කැලණි පෙරහැරේ පුරාවෘත්තය
තුඩුගල විජයවර්ධන පවුලේ දායකත්වය

අද කැලණි මහා පුද බිමෙහි සිට මුළු මහත් දෙරණම ගිගුම් දෙන දිනයයි. ඒ අප ගෞතම බුද්ධ රාජයාණන් වහන්සේගේ පා පහසින් අති පාරිශුද්ධත්වයට පත් මෙරට ඇති එකම පූජනීය ධර්ම භූමිය ඒකනින්නාදනය කරන දිනයයි. අද සවස්‌ යාමය වන විට මෙරට දුර බැහැර සිටින බොදුණුවන් ද මේ ධර්ම භූමියෙහි පා පහස ලැබ උතුම් වූ බුද්ධ මහා රජාණන් වහන්සේ එදා දෙව්රම් වෙහෙර ගුගුලවා අනන්ත අප්‍රමාණ වූ මහා ජනසන්නිපාතයෙන් නිවන් දොර කරා එළඹ වූ අයුරු සිහිපත් කරනු ඇත.

නිහඬව සිටි කැලණි ගම් මිටියාවත එදා මෙරටට පැමිණි පෘතුගීසි මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් අත්මිදුණේ අවට පැවැති විහාරාරාමයන් සුණු විසුණු කර පෞරාණික මුතුන්මිත්තන් නිධන් කළ ධන නිධානයන් පැහැර ගත්ත ද මෙම බුද්ධ භූමිය බුදු පා පහසින් අති පාරිශුද්ධත්වයට පත්ව තිබූ හෙයිනි.

එහෙත් කල් යැමෙන් කැලණි රජමහ වෙහෙරත් ඒ ආශ්‍රිත භූමි භාගයත් ජරාවාස වෙමින් පැවතිණ. දහහත්වැනි සියවසේ අවසන් සමයේ සබරගමුව දිසාව වශයෙන් සිටි තුඩුගල අප්පුහාමිලාගේ පරපුරෙන් පැවැති ආ තුඩුගලගේ දොන් ජෝන්, තුඩුගලගේ දොන් සීමන් සපරමාදු, දොන් ලුවිස්‌ හෙලෝනිස්‌ යන පුතුන්ගෙන් පසුව උපත ලද දොන් පිලිප් තුඩුගල විජයවර්ධන මහතාගේ දරු පිරිස නව දෙනෙක්‌ වූහ. දොන් ඇලෙක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුවිස්‌, දොන් රිචර්ඩ්, දොන් එඩ්මන්ඩ්, හැරියට්‌, දොන් චාර්ල්ස්‌, දොන් වෝල්ටර්, දොන් ඇල්බට්‌ ඒ දරු පිරිසය.

දොන් පිලිප් විජයවර්ධන මහතා 1856 වසරේදී සේදවත්තේ පදිංචි වීමත් සමඟම නව ප්‍රබෝධයක්‌ ඇතිවන්නට විය. ව්‍යාපාරික කටයුතු වශයෙන් කළේ කොළඹ වරායේ බ්‍රේක්‌වෝටර් බැම්ම සඳහා අවශ්‍ය දැව සැපයීමය. ඔහු ධනවතකු මෙන්ම සමාජ සේවකයකු වශයෙන් පළාත ආශ්‍රිත මහජනතාවගේ ප්‍රසාදයට පත්වූයේ හේවාගම් කෝරළයේ ඩැප් වීරසිංහ පරපුරේ වැඩිමහල් දියණිය හෙලේනා ඩැප් වීරසිංහ මෙනෙවියගේ අතිනත ගැනීමත් සමඟිනි.

සේදවත්තේ කුඩා ආවාස ගෙයක්‌ව පැවැති වෙහෙරගොඩැල්ලේ විහාරස්‌ථානය අංග සම්පූර්ණ විහාරස්‌ථානයක්‌ බවට පත්කළ හෙලේනා විජයවර්ධන මාතාව 1917.11.14 වැනි දින සන්නස්‌ පත්‍රයකින් මහ සඟරුවන වෙත පූජා කළාය.

කැලණි රජමහා වෙහෙර වැඳ පුදා ගන්නට ගිය විටදී දැකගත්තේ මෙම බුද්ධ භූමිය ජරාවාසයට පත්ව විනාශ මුඛයට පැමිණ ඇති බවකි. බුදුකුටිය දණක්‌ එරෙන මඩෙන් පිරී තිබිණි. මාස කිහිපයක්‌ ඇතුළතදී ප්‍රතිසංස්‌කරණ කටයුතු කෙරී ගෙන ගියේය. හෙලේනා විජයවර්ධන මාතාවට මෙකී කටයුතුවලදී බෙහෙවින්ම දායකත්වය ලබාදුන්නේ තම කණිටු පුත් වෝල්ටර් විජයවර්ධනය.

විහාර මන්දිරයේ ගරාවැටුණු බිත්තිවල නිර්මාණය කර තිබූ ඉපැරණි චිත්‍ර කැටයම් නවීකරණය කළ යුතු විය. බුදු මැඳුරෙහි වූ කඩා වැටී ගිය බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවට නව ප්‍රතිමා වහන්සේ නමක්‌ ප්‍රතිෂ්ඨාපනය කළ යුතු විය. ඉපැරණි නිර්මාණකරුවන් මෙහි නිමැවූ බුබුලාකාර සෑ රදුන් යළි ප්‍රතිසංස්‌කරණය කළ යුතු විය. රට පුරා චිත්‍ර ශිල්පීන් සොයා වෝල්ටර් විජයවර්ධන ගිය ගමනේදී සෝලියස්‌ මෙන්ඩිස්‌ නමැති චිත්‍ර ශිල්පියා හමුවිය.

ඔහු සමඟ ඉන්දියාවට ගිය වෝල්ටර් විජයවර්ධන, අජන්තා, එල්ලෝරා සිතුවම් සිත්හි ධාරණය වනතුරු සති ගණනක්‌ එහි ගත කළේය. සෙල්මුවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ කැලණි බුදුමැඳුරේ පිහිටවනු පිණිස ගල් වඩුවන් රැගෙන පැමිණ නව විහාර කර්මාන්තය ඇරඹීය. ගලින් නෙළුE පළමු බුද්ධ ප්‍රතිමාව සිත් ගත් නොහුණු හෙයින් එය බෝමළුවේ ඉදිරිපස තැන්පත් කරවීය. අදත් කැලණි පුදමළුව අබියස ඇත්තේ එයයි. දෙවනුව නෙළන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ අදත් බුදුමැඳුර ප්‍රභාශ්වර කරයි.

හෙලේනා විජයවර්ධන උත්තමාවිය අද මේ දුරුතු පුන් පෝදා අප විසින් සිහිපත් කළ යුතුව ඇත්තේ දෙවැනි විශාඛාවක්‌ පරිද්දෙනි. තමන්ට කළ හැකි දන් පින් උපරිම අන්දමින් කළ එතුමිය නොකළ හැකි කාර්ය භාරය පවරනු ලැබුවේ සිය පුත් වෝල්ටර්ටය.

ශ්‍රද්ධා භක්‌තියෙන් පිරී ගිය පින්වතුන් නිරන්තරයෙන් කැලණි මහ වෙහෙර පියමං කරද්දී බුද්ධ භූමිය දොහොත් මුදුනින් පිළිගන්නට එන සැදැහැවතුන් තුළ එකී ශක්‌තිය තුළින් නව ප්‍රබෝධයක්‌ ඇති කළ යුතු බව සිතට ගත් වෝල්ටර් විජයවර්ධන දනන් සිත් වඩ වඩාත් සැදැහැ බැතිය වඩවනු උදෙසා කැලණි මහ වෙහෙරෙහි පෙරහැරක්‌ කළ යුතු යෑයි අදිටන් කර ගත්තේය.

එවකට මෙරට වාර්ෂිකව පැවැත්වෙන පෙරහැරව තිබුණේ මහනුවර ශ්‍රී දළදා මන්දිරයෙහි සිදු කෙරෙන මහ පෙරහැර පමණි. හෙතෙම සතියක්‌ මුළුල්ලේ දළදා පෙරහැර නිරීක්‍ෂණය කළේය. අපේ පැරණි යටගියාව සිහිපත් කෙරෙන විවිධාකාර නැටුම් ගැයුම් බුද්ධස්‌ත්‍රොaත්‍ර ගායනා කරන පිරිස්‌ දැක බලා ගත්තේය.

යළි පැමිණි හෙතෙම දුරුතු මස පුන් පොහෝදා තම මෑණියන් ඉෂ්ට සිද්ධ කරගත් පුණ්‍යකර්මයන් මුළු මහත් සකල බෞද්ධ උපාසක උපාසිකාවන්ටම ප්‍රදර්ශනය කරනු උදෙසා කැලණි මහ පෙරහැරක්‌ ඇති කළ යුතු යෑයි අධිෂ්ඨාන කර ගත්තේය. එහෙත් අතිශය මහානුභාව සම්පන්න කැලණි පුදබිම සම්බන්ධ කොටගෙන පෙරහැරක්‌ පැවැත්වීමේ පෙරහුරුවක්‌ කිරීමට අකමැති වූ වෝල්ටර් විජයවර්ධන තම නිවෙස ඒ සඳහා තෝරා ගත්තේය.

එම නිවෙස පිහිටියේ කොල්ලුපිටියේ මුහුද ආශ්‍රිත අතිවිශාල භූමි භාගයකය. අද ඇමෙරිකානු එක්‌සත් ජනපද තානාපති කාර්යාල භූමි භාගයේය. නිවෙසට සමීපව විශාල බුද්ධ මන්දිරයක්‌ ද විය. පෙරහැර සඳහා අවශ්‍ය අතිවිශාල මිල මුදල් සම්භාරය තමන් විසින්ම දරා ගනිමින් ගරුගාම්භීර ආකාරයෙන් පළමු පෙරහැර කැලණි මහ වෙහෙරෙහි ඇරඹුණු දා කන්දඋඩරට දළදා මැඳුරෙහි පැවැත්වෙන දළදා පෙරහැර ඉක්‌මවා යන ජනතාවක්‌ එය නැරඹුමට එක්‌වන්නට වූහ.

වාර්ෂිකව නොකඩවා දුරුතු මහ පෙරහැර පැවැත්විය යුතු හෙයින් පවුලේ සියල්ලන් එක්‌ව ඇති කළ කැලණිය කලාවැව අරමුදල යනුවෙන් එක්‌ අරමුදලක්‌ ද කැලණි වෙහෙරේ පැවැත්ම උදෙසා තවත් අරමුදලක්‌ ද ඇති කොට තිබිණ. එක්‌ වර්ෂයකදී හෙලේනා විජයවර්ධන අරමුදලේ මුදල් පෙරහැර සඳහා මඳ වූයේ කැලණි වෙහෙර පැවැත්ම උදෙසා පිහිටුවා තිබූ අරමුදලෙන් මුදල් ඉල්ලා සිsටිය ද එම බලධාරීන් එය ප්‍රතික්‍ෂේප කළේය. වෝල්ටර් විජයවර්ධන මහත් ගැටලුවකට පත්විය. පන්නල ප්‍රදේශයේ තමාට අයිති සුවිසල් පොල්වතු යාය වන විරිදියාව වත්ත උගස්‌ කොට ලබාගත් මුදලින් පෙරහැර අංග සම්පූර්ණ බවට පත් කළේය.

අද අප දකින කැලණි මහ පෙරහැර ඇරඹුණේ එපරිද්දෙනි. සිය පෞද්ගලික ධනය යොදා මඩ ගොහොරින් මතු කරගත් කැලණි මහ වෙහෙර යළි උපද්දා එහි මහා පෙරහැරක්‌ ඇති කළේ හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. එතුමියගේ දරු මුණුපුරෝ වන වර්තමාන අග්‍රාමාත්‍ය, කැලණි දායක සභාවේ සභාපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රධාන බස්‌නායක නිලමේ වන ධම්මික ආටිගල එදා ඇරඹි කැලණි පින් බිමෙහි ආරක්‍ෂකයන් භාරකරුවන්ව සිටිති

- නන්දසේන සූරියආරච්චි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.