සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනයට
සරසවියට නව විෂය මාලාවක්‌


චමින්ද සිල්වා

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා සාමය ගොඩනැඟීම, ගැටුම් නිරාකරණය සහ සංහිඳියාව යන විෂය කරුණු ඇතුළත් විෂය මාලාවක්‌ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට හඳුන්වා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා (10 වැනිදා) ප්‍රකාශ කළේය.

උසස්‌ අධ්‍යාපනය තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකාබද්ධව දියත් කරන ජාතික සැලැස්‌ම එළිදැක්‌වීම සඳහා (10 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මොහාන් ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන යටතේ තෝරාගත් විශ්වවිද්‍යාල 16 ක්‌ සහ උසස්‌ අධ්‍යාපන ආයතන 18 ක්‌ සමඟ වසරක කාලයක්‌ පුරා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ විවිධ ක්‍රියාකාරකම්, වැඩසටහන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන දියත් කරන බව ද ඔහු කීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට මහා සංඝරත්නය සමඟ සාමය හා සංහිඳියා කාර්යාංශයේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, මෙම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එස්‌. ජයසිංහ යන මහත්ම මහත්මීහු ද විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ උසස්‌ අධ්‍යාපන ආයතනවල ප්‍රධානීහු ද සහභාගි වූහ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.