නවක තරුණ පෙළ වෙනුවෙන්
මාස 4 කට වරක්‌ ඡන්ද නාමලේඛනයක්‌


රනිල් ධර්මසේන

වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා මාස 4 කට වරක්‌ නවක තරුණ තරුණියන්ගේ නාමලේඛනයක්‌ සෑදීම සඳහා රජයට යෝජනා කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පවතින නීතියට අනුව ඡන්ද හිමි නාමලේඛනයක්‌ සකස්‌ කෙරෙන්නේ වසරකට වරක්‌ බැවින් හදිසියේ ඒ අතරතුර මැතිවරණයක්‌ පැමිණියහොත් ඒ වන විට වයස සම්පූර්ණ වූ නාම ලේඛනයට නම ඇතුළත් නොවූ තරුණ තරුණියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්‌ථාව අහිමි වන බව ද මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී දේශප්‍රිය මහතා කීය.

මේ පිළිබඳව වහාම මැදිහත් වී කඩිනම් විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලා යෞවන සමාජවල තරුණ තරුණියන් ලක්‍ෂ දෙකකට අධික පිරිසකගේ අත්සනින් යුතු පෙත්සමක්‌ දැනටමත් ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමැති වෙත භාර දී ඇති බව ද සභාපතිවරයා කියා සිටියේය.

මැතිවරණ කොමිසම ද තරුණ තරුණියන්ට ඡන්ද බලය ලබාදීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.