුතින් සකසාගත් නිර්මිත නොහොත් සම්ප්‍රදායන් යෑයි හොබ්ස්‌බෝම් පෙන්වා දෙන්නේ විවිධ රටවලින් නිදසුන් සපයමිනි. වසර විසි තිස්‌ ගණනක්‌ මුළුල්ලේ වෙහෙස වී ජාතික විශ්වවිද්‍යාලයක්‌ මෙරට පිහිටුවීමද ලාංකික ජාතියක්‌ ගොඩනැඟීමේ අරමුණ ඇතිව නිර්මාණය කළ නව සම්ප්‍රදායක්‌ ලෙස හඳුන්වා දීමට පුළුවන.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.