උසාවිය පොලිසියට නියෝග කරයි
එක්‌නැලිගොඩ නඩුව

බුද්ධි අංශ කඳවුරුවල තොරතුරු අස්‌ථානගත
වීමට වගකිව යුත්තේ කවුදැයි දැනුම් දෙන්න


ඔරුවල - සරත් ද සිල්වා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැර ගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ කඳවුරු සම්බන්ධව විමර්ශනයන්ට අවශ්‍ය තොරතුරු අස්‌ථානගතවී හෝ විනාශ වී නම් එයට වගකිව යුත්තෝ කවුරුන්ද? යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස හෝමාගම මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා පොලිසියට නියෝග කළේය.

මෙම නඩුව හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 10 දින විභාගයට ගනුණුq අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත් වරයා එලෙස නියෝග කළේය. මෙම නඩුවට අදාළ සැකකාර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නම දෙනාම මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙහිදී නඩුවේ පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ මෙම නඩුවට අදාළ වැඩිදුර වාර්තා ගොනුකළ අතර එහිදී පවසා සිටියේ තමන්ට මෙහිදී අවශ්‍ය තොරතුරු යුද හමුදාව ලබා නොදෙන හේතුවෙන් විමර්ශන අවසන් කර ගැනීමට කල් ගත වන බවයි. බොහෝ තොරතුරු නිශ්චිතවම මෙතෙක්‌ ලබාදී නොමැති බවයි.

තවදුරටත් මෙම සැකකාර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විමර්ශන සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහයවන ලෙසත් සැකකරුවන්ට මහෙස්‌ත්‍රාත් වරයා අවවාද කළේය.

හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‌ෂ ටී සලේවර් මහතා තවදුරටත් එම තනතුරෙහි නොමැති හෙයින් පෞද්ගලිකව මෙදින නඩුවට පෙනී නොසිටි අතර තොරතුරු ලබා නොදෙන ඒවාට වගකිව යුත්තෝ කවුරුන්ද යන්න අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසිය දැනුවත් කළ මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා මෙම නඩුව ලබන පෙබරවාරි 14 දින නැවන කැඳවන ලෙසත් සියලුම සැක කරුවන් එදිනට අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් ප්‍රකාශ කළේ ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.