උසස්‌ පෙළ හා අල්ලපු වැට

නැවතත් "ගමේ හපනුන්" ගැන කතා කරන්නට සිදුව තිබේ. කලබල විය යුතු නැත. මේ ගමේ හපනුන් හම්බන්තොටදී ගල්, පොලු, මුගුරු අත දැරුවන් නොවේ. කොළඹින් ගොස්‌ චණ්‌ඩිකම් පෙන්නූ උදවියද නොවේ. එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් නිරන්තරයෙන් සිදුවන රටක රට එළිය කරන සැබෑම ගමේ හපනුන්ය. මේ කතා කරන්නේ පසුගිය උසස්‌ පෙළ විභාගයෙන් උසස්‌ ලෙස සමත් වූ සමස්‌ත දිවයිනේ දූ දරුවන් ගැනය. "හොඳ"ට වඩා නරකම ඇහෙන රටක මේ දරුවන්ගේ දස්‌කම් ගැන කතා කළ යුතුය. ඇගයීමට ලක්‌ කළ යුතුය. කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි සුපිරි විදුහල්, ජාතික පාසල් ගැන උනන්දුවන රටක, ඒ පාසල් වලටම හොඳම හැන්දෙන් බෙදන රටක මේ දූ දරුවන්ගේ දස්‌කම් ගැන අප ආඩම්බර විය යුතුය.

එතෙක්‌ මෙතෙක්‌ රට පාලනය කළ හැම ආණ්‌ඩුවකම "සෑහෙන්න ප්‍රශ්න" තිබිණි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ කිසිවකට හෝ එතරම් ප්‍රශ්න තිබුණු බවක්‌ පෙනෙන්නට තිබුණේ නැත. එහෙත් මේ රටේ වැඩිම ප්‍රශ්න තිබෙන ක්‌ෂේත්‍රය බවට පත්ව තිබුණේ අධ්‍යාපනයයි. එය රටේ පාලකයන්ට නොතේරුණාට රටේ ජනතාවට දැනී තිබිණි. දරුවකු ඉපදුණු දා පටන් මේ රටේ මවුපියන්ගේ බරපතළම ප්‍රශ්නය වන්නේ දරුවා හොඳ පාසලකට ඇතුළත් කර ගැනීමය. අල්ලපු වැටේ තිබෙන ගමේ ඉස්‌කෝලේ ගැන ඒ බොහෝ දෙනෙක්‌ අවධානය යොමු කරන්නේ නැත. අල්ලපු වැටේ ඉස්‌කෝලේ නාන තටාක නැත. සවසට ක්‍රිකට්‌, රගර් පුහුණුවීම් නැත. සුපිරි කාර් පැමිණෙන්නේ නැත. ගමේ පාසලේ හැමදාමත් ප්‍රශ්නය. එන ඕනෑම ගුරුවරයෙක්‌ බලන්නේ ඉක්‌මනින්ම "මාරුවීමක්‌" හදාගැනීමටය. පහසුකම් නැති ඉස්‌කෝලෙක දරුවන්ට ඉගැන්වීමත් "වරදක්‌" යෑයි අප අසන්නට ඉක්‌මන් නොවෙන්නේ ගුරුවරුන්ටද අනේකවිධ ප්‍රශ්න ඇති බැවිනි. ගමේ දරුවන් දස්‌කම් දක්‌වන්නේ එවැනි පසුබිමක්‌ තුළය.

කොළඹ පාසලකට වැටෙන් එහා පැත්තේ සිටියද දරුවකු ඇතුළත් කර ගැනීම ලෙහෙසි පහසු කාරණාවක්‌ නොවේ. ඒ නිසාම බොහෝ දරුවන් ඉපදුණු දා පටන්ම මවුපියෝ මේ "වැට මායිම්" පිළිබඳව සැලකිලිමත් වෙති. කොළඹින් කිලෝමීටර් තිහ හතළිහ දුරින් සිටියද සුපිරි පාසල එහා පැත්තේ ගෙදරකට වතුර බිල් සෑදේ. විදුලිය බිල් සෑදේ. තව තවත් පදිංචිය සනාථ කරන ලියකියෑවිලි සෑදේ. අන්තිමේදී කිලෝ මීටර 50-60 ක්‌ දුර සිට පාසල් බස්‌ රථ පාසල් වෑන් කොළඹ සුපිරි පාසලට එනවිට පාසලේ අල්ලපු වැටේ ඇත්තටම පදිංචිව සිටින දරුවාට පාසල අහිමි වේ.

ගමේ පාසලින් උසස්‌ ලෙස උසස්‌ පෙළ සමත් වූ දරුවන් උත්තර දී ඇත්තේ මේ අර්බුදයටය. (කොළඹ විදුහල්වලින් ඉහළින්ම උසස්‌ පෙළ සමත් වූ දරුවන් ගැනද අපට ඇත්තේ සතුටකි.) ගමේ පාසල පිළිබඳව ආකල්ප වෙනස්‌ කරගත යුතු කාලය එළැඹ තිබෙන බව මේ හැම දරුවෙක්‌ම උදාහරණ සහිතව පෙන්වාදී තිබේ. දැන් වසර දෙක තුනක සිටම අප මේ තත්ත්වය අත්විඳ ඇත්තෙමු. ඒ නිසාම ඊළඟ වසරේදී "එකේ පන්තිය" ගැන හිතන මවුපියන් අල්ලපු වැටට ප්‍රමුඛතාව දිය යුතු බව අපේ හැඟීමය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.