වෙනත් නඩුවකට රිමාන්ඩ් සිටින නිසා
සරත් කුමාර ගුණරත්නට එරෙහි
නඩුවක තීන්දුව දීම කල්යයි


මීගමුව සමූහ - විමල් කීර්ති

මීගමුවේදී එ.ජා.පක්‍ෂ ආධාරකරුවකු තම වාහනයට යටකොට ඝාතනය කරන ලදැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාට එරෙහිව පැවති මූලික මහෙස්‌ත්‍රාත් විභාගය නිමකොට එහි තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 10 වැනි දිනයට යෙදී තිබුණත් වෙනත් අපරාධ නඩුවක්‌ සම්බන්ධයෙන් ඒ මහතා රිමාන්ඩ් භාරයේ පසුවන බවට අධිකරණය වෙත කළ දැනුම්දීම මත එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවල මහතා විසින් ජනවාරි මස 26 වැනි දින දක්‌වා (10 දා) කල් තැබීය.

2001 වසරේ මීගමුව තිල්ලන්දුව මංසන්ධිය අසල පැවැත්වූ එ.ජා.පක්‍ෂ රැලියකට නුදුරේදී සිදුවූ බව කියන අනතුරෙන් එ.ජා.පක්‍ෂ ආධාරකරුවකුව සිටි සීදුව ඕපාත පදිංචිව සිටි කේ. සෝමචJද්‍ර රොවෙල් මහතා මරණයට පත් විය. මෙම අනතුර සිතා මතා කළ අනතුරක්‌ බවට ඉදිරිපත් වූ බව කියන කරුණු මත එය මිනීමැරුමක්‌ බවට චෝදනා කොට ඒ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා සහ තවත් අයකුට එරෙහිව මීගමුව පොලිසිය නඩු පවරන ලදී.

එම මිනීමැරුම සම්බන්ධයෙන් පැවති මූලික මහෙස්‌ත්‍රාත් විභාගයේදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන එම මිනීමැරීමේ චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා නිදොස්‌ කොට නිදහස්‌ කරන ලෙසට නීතිඥ සකුල ගුණතිලක මහතා සමග පෙනී සිටි විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් පී. කුමාරනායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙම නඩුව මහාධිකරණය වෙත යොමුකරන්නේ ද පිළිබඳව තීන්දුව දීම 10 දිනයට නියමිතව තිබිණි.

ඉදිරිපත් වූ කරුණු අනුව ජනවාරි මස 13 වැනි දින දක්‌වා කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නියමය මත රිමාන්ඩ් භාරයේ පසුවන සරත් කුමාර ගුණරත්න මහතා සම්බන්ධයෙන් (රිමාන්ඩ් භාරයේ සිටීම සම්බන්ධයෙන්) වාර්තාවක්‌ කැඳවීමට බන්ධනාගාරයට නියම කළ අධිකරණය වැඩිදුර විභාගය ජනවාරි මස 26 දින දක්‌වා කල් තැබීය. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ සකුල ගුණතිලක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක යන මහත්වරු පෙනී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.