ජනතා පැතුම
මොරගහකන්ද


මොරගහකන්ද මහා ජලාශයේ මංගල දියවර රැඳවුම් මංගල්‍යය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ඊයේ ආරම්භ කෙරිණි. මොරගහකන්ද ජලාශය යනු පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක විශාල ජලාශයකිs. මෙම ව්‍යාපෘතිය හරහා මාතලේ කුරුණෑගල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්‌ත්‍රික්‌කයන්හි කෙත්බිම් අක්‌කර දහස්‌ ගණනකට ජලය සැපයෙන අතරම උතුරු මැද ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමටද හැකිවේ. වකුගඩු රෝගය වේගයෙන් ව්‍යාප්ත වන සමයක මෙවන් ජල ව්‍යාපෘති ඉදිකිරීම හරහා අනුරාධපුර, පොළොන්නරුව වැනි දිස්‌ත්‍රික්‌කවල ජනතාවට පානීය ජල පහසුකම් ඇති කිරීම මහා පුණ්‍යකර්මයක්‌ බව සටහන් කළ යුතුය.

මොරගහකන්ද මහා ව්‍යාපෘතියේ මූලිකයා වන්නේ ජනපතිවරයාය. රජරට ජනතාවගේ කඳුළු පිස දැමීමේ අරමුණින් එතුමා මේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව පැහැදිලිය. 2015 ජනවාරි 08 වැනිදා ජනපති පුටුqවට පත්වූ විගසම එතුමා මොරගහකන්ද ව්‍යාපෘතියේ කටයුතු වේගවත් කරන්නට කැපවිණි. මෛත්‍රිපාල සිරිසේන මහතා 1989 දී විපක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ අවස්‌ථාවේ සිට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් හඬනැඟුවේ එය රජරට ජනතාවට සුබසෙත සලසන මහා කටයුත්තක්‌ බව හොඳින්ම දන්නා නිසාය. මෙම ව්‍යාපෘතිය හරහා මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්‌ත්‍රික්‌කවලට හෙක්‌ටයාර 82000 ක්‌ වගා කිරීමට ජලය හිමිවේ. එමෙන්ම මහකනදරාව, මිහින්තලය, කැබිලිතිගොල්ලෑව දක්‌වා වාරි ජලය සැපයෙන අතර ඒ හරහා වසරකට මෙටි්‍රක්‌ ටොන් තුන්දහසක මිරිදිය මත්ස්‍ය සම්පතක්‌ නෙළා ගැනීමට හැකිවීමද තවත් වාසියකි.

මෙම ව්‍යාපෘතිය වසර 80 කට අධික කාලයක්‌ තිස්‌සේ කතාබහ කෙරුණ ද යථාර්ථයක්‌ වන්නේ වර්තමානයේදීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ගාමිණී දිසානායක මහතා මොරගහකන්ද ජලාශය ඉදිකිරීම වෙනුවෙන් කෝටි පන්දහසක්‌ වෙන් කර තිබිණි. එහෙත් වර්තමානයේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටි දොළොස්‌ දහසකි. මෙම ව්‍යාපෘතිය 2012 දී අවසන් කිරීමට නියමිතව තිබුණද දේශපාලන කඹ ඇදිලි නිසා එය ඇනහිටිණි. නමුත් 2015 ජනවාරි 08 පසු මෙහි කටයුතු සක්‍රීය වීම නිසා 2018 දී රජරට ජනතාවට මහත් ශක්‌තියක්‌ අත් කරන මොරගහකන්ද ව්‍යාපෘතිය ජනසතු වනු ඇත.

"අපේ තාත්තලා වතුරවලට රණ්‌ඩු වෙනවා මම දැකලා තියෙනවා. වතුරවලට මිනිස්‌සු ගහමරා ගන්නවා දැකලා තියෙනවා. වතුර ඉල්ලලා මිනිස්‌සු පෙළපාලි යනව මම දැකල තියෙනවා. ඒ නිසා පුංචි කාලයේදී ම මම හිතාගත්තා මේ ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕනෑ කියල. ඒකට විසඳුම තමයි මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය. ජීවිතේ කවදා හරි මේ ව්‍යාපෘතිය ඉටු කරනවා කියලා මං හිතාගෙන හිටියේ" යෑයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2016 ජුනි මස 25 වැනිදා 'දිවයින' පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. මේ ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම ඔහුගේ පරම අභිලාෂය බැව් මෙයින්ම හැඟී යයි. සැබවින්ම මෙය නූතන වාරි විප්ලවයකි. මහවැලි ව්‍යාපාරය හරහා ගාමිණී දිසානායක මහතා කළ විප්ලවයම මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා වත්මන් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇත.

මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා අලුතින් නව නගර හා ජනාවාස ඇති වේ. එයින් සෙත සැලසෙන්නේ මෙරට දූ පුතුන්ටය. එය ජනතාවගේ සිහින සැබෑ කිරීමකි. මෙය සැබවින්ම ගොවි පුතුන් රජ කරවන කටයුත්තකි. අවසානයේ මේ හරහා ජාතියටම සෙත සැලසෙන බව සටහන් කරනුයේ සතුටිනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.