කළුබෝවිල තවත් රෝහල්
සේවකයෙක්‌ ඩෙංගු මාරයාට බිලි


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, උපාලි වෛද්‍යජීවක - නුගේගොඩ සහ ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව

කළුබෝවිල මහ රෝහලේ තවත් සෞඛ්‍ය කාර්ය සහායකයකු ඩෙංගු උණ රෝගයෙන් ඊයේ (10 දා) මියගොස්‌ ඇත.

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය එම රෝහල් සේවකයන් ගණන තුන දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

මියගිය රෝහල් සේවකයන් අතර හෙද නිලධාරිනියක්‌, සෞඛ්‍ය කාර්ය සහායිකාවක්‌ සහ කනිටු කාර්ය සහායකයෙක්‌ වෙති.

ඩෙංගු රෝගයෙන් ඊයේ මියගොස්‌ ඇත්තේ හොරණ පොකුණුවිට බණ්‌ඩාරවත්ත පදිංචිව සිටි කසුන් සමීර (28) නමැති සේවකයෙකි.

රෝහල් කාර්ය මණ්‌ඩලයේ තවත් සේවකයන් තිහකට අධික පිරිසක්‌ මීට පෙර ඩෙංගු හේතුවෙන් පීඩා විඳි අතර ඊයේ දිනයේ ද ඩෙංගු වැළඳුණු කළුබෝවිල රෝහල් සේවකයෝ කිහිපදෙනෙක්‌ ද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

මෙම ඩෙංගු තත්ත්වය රෝහල අභ්‍යන්තරයෙන් ඇති වූයේ ද එසේත් නොමැති නම් රෝහල වටා ඇති නිවාස පරිශ්‍රයන් නිසා ඇතිවූයේද යන්න දැන්වත් සොයා බලන ලෙස රෝහල් සේවකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.