අධිවේගී මාර්ග කොටසක්‌ සෑදීමට
දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දුන්නේ නව රජයයි

- මහාමර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල


චමින්ද සිල්වා

ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිවේගී මාර්ග කොටසක්‌ සෑදීමට දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දුන්නේ නව රජය යෑයි උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 06 වැනිදා නුවර, දොඩම්වල, හල්ලොලුව පාලම විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මේ යහපාලන රජය දේශීය කොන්ත්‍රාත්කරුවන් ගැන පූර්ණ විශ්වාසය තියලා මේ මීරිගම සිට කුරුණෑගල දක්‌වා කොටස හදන්න භාරදීලා තිබෙනවා. එම කොටස තව මාසයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ අපි වැඩ ආරම්භ කරනවා. එතන ඉඳලා ගලගෙදර කොටස ජපන් සමාගමක්‌ සමඟ සාකච්ඡා කරලා අපි ඒ අයට ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම මහනුවර නගරයේ තදබදය අවම කරන්න නව උමං මාර්ගයක්‌ හදනවා. එය ගැටඹේ සිට තැන්නකුඹුර දක්‌වා ඉදිකරන්න කොරියන් සමාගමක්‌ සමඟ සාකච්ඡා කරලා අවසන්. මෙය අපි අවුරුදු දෙකක්‌ ඇතුළත අවසන් කරනවා. බෝගම්බර බන්ධනාගාරයට අයත් අක්‌කර 10 ක භූමිය මහනුවර ජනතාවට අවශ්‍ය පරිදි සංවර්ධනය කරන්න ජපන් රජය සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්නවා. අපි මේ දිස්‌ත්‍රික්‌ක විජයග්‍රහණය කරපු නිසා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සමඟ මේ සංවර්ධන කටයුතු අපි මහනුවර ආරම්භ කරනවා.

මෙම අවස්‌ථාවට අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥනරතන මහානායක නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු සහ අස්‌ගිරි උභය පාර්ශ්වීය අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය සහ කිතුනු ඉස්‌ලාම් හින්දු ආගමික පූජක හිමිවරුන්ද, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, තැපැල් කටයුතු හා ඉස්‌ලාම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඇතුළු මහනුවර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.