සිරිලකට පෑයූ සුපුන් සඳ
ඕමාරේ කස්‌සප අනුනාහිමි

සම්බුදු සසුන ආලෝකවත් කරන මහයතිවරුන් අතර දේශයේ පිනට පහළවූ ශ්‍රේෂ්ඨ යතිරුවනක්‌ ලෙස මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ධුරන්දර, කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ රජමහා විහාරාධිපති, සපුගොඩ විද්‍යා නිකේතන මහා පිරිවෙන් අධ්‍යක්‍ෂ, ශාස්‌ත්‍රපති, ඕමාරේ කස්‌සප අනුනාහිමියන් හැඳින්විය හැකිය. නිහතමානී ගුණය, කරුණික බව, පරෝපකාරය, ඉවසීම ආදී ගුණාංගයන්ගෙන් යුතු අනුනාහිමියෝ සිල්වත්, ගුණවත්, සුපේෂල, ශික්‍ෂකාමී ගුණයෙන් අගතැන්පත්ය. එමෙන්ම රටේ පැන නගින ආගමික, ශාසනික හා සමාජ ප්‍රශ්නවලදී එඩිතර, අවංක සෘජු ප්‍රතිපත්තියෙන් යුතුව ක්‍රියා කරති.

උන්වහන්සේ කඹුරුපිටිය, සපුගොඩ විද්‍යා නිකේතන මහ පිරිවෙනෙහි 25 වසරක්‌ සේවය කළ අතර ඉන් 24 වසරක්‌ම එහි පරිවේණාධිපති ධුරය ඉසිලූහ. කොළඹ කිරුළපන පූර්වාරාම ශ්‍රී පඤ්Æලෝක පිරිවෙනෙහිද කෙටි කාලයක්‌ සේවය කළ උන්වහන්සේ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් සමග එක්‌ව සමස්‌aaත ලංකා පිරිවෙන් ගුරු සංගමය පිහිටුවීය.

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ධුරයත්, අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක ධුරයත් දරමින් සම්බුදු සසුනට හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උන්නතියට අමිල සේවයක්‌ කළේය. කඹුරුපිටිය ශානසාරක්‌ෂක මණ්‌ඩලයේ සහ මාතර දිස්‌ත්‍රික්‌ ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී ධුරයට පත්වූ අතර සමස්‌ත ලංකා ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ උප සභාපති ධුරයටද පත්විය.

සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය විධිමත් සංඝ සභාවක්‌ බවට පත්කළ කස්‌සප නාහිමියෝ ශ්‍රී රෝහණ තරුණ භික්‌ෂු සංවිධානය, උපසම්පදා විධායක කමිටු බිහි කළහ. මාතර මුහුදේ දූපතක්‌ ලෙස පැවති පරෙයි දූපත තරු පහේ හෝටල් ඉදිකිරීමට සැලසුම් වෙද්දී එකල සිටි දේශපාලන නායකයන් සමග සාකච්ඡා කොට ශ්‍රී රෝහණ සංඝ සභාවට පවරාගෙන රන්දූපත නමින් ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා උපෝසථාගාරයක්‌ බිහි කිරීම නාහිමියන්ගෙන් බුදුසසුනට සිදුවූ විශිෂ්ට මෙහෙවරකි.

රටදැය සමය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක්‌ සිදුකරන මහා විශාරවංශික, ශ්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක, කඹුරුපිටිය සපුගොඩ විද්‍යා නිකේතන පිරුවන්පති, මහා ලේඛකාධිකාරී ශාස්‌ත්‍රපති ඕමාරේÊකස්‌සප අනුනාහිමියන්ගේ ජන්ම දිනය යෙදෙන ජනවාරි 11 දා කඹුරුපිටිය ඉලංගම්ගොඩ රජමහා විහාරයේ සහ හම්බන්තොට සිංහගිරි විහාරයේ පිංකම් මාලාවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. සිරිලකට පෑයූ සුපුන් සඳක්‌ වන ඕමාරේÊකස්‌සප අනුනාහිමිපාණෝ දිගුකල් නිදුක්‌ නිරෝගීව වැජඹේවා.

විතාරන්දෙණියේ වජිර හිමි
හම්බන්තොට සිංහගිරි විහාරාධිපති
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.