ඓතිහාසික රුහුණු මාගම්පුරයේදී
මහා සංඝරත්නයේ ලේ සොලවමින්
ආණ්‌ඩුවේ දෙවර්ෂ පූර්ණය සැමරුවා

ඩලස්‌ අලහප්පෙරුම

අනුර බාලසූරිය

ඓතිහාසික රුහුණු මාගම්පුරයේදී මහා සංඝරත්නයේ ලේ සොලවමින් ආණ්‌ඩුවේ දෙවර්ෂ පූර්ණය සැමරූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (11 දා) පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

එමෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිතව පසුගියදා ඇති වූ සිදුවීම මුල සිට අවසානය දක්‌වා අනිමිසලෝචනයෙන් බලා සිටි ප්‍රබල තාක්‌ෂණික සාක්‌ෂිය වූ ගුවන් කැමරාවේ පටිගත වූ දර්ශන හැකි නම් රටට පෙන්වන ලෙස ආණ්‌ඩුවටත් මේ පිළිබඳව පරීක්‌ෂණ කරන පොලිසියටත් තමා අභියෝග කර සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඩලස්‌ අලහප්පෙරුම මහතා

හම්බන්තොට වරාය රටට අවාසිදායක කොන්දේසි යටතේ විජාතිකකරණය කිරීමට, අක්‌කර 15000 ක භූමිය විදේAශකරණය කිරීමට ආණ්‌ඩුව ගත් උත්සාහයට එරෙහිවයි. රටට ආදරය කරන ජනතාව සහ දේශපාලන පක්‌ෂ සංවිධානය පෙළ ගැසුණේ. අපිත් ඒ අර්ථයෙන්ම ඒ මිනිස්‌ දම්වැලට පුරකක්‌ ලෙස එකතු වුණා.

මෙය නතර කිරීම සඳහා ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්‌ථානය ලෙස අපි වෙනමම සංවිධානයක්‌ ගොඩනැඟුවා. මේ රටේ මිනිස්‌සු විවිධ අය මේ සම්බන්ධව උද්ඝෝෂණ පැවැත්වුවා. අපි වෙනම ගොස්‌ ෙත්‍රෙනිකායික මහානායක හිමිවරු බැහැ දැකලා, කාදිනල්තුමා හමුවෙලා මේ අවනඩුව කියා සිටියා. ඉන්පසු අපි තීරණය කළා. මේ සම්බන්ධව 7 වැනිදා උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට.

එහෙම තීරණය තිබියදී සිකුරාදා සවස්‌වරුවේ උද්ඝෝෂණයට එරෙහිව පුද්ගලයන් 23 කට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ ගෙන තිබුණා. එම අධිකරණ නියෝගය තිබියදී අගමැතිවරයා වලවේ පන්සලේදී හිටපු කථානායක චමල් රාජපක්‌ෂ, ඇමැති සාගල රත්නායක යන මහත්වරු සමඟ මහා සංඝරත්නය මුණගැසී ගිවිසුමක්‌ අත්සන් කරන්නේ නැති බව අගමැතිවරයා ප්‍රකාශ කරමින් ඔබ වහන්සේලා පිරිත් සඡ්ජානා කිරීමට එතනට වඩින ලෙසට අගමැතිවරයා ආරාධනා කළා. එතනදී අධිකරණ නියෝගය හාමුදුරුවෝ පෙන්නලා තිස්‌සමහාරාම මහානායක හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු 13 නමකට එරෙහිව අධිකරණ නියෝගයක්‌ නිකුත් කරලයි කියා දැනුවත් කළා. එතනදී අගමැතිවරයා කියනවා ඒක ප්‍රශ්නයක්‌ කරගන්න එපා. මම බලා ගන්නම්. සාමකාමී උද්ඝෝෂණයක්‌ කරන්න එතනට එන්නයි කියලා. අපේ අරමුණ වුණේ මහා සංඝරත්නය, ආගමික නායකයන් පෙරටු කරගත් සත්‍යග්‍රහයක්‌. 600 ට වැඩි මහා සංඝයා වහන්සේ වැඩියා. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක, ලේඛකාධිකාරි ඕමාරේ කස්‌සප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාමකාමීව ඉදිරියට ඇදුනු සංඝරත්නය ඇතුළු ජනතාව භූමියට ළං වන විට පොලිසියෙන් පාර වහලා යන්න දුන්නේ නෑ.

නමුත් ගමේ පාරවල් දන්න අය සමඟ අපි මහා සංඝරත්නය සමඟ ඉදිරියට යද්දී පොලිස්‌ ආරක්‌ෂාව සමඟ පොලිසිය පිටුපසින් හිටපු අනුරාධපුරෙන්, කොළඹින්, කුරුණෑගලින් ආනයනය කළ මැරයන් ගල් ප්‍රහාරයක්‌ එල්ල කළා. අගමැතිවරයා මහා සංඝයා වහන්සේට දීපු පොරොන්දුව මෙතනදී අමු අමුවේ උල්ලංඝනය කළා. මැරයන්ගේ පහර දීමත් සමඟ අගමැතිවරයා කෙරෙහි තබපු මහා සංඝරත්නයේ විශ්වාසය කඩ වුණා. ඒකට අපේ පැත්තේ හිටපු අයත් ප්‍රතික්‍රියා දක්‌වන්න ඇති. මැර ප්‍රහාරයත් සමඟ පොලිසිය ජල ප්‍රහාරයකුත් එල්ල කළා. අධිබලැති පීඩක පොම්පවලින් ජල ප්‍රහාර එල්ල කළා.

ඕමාරේ කස්‌සප හාමුදුරුවෝ සත්‍ය ක්‍රියාව සහිත ප්‍රකාශය කියවන්න හදන කොටමයි ජල ප්‍රහාරය එල්ල කළේ. අපි හාමුදුරුවන්ව වහාම ඒ භූමියෙන් ඉවත් කළා. නැවත මාතර හම්බන්තොට දෙපළාතේ අධිකරණ සංඝනායක හිමියන් මේක කියවන්න හදද්දීම හාමුදුරුවන්ටත් ජල ප්‍රහාර එල්ල කළා. හාමුදුරුවෝ හය නමක්‌ අත්අඩංගුවේ. හය නමකට බරපතළ තුවාල. අහිංසක මිනිස්‌සු හතළිස්‌ ගණනක්‌ අත්අඩංගුවේ. දේශපාලන නායකයෝ අත්අඩංගුවට ගන්න සැලසුම් කරනවා. පොලිස්‌පතිවරයා පරීක්‌ෂණ කරන්න කලින් අත්අඩංගුවට ගන්න ඕනේ කියා දේශපාලනඥයන්a නියෝග කරලා. ඒ අනුව දඩයමක්‌ ක්‍රියාත්මක වෙනවා.

මේ සියල්ල නිවැරදිව ආරම්භක තත්ත්පරයේ සිට අනිමිසලෝචනයෙන් දැකපු මාධ්‍ය ආයතනයක ෙඩ්‍රාaන කැමරාවක්‌ තිබුණා. ඒක බලහත්කාරයෙන් අරගෙන ගිහින්. නැවත දීලා තියෙන්නේ චිප් එක නැතිවයි. ප්‍රබලම තාක්‌ෂණික සාක්‌ෂිය ආණ්‌ඩුව අහිමි කරලා. පුළුවන් නම් පරීක්‌ෂණ පවත්වන අතරේ කැමරාවේ තිබුණු චිප් එක රටට පෙන්වන්නැයි අපි පොලිසියට ආණ්‌ඩුවට අභියෝග කරනවා. මාධ්‍ය ආයතන මේ සිද්ධියේ සැබෑ තොරතුරු ඉදිරිපත් කළේ නැති නම් ඒකාබද්ධ විපක්‌ෂයේ මැරයන් පිරිසක්‌ මේ රාජ්‍ය උත්සවය කඩාකප්පල් කරන්න ගිය නිසා පොලිසිය පහර දුන්නා වෙනවා. ඒකාධිපති මාධ්‍ය හඬ රටට සන්නිවේදනය වීම වැළැක්‌වීම ගැන අපි මාධ්‍ය ආයතවලට ස්‌තුති කරනවා.

එදා උදේ 8.30 හම්බන්තොට නගරය මධ්‍යයේ පොලිස්‌ මාර්ග බාධකයේදී රාජ්‍ය ඇමැතිවරයෙක්‌ ඇතු=ළු කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගත්තා තුවක්‌කු, පොලු, පිහි එක්‌ක. ප්‍රබලයෙක්‌ ඇවිත් ඔවුන්ව මුදා ගෙන ගියා. මේක ටෙලි නාට්‍යයක්‌ වගේ. දැන් මහ රෑ 11 ට විතර පන්සල්වලට කඩා පනිනවා ප්‍රධාන හිමිවරු දඩයම් කරන්න. දැන් ඒකාබද්ධ විපක්‌ෂය සංවර්ධනයට, රක්‌ෂා දෙනවාට විරුද්ධයි කියලා චෝදනා කරනවා. අක්‌කර 15000 මනින්න ගත්තාම, ගිවිසුම අත්සන් කරනවා කිව්වම ඇති වුණු සැකය ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කරද්දී ජනාධිපතිතුමා කිව්වා කැබිනට්‌ අනුමැතියකින් තොරව එවැනි ගිවිසුමක්‌ අත්සන් කරන්නේ නැහැ කියා. ඒ ප්‍රවෘත්තිය මාධ්‍යයෙන් ප්‍රකාශ වන විට ඊළඟ ප්‍රවෘත්තිය වුණේ සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා මල්වතු හාමුදුරුවෝ එක්‌ක කියනවා අපි අනිවාර්යයෙන්ම ඒ අක්‌කර 15000 ගන්නවා කියන එක. ඊට පස්‌සේ ප්‍රවෘත්තිය අකිල විරාඡ් ඇමැතිවරයා කියනවා අපි ඒ ගිවිසුම අත්සන් කරලා ඉවරයි කියන එක. ඒත් එක්‌කම ඊළඟ ප්‍රවෘත්තිය ආණ්‌ඩුවේ කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න අපි හෙට උදේම ගිවිසුම අත්සන් කරන එක කරනවාමයි කියනවා. අගමැති 6 වැනිදා හැන්දැවේ අපි සාකච්ඡා කරලා කොමිසමක්‌ හරහායි කරන්නේ කිව්වා. මේ හැමෝම එකිනෙකට පරස්‌පර ප්‍රකාශ කිරීම නිසා ජනතාව තුළ සැකයක්‌ ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ එක ඇමැතිවරයෙක්‌ ඇරෙන්න අනිත් හැමෝම මේ උත්සවය වර්ජනය කළා. අපි ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්‌තුතිවන්ත වෙනවා. මේක භයානක බව ඔවුන්ට දැනෙන්න ඇති.

අපි සංවර්ධනයට රක්‌ෂා දෙනවාට විරුද්ධ අය නෙවෙයි. සංවර්ධන කටයුතු කරන්න හරි ආයෝජකයන්ට එන්න හරි යුද්ධය ඉවර කරලා යටිතල පහසුකම් ඇති කරන්න කිව්වා. ඒ සංවර්ධන නිසයි, වරාය ගුවන්තොටුපළ ඉදි වුණ නිසයි මේ ආණ්‌ඩුවට සියලු දේ කරන්න පුළුවන් වුණේ. මේවා නොතිබෙන්න හම්බන්තොටට කිසිම ආයෝජකයෙක්‌ එන්නේ නැහැ. හොරන ටයර් කර්මාන්ත ශාලාවට මුල්ගල තිබ්බත් ආයෝජකයාගේ නම හෙළි කළේ නැහැ. ඒ ආයෝජකයා වුණේ ඩුබායි මැරියට්‌ හෝටලයේ හිමිකරුවා. ඔහුට තමයි මහින්ද රාජපක්‌ෂගේ සල්ලි තියාගෙන ඉන්න කෙනා කියලා එළවා පහර දුන්නේ.

එක්‌සත් ජාතික පක්‌ෂයේ මහත්වරුන්ට පසුගිය කාලයේ වැළඳිලා තිබුණ චීන අජීර්ණය අපිට නැහැ. අපි චීනය සමඟ කටයුතු කළේ රාජ්‍යයේ ස්‌වාධීනත්වය ආරක්‌ෂාව තියා ගෙන. ශැංගි්‍රලා හෝටලයට ඉඩම දුන්නට පස්‌සේ ඒක වැරදියි කියලා තේරුම් ගෙන ඒ වගේ සින්නක්‌කර දෙන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියකට ආවා.

ප්‍රශ්නය(- රාජිත සේනාරත්න ඇමැතිවරයා හම්බන්තොට උත්සවයේදී ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීවරයාව දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළා. ඒ සම්බන්ධයෙන් නිහඬ ඇයි?

පිළිතුර ඩලස්‌ අලහප්පෙරුම මහතා(-

ඒ සම්බන්ධයෙන් මට මුලින්ම ඇති වුණේ කනගාටුවක්‌. නමුත් පසුව සතුටක්‌ ඇති වුණා. කනගාටුවට කාරණය ඔහු මගේ මිතුරෙක්‌. ඔහු හදවත් රෝගියෙක්‌. ඒ නිසා එතරම් කේන්ති ගැනීම සෞඛ්‍ය සම්පන්න නෑ. සතුටට කාරණය එතුමාගේ ඉතිහාසය චරිත ලක්‌ෂණ බැලුවාම ඔහු නායකයන් තෝරා ගැනීමේදී පළමුවෙන්ම කර තියෙන්නේ ඉතා දරුණු ප්‍රහාර එල්ල කිරීමයි. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට ඉතා දරුණු ප්‍රහාරයක්‌ එල්ල කළා. අවසානයේදී ඇය තමන්ගේ නායිකාව විදියට ඔහු තෝරා ගත්තා. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතාටත් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාටත් ඒ ආකාරයට ප්‍රහාර එල්ල කර පසුව ඔවුන් ඔහුගේ නායකයන් ලෙස තෝරා ගත්තා. වත්මන් ජනාධිපතිවරයාටත් එහෙමයි. එය සතුටට කාරණයක්‌ නොවේද?

ප්‍රශ්නය(- ජනතාව දැඩි අපහසුතාවට පත් වන පරිදි සහල් මිල වැඩි වෙලා. ඒකාබද්ධ විපක්‌ෂය මේ පිළිබඳව නිහඬව සිsටින්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරා පාර්ශ්වකරුවකු නිසාද?

පිළිතුරු(- අපි නිහඬ නැහැ. ශ්‍රී ලාංකිය රාජ්‍ය වංශ කතාව ඇරඹෙන්නෙ විජය රජුගෙන්. එදා සිට අද රට කරවන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්‌වා ශත වර්ෂාධික කාලය තුළ අප රටේ ඉතිහාසයේ වැඩිම සහල් මිල දැන් තියෙන්නේ.

සහල් මිලෙන් මිනිස්‌සු බැටකකා සිටින විටදී කෘෂිකර්ම අධ්‍යක්‌ෂකවරයා මාධ්‍ය සාකච්ඡාවක්‌ තබා ප්‍රකාශ කරනවා. කොස්‌ කොළවල හා ක්‍රෝටන්වල තිබෙන ගුණය පැහැදිලි කරනවා. ඩඩ්ලි සිරිසේන මහතා කියනවා කෘෂිකර්ම ඇමැතිට දෙවියන්ගේ හාල් කැවිලා කියලා. ඇමැති පිළිතුරු දෙමින් කියන්නේ මට නම් දෙවියන්ගේ හාල් කැවිලා නෑ. දෙවියන්ගේ මල්ලිට අමු කැවිලා කියලා. මේ රටේ ප්‍රධාන සහල් නිෂ්පාදකයා ඇමැතිට චෝදනා කරනවා. දෙවියන්ගේ සහල් කැවිලා කියලා. ඇමැති කියනවා දෙවියන්ගේ මල්ලිට අමු කැවිලා කියලා. කෘෂිකර්ම අධ්‍යක්‌ෂ කියනවා කොස්‌ කොළ, ක්‍රෝටන් කොළ කාපල්ලා කියලා. මේ රටේ දේශපාලනඥයන් වගේ පුරවැසියෝ එළුවෝ නොවන බව මතක්‌ කර දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා

එදා 2015 අපි ආණ්‌ඩුවෙන් යන විට තවත් අවුරුදු එකහමාරකට ප්‍රමාණවත් වී තොග ඉතිරි කර තිබුණා. දැන් ඒවා අවසන් වෙලා. මේ ආණ්‌ඩුවේ දුර්වල වැඩපිළිවෙළ නිසා අද සහල් හිඟයකට රටම මුහුණ පා තිබෙනවා. අප රටේ කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම ආගාධයකට ඇද දමලා මේ ආණ්‌ඩුව පිටරටින් සහල් ගෙන්වනවා.

මේ ආණ්‌ඩුවට මේ රටේ යළි කිසි දිනක බලයට ඒමට නොහැකි නිසා ආණ්‌ඩුවේ ලොක්‌කන්ට පුළුවන් තරම් මුදල් හම්බ කරන්න සොරකම් කරන්න ඉඩ දීලා තියෙනවා. හාල් පිටරටින් ගෙනවිත් මුදල් හම්බ කරන්න ඉඩ දෙන්නේ ඒකටයි.

ජාතික සම්පත් විකුණ ගෙන කොමිස්‌ ගහ ගන්න ඉඩදී ඊට විරුද්ධ වන එය කඩාකප්පල් කරන අයගේ කට වහන්න කටයුතු කරගෙන යනවා. මේ වැඩපිළිවෙළ ජනතාව කොතෙක්‌ කලක්‌ ඉවසාවිද?

පාර්ලිමේන්තු මන්ත්‍රී පී. බී. රත්නායක මහතා

රටට අපකීර්තියක්‌ වූ රටට එපා වූ මුදල් ඇමැතිවරයා ලෝකයට අවශ්‍ය ආකාරයට ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කරපු නිසා ඔහුට හොඳම මුදල් ඇමැතිවරයා ලෙස ප්‍රකාශ කරන්න ඇති.

මහාචාර්ය ජී. එල්. පීරිස්‌, මහාචාර්ය තිස්‌ස විතාරණ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.