ගාල්ලේ අනවසර ගව ඝාතකාගාරය
වටලා සිවුදෙනෙක්‌ අත්අඩංගුවට


ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

ගාල්ල දංගෙදර ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වා ගෙන ගිය ගව ඝාතකාගාරයක්‌ වටලා ගව මස්‌ කිලෝ 250 ක්‌ සමඟ පුද්ගලයන් සිවු දෙනකු ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් ඊයේ (11 දා) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම ගව ඝාතකාගාරය වටනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මින් එක්‌ සැකකරුවෙකු නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ජාවාරම්කරුවකු බව පවසන පොලිසිය ඔහුට අධිකරණය මඟින් වරෙන්තුවක්‌ නිකුත් කොට ඇති බවද පවසයි.

අත්අඩංගුවට ගත් ගව මස්‌ හා සැකකරුවන් සිවුදෙනා ඊයේ (11 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රෝහණ මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම කරනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.