මළ මිනී උඩින් දේශපාලනය කිරීම වැරදියි
ඉරේෂාගේ මරණය සම්බන්ධයෙන් ඕනෑම පරීක්‍ෂණයකට සූදානම්
මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බිමන්ත ගුණසේකර

ධර්මසේන වැලිපිටිය

මළ මිනී උඩින් දේශපාලනය කිරීම වැරදි බවත් ඉරේෂාගේ මරණය සම්බන්ධයෙන් ඕනෑම පරීක්‌ෂණයකට රෝහල් පරිපාලනය සූදානම් බවත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රේහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බිමන්ත ගුණසේකර මහතා මාධ්‍ය හමුවක්‌ අමතමින් පැවැසීය.

ඉරේෂාගේ මරණය සම්බන්ධයෙන් තම කනගාටුව හා ශෝකය ඇයගේ පවුලේ අය වෙත ප්‍රකාශ කරන බවත් එහෙත් මේ මරණයෙන් තම තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන දේශපාලන පක්‌ෂ හා වෘත්තීය සමිති වල හඬ තමන් බය නැති බවත් ගුණසේකර මහතා කීය.

නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහලේදී සිදුකරන ලද සැත්කමක්‌ අතරතුරදී ඉරේෂා ලක්‌මාලි ජීවන්දර නම් තරුණිය මියයැමත් ඒ සමඟම තම රෝහල් පරිපාලනයට එල්ල වූ බලපෑම් පිළිබඳවත් ඉරේෂාගේ මියයැම සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි පරීක්‌ෂණ පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. නොමිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහල් පරිශ්‍රයේදී පසුගියදසා පැවැති එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගුණසේකර මහතා මෙසේද කීය.

රෝගියා රෝහලට ඇතුළත් වූ දවසේ පටන් සියලු වාර්තා අපි ළඟ තිබෙනවා. ඒවා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. රෝගියාගේ බඩේ කුඩා ගැටිති කිහිපයක්‌ තිබුණා. ඒ සඳහායි සැත්කම කරනු ලැබුවේ. ඊට අමතරව රුධිරය වහනය වීමක්‌ද ඇයට තිබුණා. අපට එය පෙති දීලා නතර කරන්න තිබුණා. ඒත් එය තාවකාලිකයි. ඒ නිසා ඇයට අදාළ සැත්කම කළ යුතු බව තීරණය වුණා. ඊට අදාළ දේ අපි කළා. ඒත් සැත්කම අතරතුරදී රෝගියාගේ හෘද ස්‌පන්දනය, රුධිරගත ඔක්‌සිජන් අනුපාතය පහළ වැටුණා. එය ඊට වඩා පහළට ගියෙත් නැහැ. වැඩි වුණෙත් නැහැ. ඒත් රෝගියා ප්‍රකෘති තත්ත්වයට ආවේ නැහැ. ඒ නිසා සැත්කම නතර කළා.

පසුව රෝගියා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා. බඩ ස්‌කෑන් කළා. එක්‌ස්‌රේ කළා. එකෝ එකක්‌ කළා. කරන්න පුළුවන් හැම දෙයක්‌ම කළා. පසුව එදා සවස 4.00 වන විට රෝගියා ගැන පොඩි බලාපොරොත්තුවක්‌ ආවා.

මේ හැම අවස්‌ථාවකදීම අපි රෝගියාගේ ස්‌වාමි පුරුෂයා, සහෝදරිය දැනුවත් කළා. ඒ වෙලාවේදී ස්‌වාමි පුරුෂයාත්, සහෝදරයත් රෝගියාව බැලුවා. ඔවුන් හාමුදුරු නමක්‌ වැඩම කරවා තෙල් ගෑවා. පිරිත් නූල් බැන්දා. සවස 6.00 වන විට රෝගියාගේ තත්ත්වය තවත් හොඳ වුණා. ඒත් ඊට පැයකට පමණ පසුව රෝගියාගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණා. පසුවදා අලුයම 1.00 ට පමණ රෝගියාට ගොඩක්‌ම අමාරු වුණා. අලුයම 2.00 ට පමණ රෝගියා මරණයට පත්වුණා.

අපි ලෙඩ්ඩු මරන්න කියලා හිතාගෙන සැත්කම් කරන්නේ නැහැ. ඇත්තටම සැත්කමක්‌ අතරතුරදී රෝගියකු මියගියහොත් ඒ සැත්කම කළ වෛද්‍යවරයා සදාකල් ඒ පිළිබඳව විඳවනවා.

ඒ දොස්‌තරට තවත් අමුතුවෙන් දඬුවම් දෙන්න ඕන නැහැ. ඒත් මෙතන පිටස්‌තරයන්ට තිබෙන ප්‍රශ්නය රෝගියා මියයැම නොවේ. සයිටම් විරෝධය. මේ නැගෙන්නේ සයිටම් විරෝධී හඬ. ශිෂ්ට මිනිසුන් වී නම් මනුෂ්‍යයකුගේ හෝ සතෙකුගේ මරණයක්‌ වෙළෙඳ භාණ්‌ඩයක්‌ කර ගන්න හොඳ නැහැ. මේ මරණය දඩමීමා කරගෙන තමන්ගේ අරමුණු සාත්ෂාත් කර ගැනීමට දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති නගන හඬ තමයි මේ එන්නේ. ඒත් මළමිනී උඩින් තමන්ගේ අරමුණුවලට යැම පව් වැඩක්‌. පාරේ සතෙකු මැරිලා හිටියත් දුක්‌ වෙන අපි කොහොමද මනුෂ්‍ය ජීවිතයක්‌ නිරපරාදේ නැති කරන්නේ?

රෝගියා සැත්කම සඳහා පරීක්‍ෂා කර යෑව්වේ අවුරුදු 35 ක්‌ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇති අශෝක ද සිල්වා වෛද්‍යවරයායි. ඒ මහතා 1971 පටන් වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කර තිබෙනවා. ලංකාවේ කිසිදු පෞද්ගලික රෝහලක හැම විෂයක්‌ සම්බන්ධයෙන්ම ස්‌ථිර විශේෂඥ වෛද්‍යවරු නැහැ. ඒත් අපි ළඟ ඒ හැම ක්‌ෂේත්‍රයකටම අදාළ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ශල්‍යකර්ම සඳහා ස්‌ථිර ශල්‍ය වෛද්‍යවරු පස්‌ දෙනෙකු ඉන්නවා. නාරි හා ප්‍රසව වෛද්‍යවරු හතර දෙනකු ඉන්නවා. ඉන් එක්‌ අයෙක්‌ තමයි මේ සැත්කම සිදුකළේ.

රෝගියාගේ තත්ත්වය නරක අතට පත් වී අයිසීයූ එකට ඇතුළත් කිරීමටත් පෙර අපි හැම දෙනාම රෝගියා ළඟට ගියා. අවසානයේ වෛද්‍යවරුන් 15 දෙනකු පමණ රෝගියා ළඟ හිඳිමින් අවශ්‍ය ප්‍රතිකාර සිදුකළා. අපි අතපසුවීමක්‌ වීමට ඉඩදුන්නේ නැහැ.

ඒ වගේම රෝගියාට අවශ්‍ය වූ විටදී ලබාදීම සඳහා රුධිරය අපි තියාගත්තා. අපි ළඟ ඕනෑම වර්ගයක ලේ තිබෙනවා. අපේ ලේ බැංකුව තමයි පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු සිටින ලංකාවේ එකම ලේ බැංකුව. ඒත් මේ රෝගියාට සැත්කම කිරීමට පෙර ලේ දීමේ අවශ්‍යතාවක්‌ මතු වූයේ නැහැ. රෝගියාගේ හිමොග්ලොබින් අගය 9 ක්‌ ලෙස සටහන් වුණා. එය 5.6 ක්‌, 5.5 ක්‌ වැනි අගයකට අඩු වුණාම තමයි ලේ දෙන්න ඕන. ඇයට තිබුණු රුධිර වහනය නතර කිරීම සඳහා අපි ඉන්ජෙක්‌ෂන් එකක්‌ ලබා දුන්නා. ඒකෙන් රුධිරය යැම නතර වෙලා තිබුණා. ඒත් අයිසීයූ එකේදී අපි ඇයට අවශ්‍ය ලේ දුන්නා.

මේ මරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්‍ෂණයක්‌ අපි දැනටමත් සිදුකර තිබෙනවා. ඒ පරීක්‍ෂණ වාර්තාව සභාපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා. පරීක්‍ෂණය සඳහා සහභාගි වෙන්න කියලා රෝගියාගේ පාර්ශ්වයටත් අපි දැනුම් දුන්නා. පැමිණීමට නොහැකි නම් ලිතව ඒ පිළිබඳව කරුණු දක්‌වන්න කියලා අපි දැනුම් දුන්නා. ඒත් ඒ සම්බන්ධයෙන් ඔවුන් අපට කිසිදු දැනුවත් කිරීමක්‌ කර නැහැ.

රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ මූලිකත්වයෙන් මාද ඇතුළත්ව තුන් දෙනකුගෙන් යුත් කමිටුවක්‌ හමුවේ එම පරීක්‍ෂණය සිදුකළා. ඒ සඳහා සැත්කම සිදුකළ වෛද්‍යවරයා, නිර්වින්දන වෛද්‍යවරයා, වාට්‌ටුව භාර හෙද නිලධාරි, තාක්‍ෂණ නිලධාරියා කැඳවා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා.

එහිදී මාධ්‍ය නැගූ ප්‍රශ්න සහ ඊට නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - අපි කොහොමද මේ පරීක්‍ෂණය නිවැරැදියි කියන්නේ? මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්‌?

පිළිතුර - පරීක්‍ෂණය ඉතාමත් විනිවිදභාවයෙන් අපක්‍ෂපාතීව සිදුකළා. මේ පරීක්‍ෂණ වාර්තාව වැරදි නම් අපට දඬුවම් කරන්න. මෙය සියලු අංශ අතින් පරිපූර්ණ වාර්තාවක්‌. මේ වාර්තාව අරගෙන ජාත්‍යන්තර අධිකරණයට යන්න වුණත් මං සූදානම්. සියයට සියයක්‌ අපක්‍ෂපාතීවයි අපි මේ වාර්තා සකස්‌ කළේ.

ප්‍රශ්නය - රජයෙන් හෝ පෞද්ගලික රෝහල් නියාමන කොමිෂන් සභාවෙන් මේ මරණය පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වූවේ නැද්ද?

පිළිතුර - තවම ඒ ගැන අපිට නිල වශයෙන් දැනුම් දුන්නේ නැහැ. ඒ ඕනෑම පරීක්‍ෂණයකට අපි සූදානම්. ඊට අදාළ උපරිම සහයෝගයක්‌ අපි දෙනවා. පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කළ යුතු සියලු දේ අපි ළඟ තිබෙනවා. දේශපාලන පක්‍ෂවලින්වත් වෘත්තීය සමිතිවලින් වත් කරන පරීක්‍ෂණවලට නොවේ නිල ඕනෑම පරීක්‍ෂණයකට අපි සූදානම්.

හදිසි මරණ පරීක්‍ෂකවරයා කැඳවා පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය ආයතනය වෙත රෝගියාගේ සිරුර යොමු කළා. එහිදී හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්වූවා. මෘත දේහයේ සාම්පල් අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියා ලබාදුන් විවෘත තීන්දුවකින් පසු දේහය ඥතීන්ට ලබා දුන්නා.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන්ද අපේ රෝහලට මෙවැනි චෝදනාවක්‌ ආවා. එහිදී අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට ගියා ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කරන්න කියලා. අවසානයේදී තීන්දුවක්‌ ආවා මින් ඉදිරියට ඒ ගැන කිසිදු පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නැති බවට. එදා එසේ සත්‍යය ඔප්පු වුණා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.