මහා වංශයේ නව මුද්‍රණය හෙට එළිදකී

ජෝර්ඡ් ටර්නර් විසින් පරිවර්තනය කරන ලද මහා වංශයේ නවතම මුද්‍රණය, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (හෙට) 13 වැනිදා ගාල්ල කොටුවේ වරාය අධිකාරියට අයත් සංචාරක බංගලාවේදී සවස 5.00 ට එළිදැක්‌වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව සිදුවන මෙම වැඩසටහන, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනයන්ගේ මෙහෙයවීමෙන් ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගවේෂණය කළ හැකි සාහිත්‍ය ග්‍රන්ථයක්‌ ලෙස මහාවංශයට හිමිවන්නේ ප්‍රමුඛස්‌තානයකි. මහා විහාරික මහානාම තෙරණුවන් විසින් පාලි බසින් ලියූ මෙම ග්‍රන්ථයේ පිටපත ශ්‍රී ලංකාවේ සිවිල් සේවයේ නියුතු නිලධාරියකු සහ ඉතිහාසඥයකුවූ ජෝර්ඡ් ටර්නර් විසින් 1827 වර්ෂයේ දී මුල්කිරිගල විහාරයේදී සොයා ගන්නට විය. ඒ අනුව ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේදී ලියෑවුණු මහාවංශ 19 වන සියවසේදී ප්‍රථම ඉංග්‍රීසි පිටපතෙහි පරිවර්තනය, ජෝaර්ඡ් ටර්නර් විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

සියවස්‌ විසිහතරක පමණ අඛණඩ ඉතිහාසයක්‌ ඇතුළත් මෙම ඓතිහාසික සංස්‌කෘතික උරුම ග්‍රන්ථය ඇසුරෙහි, ශ්‍රී ලාංකේය රජවරුන්ගේ රාජ්‍ය කාලවලට සම්බන්ධ අඛන්ඩ ඉතිහාසයක්‌ ගොඩනැගිය හැකිය. ශ්‍රී ලාංකේය අභිමානය පුනරාවර්ජනය කරමින් සිදුවන මෙම ඓතිහාසික අවස්‌ථාව මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.