වතුර ඇත-ඇළ නැත
කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාදයෙන්

ගම්පොල කුඹුරු අක්‌කර 405 ක්‌ විනාශයි


* වාරි නිලධාරීන්ගේ කරුමෙට ගොවීහු බිලි වෙති
* ජනපතිතුමනි යුද හමුදාව යොදා ඇළ හදමු


මෙම වෙල්යායට ජලය සැපයීමට මහවැලි ගඟේ අවශ්‍ය තරම් ජලය තිබෙන අයුරු

වේළී ගිය කුඹුරු යායේ විරෝධය දක්‌වන ගොවි නියෝජිතයන්

ගම්පොල - සුරංග දිල්හාන්

රට පුරා පවතින දැඩි ඉඩෝරයත් සමඟ වී වගාව අත්හැර දැමීමට සිදු වී ඇති පසුබිමක අවශ්‍ය තරම් ජලය ඇති අක්‌කර 405 ක කුඹුරු යායක්‌ නිලධාරීන්ගේ වරදින් ජලය නොමැතිව වේළී යැම නිසා ගොවි සංවිධාන තුනක්‌ නිලධාරීන්ට විරුද්ධව විරෝධතාවක යෙදුණහ.

ගම්පොල ජයමාලපුර හා ගම්පොල වෙල කුඹුරු යායට මෙසේ ජලය ගැනීමට නොහැකි නිසා එහි ගොවි නියෝජිතයෝ මෙසේ විරෝධතාව දැක්‌වූහ.

මෙම වෙල්යාය සඳහා කිලෝමීටර 13 ක්‌වූ ගම්පොල රජ ඇළ හා දුන්හිඳ ඇළෙන් ජලය ලබා ගන්නා අතර එම ඇළවලට මහවැලි ගඟෙන් ජලය ලබාගැනීම සිදු කෙරේ.

විරෝධය දැක්‌වූ ගොවි මහතුන් සඳහන් කරන්නේ මෙම ඇළ මාර්ගයේ කොටසක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම මීට මාස අටකට පෙර ඇරඹුවත් කොන්ත්‍රාත්කරු එය අතරමඟ නවතා දැමූ නිසා මෙම වෙල් යායට ජලය ගැනීමට නොහැකි බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනෙන් මෙම වැඩ අවසන් කරන නිසා නිලධාරීන් ගොවීන්ට වගා කරන ලෙස දැන්වීමෙන් මොවුන් මෙහි වී එළවළු හා මඤ්ඤොක්‌කා වගා කර ඇති අතර මෙසේ ජලය නොමැතිකමින් ඒ සියලු වගාවන් වේළී යමින් තිබේ.

මාසයක්‌ පමණ වූ පැළ ගොයම් හා අක්‌කර දෙකක බෝංචි වගාවක්‌ හා තවත් මිරිස්‌ වගාවක්‌ද දැනටම වේළී ගොස්‌ ඇති අතර තවත් වගාවන් කිහිපයක්‌ ද වේළී යැම ආරම්භ වී තිබේ.

මෙම වෙල්යාය ගම්පොල රජ සමයට අයටත් වන අතර ජලය සපයන රජ ඇළද රජ සමයට අයත් එකකි.

මහනුවර දළදා මාලිගාව හා ගම්පොල නියම්ගම්පාය රජමහා විහාරය සතු මෙම වෙල්යාය සඳහා ඕනෑම ඉඩෝර කාලයක මහවැලි ගඟෙන් ජලය සපයා ගත හැකිව තිබිණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද මෙම ප්‍රතිසංස්‌කරණ කටයුතු පිළිබඳව එහි කාර්මික නිලධාරී රණතුංග මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

රුපියල් ලක්‍ෂ 29 ක වියදමින් තමයි මේ ප්‍රතිසංස්‌කරණ කරන්නේ. කොන්ත්‍රාත්කරුවෝ වැඩේ කරගෙන යද්දී එහි සේවකයක්‌ මේක මඟහැර ගියා. ඒ නිසා වැඩ පමාවක්‌ සිදු වෙලා. නමුත් මේක හැකි ඉක්‌මනින් අවසන් කිරීමට කටයුතු කරනවා.

ගම්පොලවෙල මංගල කෙත ගොවි සංවිධානයේ නිලධාරියකු වන සම්පත් බණ්‌ඩාර මහතා

"දෙසැම්බර් 31 වැඩ අවසන් කරදෙන නිසා අපට වගා ආරම්භ කරන්න කිව්වා ඒ අනුවයි අපි වගා කළේ ජලය නැතිව දැන් සියලු වගා විනාශයි."

මෙහි කොන්ත්‍රාත්කරු වන ලයනල් ජයසිංහ මහතා

මම මේකේ කොන්ත්‍රාත් වැඩ පටන් ගත්තේ නොවැම්බර් මාසයේ, ජනවාරි 31 තමයි භාර දෙන්න තියෙන්නේ රුපියල් ලක්‍ෂ 18 ක කොන්ත්‍රාත් එකක්‌ මගේ ළඟ වැඩ කරපු අය මේක දාලා ගියා දුෂ්කරයි කියලා. කොහොමත් මම මේ වැඩේ ඉවර කරලා දෙනවා. මට මේ වෙන කොට රුපියල් ලක්‍ෂ 15 ක විතර වැඩ කළත් මට තවම සතයක්‌වත් ගෙවලත් නෑ.

සිසිර අලුත් ගමගේ මහතා - මේ වෙල්යායේ වැඩ කරන්න ඕනෑ තරම් ජලය තියෙනවා. නමුත් කාගේ කාගේත් වැරදි නිසා අද අක්‌කර 405 ක වගාව විනාශ වෙනවා. සාමාන්‍යයෙන් ගිය වසරේ වැඩ ගිය වසරේම අවසන් කළ යුතුයි නමුත් මේ කොන්ත්‍රාත් එක ඉවර නෑ. මේකට නිලධාරීන් වගකිව යුතුයි. මේ ගොවියෝ ණය වෙලයි වගා කළේ. අද ඔක්‌කොම විනාශයි.

ගම්පොලවෙල වෙල්යායේ රන්කෙත ගොවි සංවිධානය වැව ගොවි සංවිධානය මංගල කෙත ගොවි සංවිධානය පල්ලේවෙල ගොවි සංවිධානය යන ගොවි සංවිධානවල නියෝජිතයන් ඉදිකිරීම් නවතා ඇති ස්‌ථානයේ හා වෙල් යායේ මෙම විරෝධය දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.