යුනියන් ඇෂුවරන්ස්‌ සමාගමේ 'යුනියන් මනුෂ්‍යත්වය' ප්‍රජා සත්කාර සන්නාමය සිය මෙහෙවර තවදුරටත් පුළුල් කරයි



සිය ප්‍රජා සත්කාර සන්නාමය වන 'යුනියන් මනුෂ්‍යත්වය' සමගින් දිවයින පුරා සාර්ථක ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් රාශියක්‌ දියත් කිරීමට යුනියන් ඇෂුවරන්ස්‌ සමාගම මේ වනවිට සමත් වී තිබේ. 2016 වසර තුළ ක්‍රියාත්මක කළ මෙබඳු වැඩසටහන් සමගින් දහස්‌ ගණනක ජනතාවකගේ හෙට දවස වඩාත් යහපත් කිරීමට දායක වීමට සමාගමට හැකියාව ලැබිණි.

2016 වසර තුළදී කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ සහයෝගය සමගින් ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 57 ක්‌ මෙන්ම රට පුරා තැලසීමියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 60 කට වැඩි සංඛ්‍යාවක්‌ සහ දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 14 ක්‌ දියත් කිරීමට යුනියන් ඇෂුවරන්ස්‌ පියවර ගත්තේ ය.

ඩෙංගු රෝගය මුලිනුපුටා දැමීමට ජනතාව පෙළඹවීම සඳහා එම රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මෙන්ම එම දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මගපෙන්වීම අරමුණු කරගෙන යුනියන් ඇෂුවරන්ස්‌ විසින් දීපව්‍යාප්ත වැඩසටහන් රාශියක්‌ ක්‍රියාවට නංවන ලදී. මේ යටතේ ගෙයින් ගෙට ගොස්‌ ජනතාව දැනුවත් කිරීම, ශ්‍රමදාන වැඩසටහන් සහ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහන්ද සංවිධානය කෙරිණි. මීට සමගාමීව දිවයින පුරා එක්‌ දිනක්‌ තුළ ඩෙංගු මර්දන වැඩසටහන් 55 ක්‌ අති සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමාගමට හැකියාව ලැබීම විශේෂත්වයකි.

එමෙන්ම ලොව පුරාම වේගයෙන් පැතිර යන දියවැඩියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ජනතාවට ලබාදීම සඳහා වැඩසටහන් පෙළක්‌ සංවිධානය කිරීමට යුනියන් ඇෂුවරන්ස්‌ පියවර ගත්තේ ය. මෙම වැඩසටහන්වලදී දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම ඇති පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පරීක්‌ෂාවන් සිදුකරන ලද අතර රුධිරයේ සීනි මට්‌ටම පාලනය කරගැනීම සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම සඳහා අවශ්‍ය උපදෙස්‌ ඔවුන් වෙත ලබාදෙන ලදී.

බරපතළ රුධිරගත රෝගයක්‌ වන තැලසීමියා රෝගය පාලනය කිරීමේ මෙහෙවරටද යුනියන් ඇෂුවරන්ස්‌ සමාගම කලක පටන් උරදී සිටී. තැලසීමියාව යනු දැනුවත් වීම මගින් පහසුවෙන් වළක්‌වාගත හැකි රෝගී තත්වයකි. මෙබඳු දැනුවත් කිරීම් ඔස්‌සේ මෙරට තැලසීමියා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා දායක වීමට යුනියන් ඇෂුවරන්ස්‌ සමාගම සමත් වී ඇත.

"2016 වසර තුළ ක්‍රියාත්මක කළ ප්‍රජා සත්කාර වැඩසටහන්වලින් පැහැදිලි ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමට අපට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් 'යුනියන් මනුෂ්‍යත්වය' ප්‍රජා සත්කාර සන්නාමය හරහා කළ යුතු තවත් බොහෝ දෑ ඉතිරිව තිබෙනවා. ඉදිරියේදීත් ඒ සඳහා මෙලෙසම කැපවෙමින් සමාජය තුළ යහපත් වෙනසක්‌ ඇතිකිරීමට දායක වීම අපගේ ඉලක්‌කයයි. යුනියන් ඇෂුවරන්ස්‌ සමාගමේ අධ්‍යක්‌ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක්‌ පෙරෙයිරා මහතා පැවසී ය.

යුනියන් ඇෂුවරන්ස්‌ සමාගම මේ වනවිට යුනියන් මනුෂ්‍යත්වය සන්නාමය හරහා සමාජය වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක්‌ ඉටුකරමින් සිටිනවා. මේ ඔස්‌සේ ඉදිරියේදීත් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පුළුල් දායකත්වයක්‌ ලබාදීමට සමාගමට හැකියාව ලැබෙන බව මට විශ්වාසයි. කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසී ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.