දැන් යුද සමයටත් වඩා අන්තවාදීන් ඉන්නවා
ඒකාබද්ධය හදාගෙන මේකට නායකත්වය දෙන්නෙ හිටපු ජනාධිපතිවරයෙක්‌
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක

චමින්ද සිල්වා

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ගොඩනැඟීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හා යාන්ත්‍රණය පිළිබඳ ජනතාවගෙන් අදහස්‌ විමසීමට සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධක බළකායක්‌ පිහිටුවනු ලැබූවත් ඔවුන් ඉදිරිපත් කළ යුද අධිකරණ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (10 වැනිදා) පැවසුවාය.

එම බළකායට ජනතාවගේ අදහස්‌ ලබාගෙන ඒවා විග්‍රහ කරන ලෙසට දැනුම් දුන් බවත් ඔවුන් ඉන් ඔබ්බට ගොස්‌ නිර්දේශ පවා ඉදිරිපත් කර ඇතැයි ද හිටපු ජනාධිපතිනිය කියා සිටියේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කුමාරතුංග මහත්මිය මෙසේ ද කීවාය.

මේ බළකාය මම ආරම්භ කළ එකක්‌ නොවෙයි. කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතියෙන් ස්‌වාධීන විශේෂඥයන් 11 දෙනකුගෙන් යුක්‌තව ආරම්භ කළ කමිටුවක්‌. ඔවුන්ට පැවරී තිබුණේ යුද්ධය පැවැති කාලයේ සිදු වූ අත්දැකීම්. යුද අපරාධ වැනි සිද්ධීන්වල අදහස්‌ ගැනීමටයි. ඒ සඳහා ඔවුන්ව පත් කළේ. එහිදී ඔවුන්ට ඒ ගැන විග්‍රහයක්‌ ඉදිරිපත් කරන්න කිව්වත් නිර්දේශ ඉදිරිපත් කරන්න කිව්වේ නැහැ.

නමුත් ඔවුන් නිර්දේශත් ඉදිරිපත් කරල තියෙනවා. එම නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය බැඳිලා නැහැ. මෙම කමිටුව රජය පත්කළ නිසා එම බළකාය ලබාදී තිබෙන නිර්දේශ එකවර ඉවත දමන්නත් බැහැ. මේ කමිටුවේ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් ඉන්නේ. ඔවුන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශවල ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා අපි සැලකිල්ලට ගන්නවා. අනික්‌ ඒවා ඉවත් කරන්න සිදුවෙනවා. මේ ගැන අපි තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි.

අපි මේ වන විට ජාතික සංහිඳියාව ඇතිකරන්න වසර එකහමාරක කාලය තුළ වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කර තිබෙනවා. අපේ මුල්ම අරමුණ තමයි විශ්වවිද්‍යාල සිසුන් තුළින් මෙය ආරම්භ කිරීම. ඔවුන් අතර සංවාදයක්‌ ඇතිකර මිත්‍රත්වයක්‌ සහ සංහිඳියාව ඇතිකළ යුතුයි.

පසුගිය කාලයේ යාපනයේ හා රුහුණ විශ්වවිද්‍යාලවල නොයෙක්‌ ප්‍රශ්න ඇතිවුණා. මේවා ඇතිවන්නේ සිංහල, දෙමළ, මුස්‌ලිම් වෙන වෙනම පාසල්වලට ගිහින් විශ්වවිද්‍යාලවලට පැමිණි පසුවයි. ඒ නිසයි සංහිඳියාව ඇතිකරන්න විශ්වවිද්‍යාල තෝරා ගත්තේ. මේවාට විසඳුම් දෙන්න ආචාර්යවරුන් සමඟ වැඩමුළු පවත්වලා වැඩ කටයුතු ආරම්භ කරන්න සැලසුම් සකස්‌ කළා. උසස්‌ අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල ඊට ඇතුළත් වුණා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියන්නේ උසස්‌ මනසක්‌ තියෙන අය. මේ අයට රැකියා නැතිව පාරවල්වල ඉන්න කණ්‌ඩායම් බවට පත් නොකර සමාජය පිළිබඳව වැටහීමක්‌ දෙන්නයි අපිට අවශ්‍ය. මෙයින් පසු පාසල් පද්ධතියට මෙය ක්‍රියාත්මක කරනවා. යුද්ධය නැති නිසා මේවාට විසඳුම් ලබාදීම රජයේ වගකීමක්‌.

රටේ වැදගත්ම ප්‍රශ්නය තමයි ජාතික සමගිය ඇති කිරීම. එය ඇති කරන්න පුළුවන් නම් අනිත් දේවල් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල ඉන්න බුද්ධිමත් පිරිස එකතු කරල ඒ සඳහා නැඹුරු කරන්න අවශ්‍යයි.

මෙහිදී හිටපු ජනාධිපතිනියගෙන් මාධ්‍ය විමසූ ප්‍රශ්න කිහිපයකට ඇය ලබාදුන් පිළිතුරු මෙසේය.

මාධ්‍ය - ජාතික සංහිඳියාව විශ්වවිද්‍යාල තුළින් ඇති කරන්න කටයුතු කළත් ඒවාට එරෙහිව නොයෙක්‌ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ ශිෂ්‍ය සංගම් ජාතිවාදී අදහස්‌ ගෙනියනවා නේද?

පිළිතුර - දේශපාලනය තමයි හැම තැනම ජාතිවාදය පතුරවන්නේ. දැන් සමහර සංඝයා වහන්සේත් මේකට එකතු වී සිටිනවා. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහෙම නොකරපු අයෙක්‌. ඒකයි අපි ඔහුට සහාය ලබාදුන්නේ. රටේ බහුතර ජනතාව මේවා තේරුම්ගෙන ඔවුන් ප්‍රතික්‌ෂේප කළොත් මේකට විසඳුමක්‌ ලැබේවි.

මාධ්‍ය ( යුද්ධය උතුරෙන් පරාජය නොකළානම් රටේ සංහිඳියාව ඇතිකරන්න පුළුවන් වෙයිද?

පිළිතුර ( මම පාලනය කළ කාලයේත් යුද්ධය තිබුණට ජාතික සංහිඳියාව ඇති කරන්න කටයුතු කළා. සුදු නෙළුම් ව්‍යාපාරය ආරම්භ කළා. එම වකවානුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උපයෝගී කරගෙන සමීක්‌ෂණයක්‌ කළා. එහිදී යුද්ධය නවත්වලා දේශපාලන විසඳුමක්‌ අවශ්‍යයි කිව්වේ සිංහල ජනතාවගෙන් සීයට විසිතුනයි. නමුත් සුදු නෙළුම් ව්‍යාපාරය ක්‍රියාත්මක කරල වසර දෙකකට පසුව එම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව උපයෝගී කරගෙන සමීක්‌ෂණයක්‌ කළා. එහිදී සිංහල ජනතාවගෙන් සීයට හැටඅටක්‌ යුද්ධය අවශ්‍ය නැහැ කියන මතයේ සිටියා.

දැන් එදාටත් වඩා අන්තවාදීන් ඉන්නවා. ඒකාබද්ධයක්‌ හදාගෙන මේක කරනවා. මේකට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපතිවරයෙක්‌.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එස්‌. ජයසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරුන් සමග විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් කිහිප දෙනෙකු සහභාගී වී සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.