පෝදා සිතුවිලි
බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට
වැඩම කළ උතුම් දුරුතු පෝය


සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු බුදුරජාණන් වහන්සේ ලක්‌දිව මහියංගන ප්‍රදේශයට වැඩම කොට යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කොට ලක්‌වැසියන්ට පළමුවරට ධර්මය දේශනා කළ දුරුතු පුර පොහොය අදයි.පළමුවරට බුද්ධ පාද ස්‌පර්ශයෙන් ලංකාව පවිත්‍ර භූමියක්‌ වූ පොහොය ලෙස ද දුරුතු පුර පොහොය හැඳින් වේ.

වංශ කතා සාහිත්‍යය අනුව බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කොට පන්සියයක්‌ පිරිස සමඟ විසූ උරුවෙල කාශ්‍යප. තුන්සියයක්‌ පිරිස සමඟ විසූ නදී කාශ්‍යප, දෙසීයක්‌ පිරිස සමඟ විසූ ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල පිරිස දමනය කළහ. ලංකාවේ මහියංගන ප්‍රදේශයේ යක්‍ෂ ගෝත්‍රික පිරිසකගෙන් මිනිසුන්ට මහත් විපතක්‌ සිදු වීමට යන බව එහිදී බුදුරදුන්ගේ දිවැසට යොමු විය. එම මොහොතේම බුදුරදුන් සෘද්ධි බලයෙන් ලංකාවේ මහවැලි ගං ඉවුරේ සොලොස්‌ ගව්වක්‌ දිග සතර ගව්වක්‌ පළල මහානාග උයන හෙවත් මහියංගන චෛත්‍යය පිහිටි ස්‌ථානයට වැඩම කළහ.

සවණක්‌ ගණ බුදුරැස්‌ මාලා හාත්පස විහිදුවමින් බුදුරදුන් අහසෙහි ඵලක්‌ මැද වැඩහුන්හ.

එය දුටු යක්‍ෂයෝ මවිතයට පත්වූහ. තම පිරිස බියෙන් මුදන මෙන් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ. පළමුවෙන් ඔවුන්ගේ බියෑදුරු කළ බුදුරදුන් පත්කඩ අතුරා වැඩහිඳ මහියංගන අවට ප්‍රදේශය ගින්නෙන් දිළිසෙන අයුරක්‌ මැවීය. ඒ දුටු යක්‍ෂයෝ බියට පත් වී හිස්‌ ලූලූ අත දුවන්නට වූහ. එහිදී බුදුරදුන් යක්‍ෂ ගෝත්‍රිකයන් "ගිරි දිවයින" නම් ප්‍රදේශයට පිටත්කර යවා මහියංගන ප්‍රදේශය මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ප්‍රදේශයක්‌ බවට පත් කළහ.

බුදුරදුන් එහි වූ මිනිසුන්ට ධර්මය දේශනා කළහ. සමන්ත කූඨ පර්වතයේ විසූ සුමන සමන් දෙවියන් ද එම ධර්මය අසා සෝවාන් ඵලයට පත්විය. බුදුරජාණන් වහන්සේ සිහිකොට වැඳුම් පිදුම් කිරීම සඳහා පාරිභෝගික වස්‌තුවක්‌ දෙන ලෙස සුමන සමන් දෙවියෝ උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. සම්බුදු සමිඳුන් තම හිස පිරිමැද කේශධාතු මිටක්‌ දුන්හ. එය රන් මංජුසාවකින් පිළිගත් එම දෙවියන් කේශ ධාතු නිධන් කොට සත්රියන් උස සෑයක්‌ ඉදි කළේය. පසුව රජවරු එය වරින්වර විශාල කොට බැන්ද වූ අතර ලංකාවේ මුලින්ම ඉදි වු මහියංගන චෛත්‍යය ලෙස අද පිළිගැනෙන්නේ එම සෑයයි.

දුරුතු පුර පොහෝ දිනම නැවත උරුවෙල් දනව්වට වැඩම කළ බුදුරදුන් තුන් බෑ ජටිලයන් ඇතුළු පිරිසට දම් දෙසා පැවිදි කළහ. ආදින්න පරියාය සූත්‍රය දේශනා කිරීමෙන් පසු එම භික්‍ෂු පිරිස අර්හත් ඵලයට පත්වූහ. දහසකට අධික ජටිල භික්‍ෂු පිරිස සමඟ බුදුරදුන් මගධ රාජ්‍යයේ බිම්බිසාර රාජමාලිගය බලා වැඩම වන්නට වූහ. ඒ බුදුරදුන් බිම්බිසාර රජුට පෙර වූ පොරොන්දුවක්‌ පරිදිය. ජටිල පිරිස බුදුරදුන්ගේ ශ්‍රාවකයන් බවට පත් වී සිටිනු දුටු රජු මවිතයට පත්විය. බුදුරදුන්ගේ අවසරය ඇතිව උරුවේල කාශ්‍යප තෙරුන් ප්‍රාතිභාර්ය පා තමා ඇතුළු සියලු පිරිස බුදුරදුන්ගේ ශ්‍රාවකයන් බව පැවසූහ.

බුදුරජාණන් වහන්සේ රාජ මාලිගාවේදී රජු ඇතුළු පිරිසට දම් දෙසුහ. ඒ අසා රජු ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත් වූහ. බිම්බිසාර රජු බුදුරදුන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලාට වැඩ සිටීම සඳහා තම වේළුවනාරාමය පූජා කළේය. එය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙස හැඳින්වේ.

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති සූරිය වැව ජාතික පාසලේ ආචාර්ය බොදු සංරක්‍ෂණ සභාවේ සභාපති විතාරන්දෙණියේ වජිර හිමි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.