* කාටුන් කියෑවීම
රන් දෙවොලේ ගිනිකෙළි

පන්ජාබය ඉන්දියාවේ ඇති ප්‍රධානතම ආර්ථික ශක්‌තිය ඇති ප්‍රාන්තයකි. එහි ප්‍රධාන නගරය චන්දිගාර් වන අතර, දෙවැනි විශාල නගරය අම්ට්‌සාර්ය. 1984 ට පෙර දැනට තිබෙන පන්ජාබයේ ප්‍රාන්තය පුරා "සීක්‌ සටන්කාමීන්" විසින් වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා සටන් ව්‍යාපාරයක්‌ ආරම්භ කරන ලදී. මෙය ඉතා දැඩි සටන්කාමී ව්‍යාපාරයක්‌ විය. මේ සීක්‌ සටන්කාමීහු බොහෝ දෙනෙක්‌ ඔවුන්ගේ පූජනීය "රන් දෙවොල" ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගත්හ.

නවදිල්ලි නගරයට සැතපුම් 240 ක්‌ පමණ දුරින් ඉන්දියා - පකිස්‌තාන දේශසීමාව අසල "රන් දෙවොල" පිහිටා ඇත. මෙය මුල්කොට ගෙන පංජාබ ප්‍රාන්තය හා පකිස්‌තානයේ කොටසක්‌ සමඟ සීක්‌ දේශයක්‌ ගොඩනැඟීම සීක්‌වරුන්ගේ බලාපොරොත්තුවකි. එය "රන් දෙවොල" නමින් හැඳින්වූයේ එහි ඉහළ කොටස රත්‍රන්වලින් නිමවා ඇති බැවිනි. සීක්‌වරුන්ගේ ප්‍රධානතම ආගමික පූජස්‌ථානය වූ මේ දෙවොල 1576 දී සීක්‌ ආගමේ ආදි කර්තෘ වූ "ගුරුනායක්‌ ස්‌වාමි" විසින් ගොඩනැඟීම ආරම්භ කරන ලද අතර 1607 දී රන් දෙවොල සාදා නිමකරන ලදී. ජලාශයක්‌ මැද සාදා ඇති මෙයට එක්‌ පසෙකින් පමණක්‌ ඇතුළු විය හැකි ලෙසට සාදා ඇත.

එම නිසා ආරක්‍ෂාව අතින් මෙය ඉහළ තත්ත්වයක පවතී. 1984 ජුනි 1 දා මෙම දෙවොලට ඉන්දීය හමුදාව අවතීර්ණ විය. ඒ එහි සඟවා තිබූ අවි ආයුධ සොයා ගැනීමටත් එහි සැඟවී සිටි සීක්‌ අන්තවාදීන් පලවා හැරීමටත්ය. 1984 සැප්තැම්බර් 30 දා ඉන්දීය හමුදාව "රන් දෙවොල" අතහැර ඉන් ඉවත් විය. ඒ එහි සාමය ස්‌ථාපිතවූවාට පසුවය. මේ සිද්ධීන් පිළිබඳව ඉන්දීය කාටූන් ශිල්පී "සුදීර් දා" කාටූන් නිර්මාණයකොට තිබුණි.

1934 දී ඉන්දියාවේ අලහබාද්වලදී උපන් සුදීර් දා අලහබාද් සරසවියෙන් ගණිතය සහ භූගෝලය පිළිබඳව උපාධිය ලබා ගත්තේය.

මුලින් "All Indian Radio" සේවයේ නිවේදකයෙකු වශයෙන් සේවය කළ "සුදීර්" 1960 දී 'The Statsman' පුවත්පතට සහ 'Hindustan Times' පුවත්පතට දේශපාලන කාටූන් ශිල්පියකු වශයෙන් සම්බන්ධ විය. 'Out of My Mind', 'This is it' නමින් ඔහු එම පුවත්පත්වලට පොකට්‌ කාටූන් නිර්මාණය කළේය. 'සුදීර් දා' පසුකාලීනව 'The Pioneer' සහ 'Delhi Times' පුවත්පත් මගින්ද තම කාටූන් නිර්මාණ ඉදිරිපත් කළේය.

Out of My Mind, This is it, Out of My Mind
again, The Best of This is it, The Best Sudhir Dar,
Sudhir Dar Classics The Mad Mad World of
Elections, The Mad Mad World Of Cricket යන නම්වලින් යුත් කාටූන් ග්‍රන්ථ සහ චිත්‍ර නිර්මාණ ග්‍රන්ථ ඔහු විසින් එළිදක්‌වා ඇත.

'සුදීර් දා' විසින් රන්දෙවොලේ සටන් පිළිබඳව අඳින ලද එක්‌ කාටූනයක්‌ නිර්මාණයකොට තිබුණේ 'ටෙම්පල්' (දේවාලය) Temple යන අකුරු හයෙන් පමණි. එය රන් දෙවොල තුළ ඒ කාලයේ සිදුවූ සිදුවීම සිහිගන්වන්නකි. එම අකුරු හය සැදී ඇත්තේ තුවක්‌කු, මූනිස්‌සම්, අත්බෝම්බ, පිස්‌තෝල, මුදල් නෝට්‌ටු මිටි හා රත්තරන් කුට්‌ටිවලිනි. මේවා සීක්‌ අන්තවාදීන් විසින් ආරක්‍ෂාව සඳහා රන් දෙවොලේ සඟවා තිබූ දැය. ඉන්දීය හමුදාව රන් දෙවොලට කඩාපැන සොයා ගත්තේ මේවාය.

'සුදීර් දා' ගේ අනෙක්‌ කාටූනයේ ඇඳ තිබුණේ සීක්‌ නායකයෙකු ඇඳක සැතපී සිටින ආකාරයයි. ඔහු අත එල්ලය බලා විදින සෙල්ලම් ඊතල කීපයකි. ඔහු ඉදිරිපිට ඇති බිත්තියේ ඇති ඵලකයක නම් වට්‌ටෝරු තුනක්‌ සවිකර ඇත. ඒවායේ ඇත්තේ දේශපාලනඥයන් (Politicians), පොලිස්‌ නිලධාරීන් (Policeman), හින්දූහු (Hindu) යනුවෙන් ලියා ඇති නම් ලැයිස්‌තුය. සීක්‌ නායකයා සෙල්ලම් ඊතලවලින් එම නම් පේලිවලට දමා ගසයි. ඔහු ළඟ සිටගෙන සිටින සීක්‌ සටන්කාමීන් තම සටහන් පොත්වල සීක්‌ නායකයා ඊතලවලින් දමාගසන විට එම ඊතල වැදී ඇති තැන ඇති ඒ ඒ පුද්ගලයන්ගේ නම් ලියා ගනී. ඒ එම නමින් ඇති පුද්ගලයාව ඝාතනය කිරීම සඳහාය.

* රුවන් තරස්‌වින්

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.