වසරේ මුල් දින 10 ට
ඩෙංගු රෝගීහු 1000 ක්‌


ඒමන්ති මාරඹේ

මෙම මස ගතවූ මුල් දින දහය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1000 ක්‌ දෙනා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.මෙම රෝගීන්ගෙන් වැඩි දෙනකු වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, යාපනය, මහනුවර යන ප්‍රදේශවලිනි.

කෙසේ වුවද වසංගත රෝග ඒකකය විසින් සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ මෙම මස මෙතෙක්‌ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 552 ක්‌ වශයෙනි.

ඉකුත් වසරේදී ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්‌ථානවලින් සියයට 22 ක්‌ පාසල් පද්ධතියෙන් සොයා ගැනීම නිසා දිවයින පුරා පිහිටි පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්‌ඩව සිදු කරන ලෙසත් මෙම වසරේදී තවදුරටත් ඩෙංගු මදුරු මර්දන වැසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත උපදෙස්‌ දී තිබේ.

ඉකුත් වසර තුළදී (2016) ඩෙංගු මදුරු කීටයින් බෝවී තිබූ පාසැල් 81 කට හා පෞද්ගලික ආයතන 713 කට එරෙහිව නඩු පැවැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩෙංගුවලින් තොර පාසල් හා අධ්‍යාපන ආයතන පරිශ්‍ර පවත්වාගෙන යැම පිළිබඳව විශේෂ චක්‍රලේඛයක්‌ සියලු විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබේ.

ඩෙංගු මදුරු කීටයින් බෝවන අයුරින් තම පරිශ්‍රයන් පවත්වාගෙන යනු ලබන්නන්ට එරෙහිව මෙතෙක්‌ ක්‍රියාත්මක නීතිරීති වෙනස්‌ කිරීමටද දඩ මුදල් සංශෝධනයටද ඇමැතිවරයාගේ අවධානය යොමුවී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.