දරුවන් දෙදෙනාගේම කකුල් පණ නෑ
අනේ අපට පිහිට වෙන්න

බඹරගස්‌වැව කඳුළු කතාවක්‌

දරුවන් දෙදෙනා සමග මව ඔවුන්ගේ නිවසේදී.

ගලේවල - විශේෂ

දරු සම්පත තරම් මව්පියන්ට උතුම් සම්පතක්‌ මිහිපිට තවත් නෑ. ඒ දරුවන් මෙලොව එළිය දකින විට හොඳ ශරීර සෞඛ්‍යයෙන් නොමැතිවිට මව්පියන්ට දැනෙන වේදනාව වචනයෙන් කියා නිමකළ නොහැක. එවන් දරුවන් දෙදෙනකු වෙනුවෙන් සිය මුළු ජීවිත කාලයම කැප කරන මවක හා පියකුගේ අනුවේදනීය කතාවක්‌ ගලේවල බඹරගස්‌වැව ගමෙන් ඇසේ.

ඇය නමින් එස්‌.එම්. නිලුකා කුමාරි බස්‌නායක (32) ඔහු ආර්.එම්. ජයසුන්දර බණ්‌ඩාර (38) වේ ඔවුන් දෙදෙනා නෑකමින් නෑනා මස්‌සිනා වූ අතර විවාහ වී ඇත්තේ යෝජනාවකිනි ඔවුන් විවාහ වී මේ වන විට අවුරුදු 12 ක්‌ පමණ වේ. බාල දියණියගේ වයස අවුරුදු එකහමාරක්‌ වන අතර වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 11 කි මේ දරුවන් උපන්දා සිටම ඔවුන්ගේ කකුල් පණ නැති බවත් ඔළුව කෙළින් කර ගත නොහැකි තත්ත්වයක තිබෙන බවත් මව පැවසුවේ කඳුළින් පිරි දෙනෙතින් යුතුවය. දරුවන් දෙදෙනාටම කතා කළ නොහැක. සමෘද්ධි සහනාධාරය ඔවුන්ට අහිමි වී ඇත. ඔවුන් ජීවත්වෙන්නේ නිවසේ ගෘහ මූලිකයා (සැමියා) දිනපතා කුලී වැඩ කර ලබාගන්නා සොච්චම් මුදලිනි. ඔහුට අසනීපයක්‌ වූ දවසට ඒ මුදලද ගෙදරට ලැබෙන්නේ නැති බව මේ දෙදරු මව පැවසුවාය.

''අනේ මහත්තයෝ මම දිනකට සිය දහස්‌වර මැරි මැරී ඉපදෙනවා. මගේ දරුවන්ගේ වයසේ ළමයි දුව පැන අවිදලා සෙල්ලම් කරන විට පාසැල් යනවා දකින විට මටත් මගේ සැමියාටත් අපේ දරුවන්ට මෙහෙම වීම පිළිබඳ ඇතිවෙන වේදනාව කියා නිමකරන්න බෑ. සදා කාලිකවම අපට උරුම වූ මේ දුක්‌ කන්දරාව තව කෙනකුට නම් වෙන්න එපා. මොන පාපායක්‌ කළාටද අපට මෙහෙම වුණේ? යයි මේ දරුවන්ගේ මව හඬමින් පැවසුවාය.

දරුවන් දෙදෙනා සමඟ අපි ජීවත්වෙන්නේ මේ කුඩා පැලේ. වැඩිමහල් දියණිය පිටිකිරි බොනවා. ඒත් ඒවා හැමදාම බොන්න දෙන්න බෑ. ආර්ථික දුෂ්කරතා නිsසා. එවිට කහට උගුරක්‌ පොවනවා. බාල දරුවා වැඩියෙන් රුචි කරන්නේ ඉඳිආප්ප හා බත්වලටයි. මගේ මුළු ජීවිතයම කැප කරලා තිබෙන්නේ ඔවුන් දෙදෙනා ජීවත් කරවන්නයි. එක්‌කෙනෙක්‌ සුද්ධ පවිත්‍ර කරන කොට අනික්‌ දරුවා අපවිත්‍ර කරගන්නවා. මම ඒවා ආශාවෙන් කරනවා. විවිධ ප්‍රතිකාර කර ගැනීමට අතේ තිබු දේපළ, මුදල් ආදිය වැය කළත් සුවයක්‌ ලැබුණේ නෑ. දරුවන් දෙන්නා ආබාධිත දරුවන් රකින ආයතනවලට බාරදෙන්න කියා ඇතැම් අය කීවත් මට මේ දරුවන් වැඩි නෑ ඒ බර අපට දැරිය හැකියි. අපට දැන් අවශ්‍ය වෙන්නේ මේ ගෙදර ඉතිරි වැඩ ටික කරගන්නටයි. දරුවන්ගේ ආහාරවලට එදිනෙදා වැයවෙන මුදල් සොයා ගැනීමේ අමාරුවක්‌ තිබෙනවා.

ඔබටත් මේ ආබාධිත දරුවන්ට හා මව්පියන්ට සැදැහැසිතින් උපකාරයක්‌ කළ හැකිය. ඒ සඳහා ඔවුන්ගේ අංක 077-5661057 ට ඇමතුමක්‌ ලබා දීමට කරුණිකවන්න.

මේ මවගේ ගිණුම් අංකය ගලේවෙල මහජන බැංකුව 11520014001251

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.