සිතුල්පව්ව පුදබිමේ ස්‌වර්ණමය යුගය
හෙළි කෙරෙන දකුණුපස ගිරි ලිපිය


බුද්ධි නාගොඩවිතාන



රෝහණ ප්‍රාදේශීය රාජධානියට අයත් ප්‍රමුඛ පෙළේ විහාරස්‌ථානයක්‌ ලෙස සිතුල්පව්ව විහාරය හැඳින්විය හැකි ය. සාහිත්‍ය මූලාශ්‍රය මෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍රවල ද මෙම ස්‌ථානය පිළිබඳව තොරතුරු සඳහන් වේ. ඊට අනුව 'චිතල පවම' , 'චිතල පවත', 'චිත්තල පබ්බත', 'චිත්තල කූඨ', 'සිතුල්පව්', ආදී නාමයන්ගෙන් හඳුන්වනු ලබන මෙම විහාරස්‌ථානය චිත්ත ආල පබ්බත, චිත්තල පබ්බත වී යෑයි විද්වත් මතයයි. (දිසානායක., 2000, 2පිට) මෙහි අදහස සිත් අලවන පර්වතයයි.



නිරිතදිග ශිෂ්ටාචාර සමයෙන් පසුව ක්‍රමයෙන් වනගත වූ සිතුල්පව්ව රජමහා විහාරය යාල වන රක්‌ෂිතය තුළ නටබුන්ව තිබී 1883 දී එඩ්වඩ් මුලර් විසින් යම් කිසි හඳුනාගැනීමක්‌ සිදු කිරීමෙන් පසුව මෑත ඉතිහාසයේ පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණවලට ලක්‌ විය. ඉන් පසුව 1909 දී හෙන්රි පාකර් මහතා මෙන්ම මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද මෙම ස්‌ථානයේ නටබුන් ගවේෂණය කළේය.

19 වන සියවසේ අග භාගයේ දී පමණ සිට මෙම ස්‌ථානය නැවත සුද්ධස්‌ථානය කොට භික්‌ෂූන් වහන්සේගේ නේවාසික පරිහරණයට යොදාගනු ලැබී ය. එසේ යළිත් එළිපෙහෙලි වූ සිතුල්පව්ව හා ඒ අවට නටබුන් පිළිබඳව මෑත කාලයේ දී විශාල වශයෙන් පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබීය. ඒ අතරින් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ පර්යේෂණ කටයුතු විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ක්‍රිස්‌තු පූර්ව යුගයට අයත් කටාරම් කොටන ලද ගල් ලෙන්, ඉපැරුණි ගල් කණු සහිත ගොඩනැගිලි, දාගැබ්, බැමි පැරණි පොකුණු හා තවත් බොහොමයක්‌ නටබුන් හා පුරාවස්‌තු සහිත ආරාමික ප්‍රදේශය පරණවිතාන මහතාගේ පර්යේෂණවලට ලක්‌විය. ඒ අතරින් සිතුල්පව්වේ පැරණි කටාරම් ලෙන්වල දක්‌නට ලැබෙන පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන විශාල ප්‍රමාණයක්‌ පරණවිතාන මහතා පළකර ඇත.(Paranavitana., 1970, p.
46-50)

පැරණි රෝහණ රාජධානියට අයත් ප්‍රධානතම විහාරස්‌ථාන කිහිපයෙන් එකක්‌වන සිතුල්පව්ව විහාරයේ ආරම්භය පිළිබඳව දැක්‌වෙන වංශ කථා සාක්‌ෂිවලට අනුව මෙම විහාරස්‌ථානය කාවන්තිස්‌ස රජු කරවන ලද බවට සඳහනක්‌ ඇත. (ධාතුවංසය., 2010, 66 පිට) නමුත් මෙම ස්‌ථානයේ පවතින එකදු ශිලා ලිපියකින් එම කාරණය සනාථ වී නැත. සිතුල්පව්වේ ඉතිහාසය කාවන්තිස්‌ස සමයටත් වඩා ඈතට ගෙනයා හැකි සාක්‌ෂියක්‌ සිංහල බෝධිවංසයෙන් ලැබේ. ඊට අනුව ශ්‍රී මහා බෝධියෙන් හටගත් දෙතිස්‌ ඵලරුහ බෝධීන් වහන්සේ නමක්‌ සිතුල්පව්වේ රෝපණය කළ බව සඳහන් වේ. (සිංහල බෝධිවංසය., 1998, 188-189 පිටු) ඒ අනුව සිතුල්පව්වේ ඉතිහාසය ක්‍රිස්‌තු පූර්ව තෙවන සියවස හෙවත් දේවානම්පියතිස්‌ස සමයට අයත් වන්නේ ය.

සිතුල්පව්ව ආරාම සංකීර්ණයෙන් ශිලා ලේඛන විශාල ප්‍රමාණයක්‌ සොයාගෙන ඇත. ඒ අතරින් කටාරම් ලිපි හා ගිරි ලිපි කිහිපයක්‌ විද්වතුන් විසින් කියවා පළ කර ඇත. සිතුල්පව්ව හා ඒ අවට කටාරම් ලිපි 65 ක්‌ පරණවිතාන මහතා පළ කර ඇත.(Paranavitana., 1970, p.
46-50) මෙම කටාරම් ලිපි පිහිටුවන අයගේ තරාතිරම අනුව සේනාපතිවරු, ගමිකයන්, පරුමකවරු, ගෘහපතියන්, භික්‌ෂූන් වහන්සේ, උපාසක උපාසිකාවන්, බ්‍රාහ්මණයන්, ආචාර්යවරුන්, අශ්වාරෝහකයන්, ගණකාධිකාරීවරුන්, භාණ්‌ඩාගාරිකවරුන්, වඩු කාර්මිකයන්, වෙළෙන්දන් ආදී විවිධ පුද්ගලයන්ගේ තොරතුරු හා සමාජ මට්‌ටම් ගැන කියෑවේ.(Paranavitana., 1970, p. 46-50).

සිතුල්පව්වෙන් ඉතා වැදගත් ගිරි ලිපි කිහිපයක්‌ සොයාගෙන ඇත. ප්‍රධාන පර්වතයේ දකුණුපස ගල්තලාවේ ඉන් කිහිපයක්‌ දැකිය හැකි ය. එම ස්‌ථානයේ දක්‌නට ලැබෙන එක්‌ ලිපියක පැරණි අක්‌ෂර ක්‍රම පිළිබඳව තොරතුරු අන්තර්ගත වී ඇත. මෙම ලිපියට අනුව 'නක' නම් රජකෙනකු අවට කුඹුරුවල අස්‌වැද්දෙන බිම් ප්‍රමාණ සිතුල්පව්ව විහාරයට පූජා කර ඇත. මෙහි කහවණු සංඛ්‍යා දක්‌වා තිබීම විශේෂත්වයකි. (මේධානන්ද., 2001,43 පිට)

සිතුල්පව්වෙන් හමුවන කණිට්‌ඨතිස්‌ස රජුගේ ශිලා ලේඛනය ද වැදගත් ලේඛනයකි. මෙහි සඳහන් දක්‌ණ තිස්‌ස වැව, සිතුවම් සහිත ප්‍රධාන ලෙන් විහාරය ඉදිරිපස, ඒ නමින් වර්තමානයේ හඳුන්වන වැව විය හැකි ය. තව ද සිතුල්පව්වෙහි උපෝසථාගාරයෙහි දොරටුවේ, නාග මහ රජුගේ සෑයෙහි ඡත්‍රය හා මුද්ධවේදිය, කුංජර ශාලාවේ පියගැටපෙළ ආදී ගොඩනැගිලිවල ප්‍රතිසංස්‌කරණයන් සිදුකර ඇති බව එම ලිපියේ සඳහන් වේ. (මේධානන්ද., 2001, 44 පිට)

සිතුල්පව්වෙන් හමුවන වසබ රජුගේ යෑයි විශ්වාස කෙරෙන ගිරි ලිපියෙහි වසබගේ පරපුර මහරජ කෙනෙකුගෙන් ආරම්භවන බවට සාක්‌ෂි පවතී. එහි සඳහන් තිස්‌ස නම් උප රජුගේ දියණිය 'නකරමණි' නම් වූවාය. වසබ රජු ඇයගේ පුත්‍රයෙක්‌ විය හැකි බවට විශ්වාස කෙරේ. (මේධානන්ද., 2001, 46 පිට)

සිතුල්පව්ව විහාරයේ දක්‌නට ලැබෙන අනෙක්‌ ගිරි ලිපි අතර පළමුවන ගජබාහු රජුගේ ගිරි ලිපිය, නාග නම් කුමාරයෙක්‌ සහ ලේකම් තනතුරක්‌ දරන ඔහුගේ පියා එක්‌ව දෙන ලද දීමනා ඇතුළත් ගිරි ලිපිය, උදය නම් ස්‌ථානයේ වසන සිවගේ පුත්‍රයාගේ ලිපිය හා වහරල ලිපි කිහිපයක සඳහන් තොරතුරුවලට අනුව (මේධානන්ද., 2001, 46-49 පිටු) අනුරාධපුර ප්‍රධාන රාජධානියේ සිටි අගරජවරුන් මෙන්ම විවිධ ප්‍රභූවරුන් සිතුල්පව්ව විහාරයට අනුග්‍රහය දක්‌වා ඇති බව පැහැදිලිය.

සිතුල්පව්ව විහාරයෙන් හමුවන තවත් සුවිශේෂ ලිපියක්‌ නම් අපගේ සාකච්ඡාවට බඳුන්වන දක්‌ණ තිස්‌ස වැවේ ඉහත්තෑවේ දකුණුපස පර්වත ලිපියයි. මෙම ලිපිය බොහෝ විද්වතුන්ගේ අවධානයෙන් ගිලිහුණු ලිපියකි. නමුත් මෙම ලිපිය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියවා පළකර ඇත. (Paranavitana., 1970, p. 262)

පේළි තුනකින් සමන්විත ලිපිය අඩි 72 ප්‍රමාණයෙන් යුක්‌තය. ලිපියේ අක්‌ෂරයක්‌ සාමාන්‍යයෙන් අඟල් 2 සිට 3 දක්‌වා වෙනස්‌ වේ. පළමු පේලියෙහි මුල් අකුරු කිහිපය ගෙවී ගොස්‌ය. එය අනුමාන වශයෙන් කියවිය හැකිය. එම පේළියේම මැද තවත් අකුරක්‌ අපැහැදිලිය. දෙවන පේළියෙහි අක්‌ෂර සියල්ල අනුමානයකින් තොරව කියවිය හැකිය.

මෙම ලිපිය පරණවිතාන මහතා කියවා පළකර ඇතත් එම කියෑවීමට වඩා වෙනස්‌ ආකාරයකින් සමහර වචන කියවා අර්ථ ගැන්විය හැකිය. පරණවිතාන මහතාගේ පෙළ හා අර්ථකථනය පහත දැක්‌වේ.

පෙළ(-

1. (සි රකිත) විල ව(සි)ක උපසක තිසහ

2. ලවොජකහ කුබර අතල කරහ කුඩිය නියතෙ

3. උපසිය සමතය කුබරෙ කරිහක ජිනපඩසකරිsය

අර්ථය(- රකිතවිල වාසයකරන උපාසක තිස්‌ස ලවොජක ප්‍රදේශයේ කරීසයක්‌ ඇතුළත් ආරාම කුටි දෙන ලදී. උපාසිකා සමතා කුඹුරු කරීසයක්‌ පිළි ඇතිරීම අරමුණු ඇතිව (දෙන ලදී) (Paranavitana., 1970, p. 262)

පරණවිතාන මහතා කියවා පළ කරන ලද මෙම ලිපියේ පෙළ මෙයට වඩා වෙනස්‌කම් සහිතව නැවත මෙම ලිපියේ කර්තෘ විසින් කියවන ලදී.

පෙළ(-

1. (සි කරත) විල ව(සි)ක උපසක තිසහ(ච)

2. ලවජකහි කුබරෙ අතඩි කරිහි කුළිය නියතෙ

3. උපසිය සමතය කුබරෙ කරිහිදි ජිනපටසකිරිය

අර්ථය(-

යහපතක්‌ වේවා කරතවිල නම් ස්‌ථානයේ වාසය කරන උපාසක තිස්‌ස(ගේ) ලවජක නම් ස්‌ථානයේ කරීසයක්‌ ඇතිරීමට හැකි වැව ආශ්‍රිතව පිහිටි ප්‍රදේශය දෙන ලදී. (එසේම) උපාසිකාව සම්ම කොට කුඹුරු කරීසයක්‌ ජීර්ණ ස්‌ථාන පිළිසකර කිරීමට දෙන ලදී.

විමර්ශනය(-

මෙම ලිපියේ අක්‌ෂරවලට අනුව මෙය ක්‍රි.ව.1,2 සියවස්‌වලට අයත් කළ හැකිය. ලිපිය සහිත ගල් තලාව ආසන්නයේ නටබුන් හා පුරාවස්‌තු රාශියක්‌ දැකිය හැකිය. එහි තිබූ පුරාවස්‌තු අතර පැරණි උළු කැට කැබලිවල ස්‌වභාවය අනුව ද ක්‍රි.ව. 1,2 සියවස්‌වලට එම නටබුන් අයත් කළ හැකිය. ක්‍රි.ව. 1,2 සියවස්‌ යනු සිතුල්පව්ව විහාරයේ ස්‌වර්ණමය යුගයයි. මෙම අවධියේ දී වසබ, පළමුවන ගජබාහු මෙන්ම කණිෂ්ඨතිස්‌ස රජතුමා සිතුල්පව්වට බොහෝසෙයින් අනුග්‍රහය දක්‌වා ඇති බව මෙහි දක්‌නට ලැබෙන ශිලා ලේඛන සාක්‌ෂි දරයි. එබැවින් මෙම ස්‌වර්ණමය යුගයේ දී ප්‍රදේශයේ වාසය කළ ප්‍රභූවරයෙක්‌ වූ තිස්‌ස හා ඔහුගේ බිරිඳ විසින් තමාට අයත් දේපළ සිතුල්පව්ව විහාරයට පූජාකර ඇති බව පැහැදිලිය.

ලිපියෙහි පළමු වචනය පරණවිතාන මහතා 'සි රකිතවිල' ලෙස කියවා තිබුණ ද මෙහි දක්‌නට ලැබෙන ගෙවී ගිය අක්‌ෂරවලට අනුව 'සි කරතවිල' ලෙස කියවිය හැකිය. මෙම කරතවිල කරිතවිල කරිවිල කරිවිලේ ලෙස බිඳී ආ බවට අනුමාන කළ හැකිය. ඊට අනුව වර්තමානයේ මෙම සිතුල්පව්ව ආසන්නයේ කරිවිලේ නම් ග්‍රාම නාමයක්‌ අදත් දක්‌නට ලැබේ.

දෙවන වචනය 'වසික' යන්න බව පැහැදිලිය. මෙම වචනයෙහි මැද අක්‌ෂරය වූ 'සි' යන්න අපහැදිලි වුවද එය අනුමාන වශයෙන් කියවිය හැකිය. මෙහි සඳහන් ප්‍රධාන පුද්ගල නාමය 'උපසක තිස 'යන්න බව පැහැදිලිය. නමුත් පළමු පේළියේ අගට 'ච' යන්න තිබුණා යන්න අනුමාන කළ හැකිය. 'ච' යන්නෙන් තිස්‌සගේ යන අර්ථය ලබාදේ.

දෙවන පේලියෙහි 'ලවොජකහ' යන්න ස්‌ථාන නාමයක්‌ බව පැහැදිලිය සිතුල්පව්ව අවටින් මෙවැනි ස්‌ථාන නාමයක්‌ වර්තමානයේ හඳුනාගත නොහැකිය. 'කුබරෙ' ලෙස සඳහන් වචනයෙන් කුඹුරු යන අර්ථය ලබා දේ. මෙය 'කුබර' ලෙස දැක්‌වූ අවස්‌ථා ද දක්‌නට ලැබේ. (Paranavitana., 2001, pp. 9.7.63) මෙය 'කුබරි' ලෙස ද යොදන ලද අවස්‌ථා ඇත.

දෙවන පේළියෙහි තෙවන වචනය වූ 'අතඩි' යන්න පරණවිතාන මහත්මා 'අතල' ලෙස සඳහන් කරමින් 'ඇතුළත්' යන අර්ථය ලබාදේ. ශිලා ලේඛනයේ දක්‌නට ලැබෙන අක්‌ෂරවලට අනුව මෙය 'අතල' යන්නට වඩා 'අතඩි' ලෙස කියවිය හැකිය. අතඩි යනු ඇතිරිය හැකි, වගා කළ හැකි යන අදහස ලබාදේ.(රණවැල්ල., 2004, 6 පිට) මේ සඳහා 'ඇතුළු' යන අර්ථය ද දිය හැකිය. (එම., 6 පිට) එහෙත් අතඩි නම් වචනයට ඉදිරියෙන් ඇත්තේ කරිහි යන වචනයයි. මෙය කරිස, කිරිය ලෙස ද සෙල්ලිපිවල දක්‌වා ඇත. එනම් අමුණු 4 ක ප්‍රමාණයයි. මේ නිසා කරීසයක්‌ ඇතිරිය හැකි හෙවත් වගා කළ හැකි යන අදහස ලබාගත හැකිය. කතරගම කිරිවෙහෙර පුවරු ලිපියෙහි 'චතර දොරහි පතගඩ අතඩි' ලෙස දැක්‌වෙන සඳහනට අනුව 'අතඩි' යනු ඇතිරූ හෙවත් තැබූ යන අදහස ලබාදේ. (Paranavitana., 1989, p. 215) නමුත් සිතුල්පව්ව ලිපියෙහි 'අතඩි' යන්නට ඉදිරියෙන් 'කරිහි' වචනය යෙදී ඇති බැවින් කරීසයක්‌ ඇතිරිය හැකි යන අදහස ලබා ගැනීමට බාධාවක්‌ නැත.

ලිපියේ සඳහන් කරිහි යන්නෙන් කරීස කිරිය යන අදහස ලබා දේ. (රණවැල්ල., 2004, 62 පිට) පරණවිතාන මහතා මෙය 'කරහ' ලෙස කියවා ඇත. (Paranavitana.,
1989, p. 262) කරිහි , කිරිය, කරහ යන වචනවල තේරුම අමුණු හතර යන්නයි. (සරසවි සිංහල-සිංහල ශබ්ද කෝෂය.,2011,321 පිට)

ලිපියේ සඳහන් මතභේදයට ලක්‌වන තවත් වචනයක්‌ නම් 'කුළිය' යන වචනයයි. මෙම වචනය පරණවිතාන මහතා 'කුටිය' ලෙස කියවමින් ගලින් කරන ලද ආරාමය යන අදහස ලබා දී ඇත.(Paranavitana.,
1989, p. 262) මෙහි සඳහන් අනෙකුත් වචනවලට අනුව 'කුඩිය'යන වචනයට පෙර කරහ යන වචනය යෙදී ඇත. කරහ යනු කිරිය වේ. එනම් අමුණු 4 ක ප්‍රමාණයයි. ඒ අනුව කරහ යන වචනයට පෙර දක්‌නට ලැබෙන 'කුබර' යන වචනයට අනුව ද මෙමගින් කියෑවෙන්නේ කුඹුරු පූජාවක්‌ බව පැහැදිලිය. ඒ අනුව කුබර කරහ යන වචන සමග 'කුඩිය'යන්නට දෙන ගලින් කරනලද ආරාමය යන වචනය නොගැළපේ. එම වචනය 'කුළිය' ලෙස පහසුවෙන් කියෑවිය හැකිය. කුළිය යනු වැව ආශ්‍රිත ප්‍රදේශය යන අදහස ගත හැකිය. (රණවැල්ල., 2004, 77 පිට) ඊට පෙර යෙදී ඇති කුබර කරිහ යන වචනත් සමග වැව ආශ්‍රිත භූමියක්‌ යන අදහස 'කුළිය' යන්නෙන් අදහස්‌ කිරීම නිවැරදිය.

දෙවන පේළියෙහි අග වචනය 'නියතෙ' ලෙස කියවිය හැකිය. ඊට අනුව මෙය පවරාදෙන ලදී යන අදහස ගත හැකිය. භාතිකාභය රජුට අයත් ශිලා ලේඛනයක 'සොවන කොතුරු(නි) නියතෙ'යනුවෙන් 'පිළිපවත' විහාරයේ සංඝයාට දෙන ලද දීමනාවක්‌ ගැන සඳහන් වේ.(Paranavitana., 1989, p. 154) මෙය නියත ලෙස ද යෙදී ඇත.

තුන්වන පෙළෙහි උපසිය යන්න විශේෂණ නාමයකි. උපසිය යනු උපාසිකාව යන අදහසයි. සමතය යන්න සම්මත සම්මත කොට දෙන ලදී යන අදහසයි. එනම් ස්‌ථීර කොට යන අදහසයි. (රණවැල්ල., 2004, 349 පිට) නමුත් පරණවිතාන මහතා 'සමතය' යන්න උපාසිකාවගේ නාමය ලෙස හඳුනාගනී. (Paranavitana.,
1989, p.  262) තෙවන පේළියෙහි අවසානයට 'ජීනපටිසකිරිය' යන වචනය යොදා ඇත. මෙය පරණවිතාන මහතා 'ජීනපඩසකිරිය' ලෙසට කියවා ඇත. 'ජිණ්‌ණ - පටිසන්ථාරික කම්මං 'යනු නටබුන් පිළිසකර කිරීම බව D. M. ද සිල්වා වික්‍රමසිංහ සූරීන් ගේ අදහසයි. (වික්‍රමසිංහ., 2000, 38 පිට) නමුත් පරණවිතාන මහතා මේ පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ කරමින් ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණ යන අදහස ලැබෙන්නේ 'සන්ථරණ' ශබ්දයෙන් නොව 'පටිසංඛරණ' ලෙස නොහැඟවෙන බව කියයි. 'අජින' යන්න 'ජින' වූ බව පවසන පරණවිතාන මහතා එමගින් සාදුවරයන්ට ඉතා ප්‍රිය වූ සම් විශේෂයක්‌ හැඟවෙන බව කියයි. තව ද පිරිස්‌ රැස්‌වෙන තැන්හි පිළි ඇතිරීම ඉන්දියානු සිරිතක්‌ බවත් ඒ සඳහා අඳුන්දිවිසම් භාවිතා කළ බවත් ඒ අනුව ලක්‌දිව ද ඒ සිරිත පැවති බව දක්‌වන පරණවිතාන මහතා මෙම ජිනපටිසකිරිය යන්න මුව සම් හා පිළි ඇතිරීම බව පවසයි. (අමරවංශ හිමි., 1969, 119,120 පිටු ) පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමියන් ද මෙම අඳුන්දිවිසම් (මුව) ඇතිරීම යන අදහස දරයි. (අමරවංශ හිමි., 1969, 119, පිට ) මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ අදහස වන්නේ ද 'ජිනපටිසතරිය' යනු දිරාගිය තැන් පිළිසකර කිරීම හා අලුත් වැඩ කරවීම සඳහා යන අදහසයි. (රණවැල්ල., 2004, 106 පිට) නමුත් මෙම ලිපියේ විශේෂත්වය වන්නේ මෙය 'ජිනපටිසකිරිය' ලෙස සඳහන් වීමයි. මෙලෙස මෙම වචනය සඳහන්වන පළමු අවස්‌ථාවයි. 'ති' වෙනුවට 'කි' යොදා ඇත. නමුත් මෙම වෙනස නිසා වචනයේ අදහස වෙනස්‌ නොවන බව පැහැදිලිය.

මෙම ලිපියේ 'ජිනපටිසකිරිය' යෙදී ඇත්තේ 'කුබර කරිහි දී ජිනපටසකිරිය 'ලෙසයි. ඊට අනුව කුඹුරු කරීසයක්‌ දී ඇත්තේ 'ජිනපටසකිරිය' කිරීම සඳහාය. එබැවින් මෙය අඳුන්දිවිසම් ඇතිරීමට වඩා විහාරයේ නටබුන් වූ (ජීර්ණ වූ) ස්‌ථාන පිළිසකර කිරීමට යන අදහස ගැනීම උචිතය.

මේ ආකාරයෙන් සිතුල්පව්ව රජමහා විහාරයේ දක්‌ණ තිස්‌ස වැව ඉස්‌මත්තේ දකුණුපස ගල් තලාවේ දක්‌නට ලැබෙන මෙම ගිරි ලිපිය සිතුල්පව්වේ අනෙකුත් ගිරි ලිපි තරම් විද්වතුන්ගේ අවධානයට ලක්‌ නොවූ ලිපියකි. වැදගත් තොරතුරු රැසක්‌ හෙළිවන මෙම ලිපිය රෝහණ ඉතිහාසය අධ්‍යයනයේ දී බෙහෙවින් වැදගත් වන බව කිව යුතුය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

සිංහල මූලාශ්‍රය

ප්‍රාථමික මූලාශය.

ධාතුවංශය, (2010) තිලකසිරි සිරි. (සංස්‌) ඇස්‌ ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

සිංහල බෝධිවංශය, (1998) ගුණවර්ධන වී.ඩී.එස්‌. (සංස්‌) ඇස්‌ ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

ද්විතීය මූලාශය.

අමරවංශ හිමි, කොත්මලේ. (1969) ලක්‌දිව සෙල්ලිපි, ඇම්.ඩී ගුණසේන සහ සමාගම, කොළඹ.

දිසානායක, සෙනරත්. (2000) අසිරිමත් සිතුල්පව්ව, කොළඹ.

මේධානන්ද, එල්ලාවල. (2001) ඓතිහාසික සිතුල්පව්ව, හෝමාගම.

රණවැල්ල, සිරිමල්. (2004) සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.

වික්‍රමසිංහ, D.M.Z. (2000) ශිලාලේඛන සංග්‍රහය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කොළඹ.

හෙට්‌ටිහේවා, ජී. සහ ජයමාන්න, පර්සි. (සංස්‌) (2011) සරසවි සිංහල-සිංහල ශබ්ද කෝෂය කොළඹ.

ඉංග්‍රීසි මූලාශ්‍රය

Paranavitana, S. (1970). Inscription of Ceylon,
vol.1, Department of Archaeology , Colombo.

Paranavitana, S. (2001) Inscription of Ceylon,
vol.11, P.11, Department of Archaeology ,
Colombo.

Paranavitana, S. (1989) Epigraphia Zeylanica,
vol.111, Department of Archaeology, Colombo.

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.