හා පැටවුන් පෙන්වා පොලිසිය
නොමඟ යෑවූ හෙරොයින් ලෝලීන්ට වැඩ වරදී


ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කලුආරච්චි

හා පැටවුන් දෙදෙනකුට කෑම සොයන මුවාවෙන් පොලිසිය මුලාකොට ඊසි කෑෂ් ක්‍රමයට ලබා ගත් හෙරොයින් පැකට්‌ දෙකක්‌ රැගෙන යැමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනකු හෙරොයින් මිලිග්‍රෑම් හතළිහක්‌ සමඟ කදුරුදූවේදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

ගාල්ල අකුරැස්‌ස මහා මාර්ගය ඔස්‌සේ යමින් සිටි හබරාදුව පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ කඳුරුදූව ප්‍රදේශයේ විදුලි කණුවක්‌ මුල යමක්‌ සොයමින් සිටි පුද්ගලයින් දෙදෙනකු දැක නතර කර පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේ. එවිට එම පුද්ගලයන් දෙදෙනා පැමිණි යතුරුපැදියේ ඉදිරිපස පෙට්‌ටියක දමා තිබූ හා පැටවුන් දෙදෙනකු පෙන්නා හා පැටවුන් දෙදෙනාට කෑම සොයන බව එම පුද්ගලයන් දෙදෙනා පොලිසියට පවසා ඇත. එහෙත් පොලිස්‌ නිලධාරීන් මොවුන් දෙදෙනා පැවසූ කතාව විශ්වාස නොකොට පරීක්‍ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී හෙරොයින් පැකට්‌ දෙකක්‌ සොයා ගැනීමට හැකිව තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා ගාල්ල එලියට්‌ පාරේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි. සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

හබරාදුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියන්ත කුමාර මහතාගේ උපදෙස්‌ පරිදි සැරයන්වරුන් වන සුජීව (45375), පියල් (889) කොස්‌තාපල්වරුන් වන වීරසිංහ (88323), මධුසංඛ (73383) යන මහත්වරුන් විසින් හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.