රජරට පශ්චාත් පාඨමාලා ප්‍රමාදයෙන්
උපාධිධාරීහු අමාරුවේ

කරුණාරත්න ගමගේ

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්‌ත්‍ර පීඨයේපශ්චාත් උපාධි පාඨමාලා පටන් ගැනීම තවදුරටත් ප්‍රමාද වීමෙන් එහි ආදි විද්‍යාර්ථීන්ට හා ප්‍රදේශයේ ශාස්‌ත්‍රවේදී උපාධි හදාරා ඇති විශාල පිරිසකට බලවත් අසාධාරණයක්‌ සිදු වී ඇතැයි ඔවුහු පවසති.

එම විශ්වවිද්‍යාලයේ මුල්ම විද්‍යාර්ථීන් 1999 වසරේ දී පිටව ගිය අතර ඉතා කඩිනමින් සමාජ විද්‍යා හා මානව ශාස්‌ත්‍ර පීඨයේ ශාස්‌ත්‍රපති උපාධි පාඨමාලා ආරම්භ කිරීමට එවකට අපේක්‌ෂා කළත් මේ දක්‌වා ගතවූ වසර 17 තුළ එම කාර්යය ආරම්භ කිරීමට බලධාරීන් අසමත්ව තිබේ.

එම යුගයේ මහාචාර්යවරුන්ගේ හිඟයක්‌ හා පහසුකම් අඩුවක්‌ පැවැතියත් මේ වන විට එම සරසවියට රජය විශාල අනුග්‍රහයක්‌ දක්‌වා පහසුකම් පුළුල් කර තිබේ. මෙම විශ්වවිද්‍යාලයේ පශ්චාත් පාඨමාලා හැදෑරීමේ බලාපොරොත්තුවෙන් සිටි කුරුණෑගල, අනුරාධපුර පොලොන්නරුව, වව්නියාව හා ත්‍රිකුණාමලය ආදි දිසාවල පිරිස වයස්‌ගත වෙමින් අධ්‍යාපන අවස්‌ථාව ගිලිහෙමින් පැවැතීම ඔවුන්ට බලවත් කණස්‌සල්ලක්‌ වී තිබේ. මේ අතර ගුරුවරුන්, කලාකරුවන් හා රජයේ සේවයේ විවිධ අංශ වල නිලධාරීන් ද 2017 වසරේ දී අනිවාර්යයෙන්ම මෙම පාඨමාලා පටන්ගනු ඇතැයි අපේක්‌ෂා කළ නමුත් පාලන අධිකාරිය මේ දක්‌වා සූදානමක්‌ නොමැති බව දැනගැනීමෙන් ඔවුන් අවුලට පත්ව සිටී.

පුරාවිද්‍යාව, දේශපාලන විද්‍යාව, තොරතුරු තාක්‌ෂණය, ජනසන්නිවේදනය ආදි වර්තමානයේ වැඩි වටිනාකමක්‌ ඇති විෂයයන් ඔස්‌සේ ඉදිරියට යැමට අපේක්‌ෂා කරන දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මේ අතර වේ. මෙම අයට කැලණිය හෝ අගනුවර වෙනත් සරසවිවලට යැම දුෂ්කර බැවින් රජරට සරසවිය මිහින්තලේ ස්‌ථාපිත කිරීමේ පරමාර්ථයක්‌ ලෙස මේ සේවාව ලබාදෙන ලෙස මෙම උගතුන් රජයෙන් ඉල්ලා සිටී. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ විශාල පිරිසක්‌ මේ අතර සිටින බවත් වර්තමානයේ වේගවත් තොරතුරු සන්නිවේදන සමාජයක තම යල්පැන යන දැනුම අලුත්කර ගැනීමටත් තමන්ට අගනුවර අයට මෙන් සමාජයේ ඉදිරියට යැමට මෙම පසුගාමීත්වය මහත් බාධාවක්‌ බව පොලොන්නරු දිස්‌ත්‍රික්‌කයේ සිටින සිය ගණනක්‌ පාසල් ගුරුවරු ප්‍රකාශ කරති. එමෙන්ම උතුරු මැද පළාතේ සිටින පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් හා ජනමාධ්‍ය විෂය උගන්වන පාසල් ගුරුවරුන් අනෙක්‌ පළාත්වල සිටින තම සමකාලීන උගතුන්ට ඇති අවස්‌ථා තමන්ට ප්‍රදේශයේ සරසවියක්‌ තිබියදීත් නොලැබෙන බව කියති. රජරට විශ්වවිද්‍යාලයේ එකම කාලයක ඇරඹුණු කළමනාකරන පිඨය මේ වන විට වසර 10 ක පමණ කාලයක්‌ තිස්‌සේ පශ්චාත් උපාධි පාඨමාලා පවත්වමින් පළාතේ සිටින උගතුන්ට හා සේවයේ නියුතු වෘත්තිකයන්ට අවස්‌ථාව සලසා දී තිබේ. එම වෘත්තීන්හි නියෑළි අයට අදාළ විභාග සමත්ව වෘත්තීන්ගේ ඉහළට යැමටද දැන් අවකාශ හිමි වී ඇතත් මෙම පීඨයේ පසුගාමීත්වය නිසා තමන්ට අසාධාරණයක්‌ වූ බව මෙම පිරිස කියති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.