ලංකාව තුළ දේව සංකල්පයේ ව්‍යාප්තිය

රත්නපුරේ සාසනධජ හිමි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

දේව විශ්වාසය පිළිබඳ ලාංකේය සමාජ සන්දර්භය තුළ පැවති කතිකාවේ ඉතිහාසය ප්‍රාග් බෞද්ධ යුගය තෙක්‌ දිවෙන්නක්‌ බව ඓතිහාසික සාධක මඟින් පැහැදිලි වේ. පණ්‌ඩුකාභය රජු විසින් ව්‍යාධ දෙවියන්ට නගරයේ බටහිර දොරටුව අසල තල් ගසක වෙසෙන්නට ඉඩ සැලැස්‌වූ බවත් පච්හමරාජිනී නම් දෙවඟන උදෙසා බටහිර දොරටුව අසල දේවාලයක්‌ ඉදිකර දුන් බවට ද මහාවංශයේ වන සඳහන ඊට මනා නිදසුනකි. එමෙන්ම සෙනරත් පරණවිතානයන්ට අනුව සමන් දෙවි බවට පත් වූයේ ප්‍රාග් බෞද්ධ දෙවි කෙනකු වූ යම නම් දෙවියන් වන අතර උත්ඵලවර්ණ (උදකපාල වරුණ යන නමේ විපර්යාසයකි) යනුවෙන් පුද පූජා සිදු කරන ලද්දේ එසමයෙහිම අදහනු ලැබූ වරුණ දෙවියන් බෞද්ධ භාවයට පත් කොට ගැනීමෙනි. (ධර්මදාස, 1994( 14)

ප්‍රාග් බෞද්ධ අවධියේ ලංකාව තුළ දේව වන්දනය ප්‍රචලිත වීම කෙරෙහි ලාංකීකයාට ප්‍රාථමික මනුෂ්‍යයන් වශයෙන් ස්‌වභාවධර්මය විෂයෙහි පැවති කුතූහලය මුසු නිරන්තර භීතිය මෙන්ම භාරතය පුරා ව්‍යාප්තව පැවති දේව වන්දනයේ බලපෑම ද හේතු වන්නට ඇත. භාරතීය දේව වන්දනය පිළිබඳ ආදිතම සාධක හමුවනුයේ ක්‍රි. පූ. 1500 දී පමණ රචනා වුණු Rග්වේද පාඨ ඇතුළු වෛදික ආගමෙහිය. ස්‌වභාවධර්මයේ සංසිද්ධීන් හා බලවේගයන් දේවත්වයට පත් කිරීම හේතුවෙන් නිර්මිත භාරතීය දේව වන්දනය ඉන්ද්‍ර, වරුණ, අග්නි, විෂ්ණු ආදී පුරාණතම වෛදික දෙවිවරුන්ගේ අධිකාරිය තුළ වර්ධනය වූවක්‌ විය. ප්‍රාග් ආර්ය සංකල්පයන්ගේ ද සමාශ්‍රයෙන් නිර්මිත වෛදික දහම තුළ පැවති දේව වන්දනයේ විශේෂත්වය වනුයේ බිලි පූජාදියෙහි විරලභාවය හා එම දෙවිවරුන් 'යහපත් භාවය' මත දේවත්වයට පත් වූවන් නොව බල පරාක්‍රමාදිය කරණ කොට දේවත්වයට පත්වූවන් වීමය. එහෙත් ඇතැම් විට 'වරුණ' වැනි දෙවි කෙනෙක්‌ යහපත්බව කරණ කොට නිර්ණය වනු ද පෙනේ. බුදු සමයේ පහළ වීම මෙම සන්දර්භයෙහි ලා සුවිශේෂී වනුයේ එමඟින් භාරතය තුළ දේවත්වය පිළිබඳ පැවති උක්‌ත මානය නවතාවකට පත් කිරීම නිසාවෙනි. දිව්‍ය ලෝක යනු නිර්සර්තනික වාසස්‌ථාන ලෙස හැඳින්වීම, දෙවියන් අමරණීය නොවන බව ඇඟවීම, දිව්‍ය සම්පත්තිය නිෂ්ටාවක්‌ නොවන බව දැක්‌වීම යන නව සංකල්ප දේවත්වය පිළිබඳ නව සංකථන ලෙස බුදු දහමින් මතු කරන ලද අතර යහපත් බව නමැති නිර්ණායකය මත දේවත්වයට පූර්විකා සැපයීම ද සිදු කරන ලදී.

බුදු සමයේ සමාශ්‍රයත් සමඟ ලංකාව තුළ ව්‍යාප්තව පැවති දේව වන්දනය ද කිසියම් වෙනසකට පත් වූ බව පෙනේ. එය සම්පූර්ණයෙන්ම අභාවයට ගිය ඇදහීම් විශේෂයක්‌ නොවූයේ බුදු දහමේ මූලික ඉගැන්වීම් පසෙක ලා ජනප්‍රිය බුදු දහම විසින් එA උදෙසා සැපයුණු සහයෝගී උත්තේජය කරණ කොට වේ. විටෙක මහින්ද හිමියන් ප්‍රමුඛ සංස්‌කෘතික නිර්මාපකයන්ට දේව වන්දනයෙහි යෙදුණවුන් බුදු දහම වෙත රඳවා ගැනීම උදෙසා එම උත්තේජය සපයන්නට සිදු වන්නට ඇත. මහාවංශයට අනුව බුදු රඳුන්ගේ පළමු ලංකාගමනයේදී සුමන කූටයේ නිවැසි මහා සුමන නම් දිව්‍යරාජයා බණ අසා සෝවාන් බවට පත් වීම ඊට මනා නිදර්ශනයකි. එමඟින් මෙරට පැවති දේව වන්දනය බෞද්ධාගමික මුහුණුවරක්‌ වෙත සමාරෝපණය කර ගන්නා ලද ආකාරය මෙන්ම දේව වන්දනයේ චිර පැවැත්ම උදෙසා අවකාශය සොයා ගන්නා ලද ආකාරය ද පැහැදිලි වේ.

කෙසේ වතුදු අනුරාධපුර රාජධානිය ඇති වී වසර 1000 ක්‌ පමණ වන තුරු ද ලංකා සමාජය තුළ වඩාත් අවධානයට ලක්‌ වූයේ දෙවිවරුන් තුන් දෙනකු පමණක්‌ බව විචාරක අදහසයි. එA, උපුල්වන්, සමන් හා කඳකුමර යන දෙවිවරුන්ය. සමන් දෙවියන්ගේ ප්‍රවෘත්තිය බුදු රදුන්ගේ ලංකාගමනය හා සම්බන්ධ වන අතර උපුල්වන් දෙවියන් පිළිබඳ කතිකාව ඇරඹෙනුයේ බුදු රදුන්ගේ නියමයෙන් ශක්‍රයා විසින් මෙහෙයවන ලදුව විජය ප්‍රමුඛ පිරිසට ආරක්‌ෂාව සැපයීමේ පුවතත් සමඟිනි. කතරගම ප්‍රදේශය පිළිsබඳව අෂ්ටඵලරූහ බෝධි ශාඛාවේ ප්‍රතිෂ්ඨාපනයෙහි සඳහන් වුව ද කතරගම දෙවියන් පිළිබඳව සඳහන් ආදිතම සටහනක්‌ වනුයේ එළාර රජුට එරෙහි යුදයට නික්‌මුණු දුටුගැමුණු කුමරුන් විසින් කතරගම දෙවියන්ට වූ භාරයක්‌ ඔප්පු කිරීමක්‌ වශයෙන් කතරගම දේවාලය ඉදිකළ බවට 'කන්ද උපත හෙවත් කතරගම පුවත' නම් ජන කාව්‍යයේ එන සටහනයි. (ධර්මදාස, 1994( 15-16) එA අනුව පච්චිම රාජිනී, ව්‍යාධ දේව, කම්මාරදේව (දෙවන පෑ තිස්‌ රජතුමා මහ මෙවුනා උයනේ සීමා නියම කිරීමේදී කම්මකාර දෙවියාගේ දෙවොලට වමින් ගිය බව මහාවංශයේ සඳහන් වේ) වැනි පූර්ව දේව වන්දනයන් සීමිත පිරිසකට පමණක්‌ සීමා වූ වන්දනා විශේෂයන් ලෙස පවතින්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ වතුදු ලක්‌දිව අට්‌ඨකථා පිළිබඳ විමර්ශනය කරමින් ඊ. ඩබ්. අදිකාරම් දක්‌වනුයේ ලක්‌වැසි බෞද්ධයන්ට දෙවියන් හුදෙක්‌ බුදුන්ට පක්‌ෂ වූ හෝ විපක්‌ෂ වූ සත්ව කොට්‌ඨාසයක්‌ පමණක්‌ වූ අතර දෙවියන් සතුටු කිරීම උදෙසා වන දේව පූජාදිය පිළිබඳව ද කිසිවක්‌ අට්‌ඨකථාවන්හි සඳහන් නොවන බවයි. එමෙන්ම මහසෙන් රජු දේවාල තුනක්‌ කඩා දැමූ බවට මහාවංශයේ එන සඳහන හා සිවුරු මැසීම සඳහා භික්‌ෂුවකට නූල් වුවමනා වූ විට මාර්ගයෙහි වැටී තිබෙන හෝ දේවස්‌ථානවල දමා තිබෙන නූල් හෝ ගත හැකි යෑයි සුමංගල විලාසිනයේ එන සඳහන ආදියේ දේවාල පිළිබඳ සඳහන් වුව ද එAවා අබෞද්ධයන්ගේ පූජා විධි අඟවන්නක්‌ මිස ලංකාවේ දේව සංකල්පයේ ව්‍යාප්තියක්‌ පිළිබඳ නිශ්චිත සාධක නොවන බවයි. (අදිකාරම්, 323 - 324) ඒ අනුව පැහැදිලි වනුයේ උපුල්වන් ආදී දෙවිවරුන් කිසියම් සමාජ අවධානයක්‌ දිනා සිටි නමුදු අනුරාධපුර යුගයේ මධ්‍ය අවධිය වන තෙක්‌ සමස්‌තයක්‌ ලෙස දේව වන්දනය එතරම් දුරට ජන විශ්වාස පද්ධතිය ආක්‍රමණය කර නොතිබූ බවයි.

ඊ. ඩබ්. අදිකාරම්ගේ අදහසට අනුව දේව ඇදහීම ලංකාව තුළ ප්‍රචලිත වූයේ දෙවැනි සියවසේ ගජබා රජු දවස දකුණු ඉන්දියාවෙන් සොළී සිරකරුවන් දොළොස්‌ දහසක්‌ ගෙන එAම කරණ කොට වේ. එහිදී ඔවුන් ඇදහූ ශිව, විෂ්ණු, කාර්තිකේය, පත්තිනි ආදී ඇදහීම් ද ලංකා සමාජය වෙත ආරෝපණය වූ බව ඔහුගේ අදහසයි. එහෙත් කේ. එන්. ඕ. ධර්මදාස ආදීන්ගේ මතය වනුයේ ක්‍රිස්‌තු වර්ෂ 433 - 39 කාලයේ අනුරාධපුරයේ රාජ්‍යත්වය පණ්‌ඩු, පාරින්ද ආදී දකුණු ඉන්දියානුවන් පිරිසක්‌ විසින් පැහැර ගත් සමයේ දේව සංකල්පය තදින් ව්‍යාප්ත වූ බවයි. (ධර්මදාස, 1994(17) ක්‍රිස්‌තු වර්ෂ 5 වැනි සියවසේ පටන් දකුණු ඉන්දියාවෙන් සොළී හේවායන් කුලී සේවයට ගැනීම, දකුණු ඉන්දියානු භික්‌ෂූන්ගේ ආගමනය (බුද්ධඝෝස හිමියන් ද දකුණු ඉන්දියානුවෙකි), අනුරාධපුර අපර සමයේ සිට මහයාන අදහස්‌ ව්‍යාප්තියත් සමඟ ඇති වූ බෝධිසත්ව වන්දනය වැනි කරුණු සිංහලයාට දේව ඇදහීම පිළිබඳ පූර්වාදර්ශ සපයන්නට ඇත. කෙසේ වතුදු දේව සංකල්පයේ සමාජ ව්‍යාප්තිය උදෙසා ප්‍රබල ලෙස බලපෑ සිදුවීමක්‌ අනුරාධපුර අවධියේ අවසාන භාගයේ සිදු විය. එA, දකුණු ඉන්දියානු ආක්‍රමණයයි. ක්‍රිස්‌තු වර්ෂ 1017 - 1070 දක්‌වා ලංකාවේ උතුරු කලාපය සොළීන් විසින් පාලනය කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ ඇදහීම වූ දේව ඇදහීමේ ලාංකේය ව්‍යාප්තිය උදෙසා මනා අවකාශයක්‌ සපයන්නට ඇත. දේශපාලනික වශයෙන් දේවවාදය වෙත ලැබුණු අනුග්‍රහය එම තත්ත්වයේ ශීඝ්‍ර වර්ධනය කෙරෙහි බලපාන්නට ඇත. පොලොන්නරු හා දඹදෙණි යුගයන්හි රචනා වන අමාවතුර, බුත්සරණ වැනි කෘතිවලින් දේවත්වය අබිබවූ සර්ව බලධාරීත්වයකින් හෙබියකු ලෙස බුදු රදුන් නිරූපණය කරන්නට දරන ප්‍රයත්නයම ආගමික වශයෙන් පොදු ජන විඤ්Æණය වෙත දේව සංකල්පය විසින් සිදු කර තිබූ බලපෑමේ වපසරිය අඟවන්නකි. පටිමාඝර ආදී ගෘහ නිර්මාණ ශිල්පයේ වුව හාත්පස පැතිරී පැවති හින්දු දේවාල ආකෘතිය ඊට තවත් නිදර්ශනයකි.

මේ අනුව දේව වන්දනය හා දෙවියන්ගෙන් පිහිට යෑදීම පිළිබඳ චින්තනය ක්‍රිස්‌තු වර්ෂ 12, 13 සියවස්‌ වන විට සිංහල බෞද්ධයා වෙත ආරෝපිතව පැවති බව පෙනේ. එය ක්‍රිස්‌තු වර්ෂ 14 වැනි සියවස පමණ වන විට බෞද්ධාගමට පටහැණි පූජා චාරිත්‍රයක්‌ නොවන තරමට බුදු රදුන් හා දෙවියන් සම ආස්‌ථානයක ලා සලකන තරමට සමාජගතව පැවති බව ගඩලාදෙණිය හා ලංකාතිලක යන බෞද්ධ විහාරයන්හි බුද්ධ මන්දිරය තුළ දේවාලවල නිර්මාණය සිදුවීමෙන් පෙනේ. ගම්පොළ අවධිය වන විට දේව වන්දනය ජන විඤ්Æණය තුළ කෙමෙන් තම ආධිපත්‍යය තහවුරු කරමින් සිටි බව පෙනෙන අතර තදනන්තර අවධිය වූ කෝට්‌ටේ සමය මෙම ප්‍රවණතාවෙහි උච්චතම අවධිය බව තහවුරු කරන එක්‌ සාධකයක්‌ වනුයේ මෙසමයේ රචිත පඤ්ච සන්දේශයන්ගෙන් හතරකම ග්‍රාහකයා දෙවි කෙනකු වීමයි. පරෙවි හා කෝකිල සන්දේශ උපුල්වන් දෙවියන් වෙතත් ගිරා සන්දේශය නාථ දෙවියන් වෙතත් සැළලිහිණිය විභීෂණ දෙවියන් වෙතත් වශයෙන් වන එම ඔප්පු කිරීම් දේවත්වය පිළිබඳ සංකල්ප සාහිත්‍ය විෂයෙහි පමණක්‌ නොව දේශපාලනය හා එදිනෙදී ජන විඤ්Æණය කෙරෙහි ද සිදු කර ඇති බලපෑම වටහා දෙන්නකි. සීතාවක අවධිය ලාංකේය දේව සංකල්පයේ ව්‍යාප්තිය පිළිබඳ සුවිශේෂී කාලයක්‌ වනුයේ සීතාවක රජකම් කළ සීතාවක රාජසිංහ රජු සිව සමය වැළඳ ගැනීම කරණ කොට ශිව දේව වන්දනය රාජ්‍ය අනුග්‍රහය මත වර්ධනය වීම නිසාවෙනි. අනෙක්‌ පාර්ශ්වයෙන් බුදු සසුනට ඔහු විසින් සිදු කරන ලද හිංසාවන් කරණ කොට භික්‌ෂූන්ගේ සිවුරු හැර යැම වැනි සසුනේ පරිහානිය ඉක්‌මන් කරන දේ සිදුවීම එම දේව සංකල්පයන්ගේ වේගවත් ව්‍යාප්තියට තවත් හේතුවක්‌ වනු ලැබීය. ශ්‍රී පාදය පවා ශිව ආගමිකයන් අතට පත් වූ මෙසමයෙහි විහාර විනාශ වී කෝවිල් නැඟී එන ලදී. (සන්නස්‌ගල, 2009( 339) කෝට්‌ටේ අවදියෙහි සිදු වූ පෘතුගීසි ආගමනයත් සමඟ ක්‍රිස්‌තියානි ධර්මයේ ව්‍යාප්තවීම ලාංකේය දේව වන්දනයට නව ප්‍රස්‌තුතයක්‌ එකතු කරන ලද්දක්‌ විය. කෝට්‌ටේ විහාර කැඩී පල්ලි බිහි වූ අතර කිතුනු දේවත්වය පිළිගත් නව දේවවාචී පරපුරක බිහිවීම වේගයෙන් සිදු විය. කෝට්‌ටේ ධර්මපාල රජු විසින් පහතරට ප්‍රදේශය පෘතුගීසීන්ට අත් කරදීම ඊට මනා සහයෝගයක්‌ ලබාදීමක්‌ විය. සීතාවක අවධියෙහි විසූ ප්‍රමුඛතම ලේඛකයා වන අලගියවන්න මුඛවෙටි පවා පසුකාලීනව කිතුනු සමය වැළඳ ගත් අතර ඔහු විසින් රචිත කොන්ස්‌තන්තීනු හටන දෙවියන් වහන්සේට, ක්‍රිස්‌තු ස්‌වාමීන්ට හා එතුමාගේ කන්‍ය මරි මාතාවට නමස්‌කාර කොට ඇරඹීම සිංහල සාහිත්‍යයේ ඓතිහාසික විකාශනීය මාර්ගය උඩු යටිකුරු කරන්නක්‌ විය. මේ අන්දමට කෝට්‌ටේ හා සීතාවක අවධි වන විට ලාංකේය දේව වන්දනය අති විස්‌තෘතව හා නව ප්‍රවේශයන්ගෙන් යුතුව සිංහල ජන විඤ්Æණය තුළ මුල් බැස ගත්තක්‌ විය.

මහනුවර සමය වන විට ලංකාව තුළ දේව වන්දනය තහවුරුව සංස්‌ථාපිත වු ඇදහිලි ක්‍රමයක ස්‌වභාවයට පත්ව අවසන් වී පැවතිණ. උපුල්වන්, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන් වඩාත් ජනප්‍රියත්වයට පත් දෙවිවරුන් වූ අතර උපුල්වන් දෙවියන්ට පෙර පටන් හිමිව තිබූ දැඩි සමාජ අවධානය විෂ්ණු දෙවියන්ට කෙමෙන් ආරෝපණය වෙමින් පැවතිණ. උපුල්වන් දෙවියන් යනු විෂ්ණු දෙවියන්ම යනුවෙන් මතවාදයක්‌ මෙකල ජනප්‍රිය වන්නට ඇත්තේ උපුල්වන් වෙතින් ගිලිහී යමින් තිබූ සමාජ ආකර්ෂණය යළි ඔහු වෙත පවරනු රිසියෙන් යෑයි සිතිය හැකිය. (වාචිස්‌සර හිමි, 2003( 81) බුදුන් සමයෙහි සතර වරම් දෙවියන් ලෙස සැලකූ ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්‌ෂ, වෛශ්‍රවණ යන දෙවිවරුන් වෙනුවට උපුල්වන් (විෂ්ණු), සමන්, බොක්‌සැල්, විභීෂණ යනුවෙන් නව දෙවිවරුන් සතරක්‌ සම්භාවනාවට පත්වීම ද මෙසමයේ විශේෂත්වයකි. (වාචිස්‌සර හිමි, 2003( 82) මීට අමතරව දැඩිමුණ්‌ඩ, සත් පත්තිනි, කළු කුමාර, පිටියේ දෙවි, අයියනායක, වීරමුණ්‌ඩ වැනි ඉන්දීය සම්භවයක්‌ ඇතැයි සැලකෙන බල සම්පන්න දෙවිවරුන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් සම්භාවනාවට පත් වූ මංගර දෙවි, හන්තානේ දෙවි, දෙළහ දෙවි, බෝගම්බර දෙවි වැනි දේශීය යෑයි සැලකෙන දෙවිවරුන් ද මෙකල පුද පූජාවට ලක්‌වූ බව පෙනේ.

මහනුවර සමයේදී පිරිසක්‌ හින්දු හා කිතුනු දේව සංකල්ප Rජුව ඇදහූ අතර අති බහුතරයක්‌ වු සිංහල ජනයා බෞද්ධ මුහුණුවරින් ඊට ප්‍රවේශ වී සිටියහ. භික්‌ෂුන් පවා දේව වන්දනයට යොමු වූ අතර ඇතැම් විට දේවියන්ගේ සම්බන්ධීකරණය ද ඔවුන් අතින් සිදුවිය. ඊට මනා පිටිවහලක්‌ සැපයූවකි, නායක්‌කර් වංශිකයන්ගේ රාජ්‍ය බලාධිකාරිය. වැලිවිට සරණංකර හිමියන්ගේ අනුදැනුම පළමු නායක්‌කර් වංශිකයාගේ රාජ්‍යත්වය වෙත හිමිවීම තත්කාලීනව හින්දු දේවවාදීත්වය වෙත භික්‌ෂූන් තුළ වරප්‍රසාදවත් බව අඟවනු ලබයි. ගඩලාදෙණි හා ලංකාතිලක වැනි විහාරයන්හි බුද්ධ මන්දිරය දෙවියන් වෙත ද විවෘත වූවක්‌ ලෙස නිර්මාණයවීම මෙන්ම පිරිත් දේශනාවන්ගේ ස්‌වරූපය හින්දු ශාන්ති කර්මයක ස්‌වාභාව ගැනීම හා මුලදී හින්දු දෙවිවරුන් වෙනුවෙන් සිදු කළ පෙරහැර මංගල්‍යය දළදා පූජාවක්‌ වශයෙන් ඇසළ පෙරහැර බවට පත්වීම වැනි කාරණා දේව සංකල්පයේ බෞද්ධ සංස්‌කෘතික සංස්‌පර්ශය මනාව හඟවනු ලබයි.

මේ අන්දමට ලාංකීක ජන විඤ්Æණය දේව වන්දනය වෙත හාත්පසින් නම්‍යශීලී වූ අවධියක්‌ ලෙස මහනුවර සමය වටහා ගත හැකිය. අනුරාධපුර යුගයෙහි පටන් පැවත ආ දේවත්වය පිළිබඳ කතිකාව සමාජීය වශයෙන් පරිණාමයවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එම තත්ත්වය හඳුනාගත හැකි අතර වර්තමාන ජනප්‍රිය බුදු දහම තුළ දේව වාදීත්වයට හිමිව ඇති බෞද්ධ මුහුණුවරෙහි පදනම එමඟින් නිර්මාණය වූ බව සිතිය හැකිය. බුදු දහම හා දේව ඇදහීම අතර සමායෝජනයෙන් වෙන් වෙන්ව හඳුනාගත නොහැකි තරමට අෙන්‍යාන්‍ය වශයෙන් ප්‍රතිබද්ධව ඇති වර්තමාන පොදු ජන අධ්‍යාත්මය මහනුවර අවධියෙහි මතුව තහවුරු වූ උක්‌ත ධාරණාවෙහි යාවත්කාලීන පැවැත්ම වශයෙන් සමාජගතව පවතී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.