නිපෝන් පේන්ට්‌ AYDA 2016 සම්මාන උළෙලේදී තරුණ ගෘහනිර්මාණ හා අභ්‍යන්තර සැලසුම්කරණ ශිල්පීන් ඇගයේ



ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තීන්ත නිෂ්පාදන සමාගමක්‌ වන නිපෝන් පේන්ට්‌ සමාගම සංවිධානය කළ Asia Young
DesignerAward (AYDA) සම්මාන උළෙල පසුගියදා වෝටර්ස්‌ එඡ් හෝටලයේදී පැවැත්විණි. මෙහිදී ජයග්‍රහණය ලැබූ තරුණ ගෘහනිර්මාණ ශිල්පියෙකුට සහ අභ්‍යන්තර සැලසුම්කරණ ශිල්පියෙකුට රු. ලක්‌ෂය බැගින් පිරිනමන ලද අතර ඔවුන්ට 2017 මාර්තු මාසයේදී ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ විශේෂ පුහුණුවක්‌ ලැබීම සඳහා සියලු වියදම් පියවූ චාරිකාවක්‌ පිරිනැමීමට නිපෝන් පේන්ට්‌ සමාගම කටයුතු කළේ ය. ආසියානු කලාපයේ අවසන් වටයට තේරුණු තරගකරුවන් 28 දෙනෙකු අතරින් City School of Architecture (CSA) හි ප්‍රදීපන් කලෙයිඉසන් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ චන්දිම ගවරම්මන යන සිසුහු මෙම අවස්‌ථාව උදාකර ගත්හ.

2008 වසරේදී ආරම්භ කරන ලද Asia Young Designer Award සම්මාන උළෙලේ අරමුණ වන්නේ තරුණ ගෘහනිර්මාණ හා අභ්‍යන්තර සැලසුම්කරණ ශිල්පීන් තුළ නිර්මාණශීලීත්වය අවදි කරවීමයි. මෙහි 2016 තරගාවලියේ ශ්‍රී ලංකා අදියර ‘Be Bold, Be Free, Be You’ යන තේමාව යටතේ පවත්වන ලද අතර මෙය එම ශිල්පීන්ට වටිනා කරුණු රැසක්‌ ඉගෙන ගැනීමට මෙන්ම සිය දක්‌ෂතා වෙනුවෙන් ඇගයීමට ලක්‌වෙමින් ජාත්‍යන්තර පුහුණුවක්‌ද ලැබීමට හිමිවූ දුර්ලභ අවස්‌ථාවක්‌ විය.

සම්මාන උළෙලේදී අදහස්‌ දැක්‌වූ නිපෝන් පේන්ට්‌ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ රාජා හේවාබෝවල මහතා ශ්‍රී ලංකාව තුළ AYDA 2016 සම්මාන උළෙල පැවැත්වීම සඳහා ලබාදුන් නොමඳ සහයෝගය වෙනුවෙන් මෙරට ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයට සිය කෘතඥතාව පළකළේ ය.

තරගය ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ අධීක්‌ෂණය යටතේ පැවැත්වුණු අතර විවිධ කාණ්‌ඩ යටතේ ජයග්‍රාහකයන් තේරීමද එම ආයතනය විසින් සිදුකරන ලදී. තරගය මූලික වශයෙන් ගෘහ නිර්මාණ ශිල්ප උපාධියේ තුන්වැනි සහ හතරවැනි වසර සිසුන් සඳහා විවෘත වූ අතර අභ්‍යන්තර අලංකරණ උපාධියේ දෙවන සහ තුන්වන වසරවල සිසුන්ටද තරගවැදීම සඳහා අවස්‌ථාව සලසා දෙන ලදී. කාණ්‌ඩ දෙකේ ජයග්‍රාහකයන්ට Gold, Silver, Best Colour සහ Green Innovation යන සම්මාන පිරිනැමිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.