පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම්
ප්‍රතිචාර සංසද පිහිටුවීමට පියවර


ශ්‍යාම් නුවන් ගනේවත්ත

පාසල් පරිගණක ආරක්‌ක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද (EDUCSIRT) පිහිටුවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය පවසයි .

පාසල් සිසුන් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මුහුණදෙන අහිතකර තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමත් එසේම යම් ගැටලුකාරී අවස්‌ථාවකට මුහුණපෑමට සිදුවුවහොත් එය වඩාත් ක්‍රමානුකූලව විසඳා ගැනීමට මඟ පෙන්වීමත් මෙහි අරමුණ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ ශාඛාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පූර්ණ දායකත්වයෙන් ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය, එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදල යන ආයතනයන්හි සහභාගිත්වයෙන් ක්‍රියාවට නංවා ඇත.

දීපව්‍යාප්ත ලෙස මෙය ව්‍යාප්ත කිරීමේ අරමුණින් අධ්‍යාපන කලාප මට්‌ටමින් ගුරුවරුන් දහසක්‌ පුහුණු කිරීම ආරම්භ කර ඇත. මේ වන විට ගුරුවරුන් සියයකට පමණ පුහුණුව ලබාදී අවසන් කර තිබේ. මෙම සියලු පුහුණුවීම් කටයුතු මෙම වසර තුළදී අවසන් කිරීමට නියමිතය.

සෑම පාසලකම පරිගණක ආරක්‌ෂණය පිළිබඳද දැනුමක්‌ ඇති පිරිස්‌ සම්පත් දායකයින් ලෙස තෝරාගෙන මෙම පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන දියත් කෙරේ.

මෙම පාසල් පරිගණක ආරක්‌ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්‌ඩායම් ඉදිරියේදී පාසල් මට්‌ටමින් ස්‌ථාපිත කර තිබෙන තොරතුරු තාක්‌ෂණ ශිෂ්‍ය සමාජ සමග අනුගතවී කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඩිජිටල් අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළ ව්‍යාප්ත කිරීමට ක්‍රියාත්මක ජාතික මට්‌ටමේ වැඩපිළිවෙලේ මෙය තවත් අදියරකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.