රජරට රාවය
රජරට ගොවීන්ගේ නෙතට උළෙලක්‌


රජරට ගොවි ජනයාගේ සදාතනික ඉකිබිඳුම ජල හිඟය වෙනුවෙනි. එහි නිමාවට පිළියම් ලෙසින් කඩිනම් මහවැලිය යටතේ ඉදිවන මොරගහකන්ද මහා ජලාශයේ ජලය පිරවීමේ කටයුත්ත ඊයේ (11 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

එම දියවර වැව් අමුණු කරා රැගෙන යන ඉහළ ඇලහැර ඇළ වාරි ව්‍යාපෘතියේ කටයුතු ද ජනාධිපතිවරයා අතින් ආරම්භ විය.

ඉන් අනතුරුව ඇලහැර මහා විද්‍යාලයේ පැවැති ජනහමුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ රජරට, වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගේ සහ කෙත් බිම්වල දිය පවස නිවීමේ සිහිනය මෙම මහා ජලාශය ඉදිවීමෙන් පසුව සැබෑවන බවයි. තමන් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූ දිනයටත් වඩා අද දිනයේ ඉමහත් සතුටට පත්වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

රටේ කෙතරම් නියඟයක්‌ පැවතුණද කිසි දිනෙක ආහාර හිඟයක්‌ ඇතිවීමට ඉඩ නොතබන බවද ගොවි ජනතාව බඩගින්නේ තබන්නේද නැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

*රජරට දිරිය දියණියෝ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ මෙවර ප්‍රතිඵලවලින් වාණිජ විෂය ධාරාවේ දිවයිනේ තෙවැනි ස්‌ථානය පොළොන්නරුවේ සිසු දැරියක හිමිකර ගත්තාය. ඇය හිඟුරක්‌ගොඩ ආනන්ද බාලිකා මහා විද්‍යාලයේ නිපුනි ධනංජනී රූපසිංහ ශිෂ්‍යාවයි. මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵල පිරික්‌සීමේදී ගම්බද දරුවන් විශිෂ්ට දස්‌කම් දක්‌වා තිබෙන බවක්‌ පෙනෙන්නට තිබුණි. රජරටේ දරුවන්ගේ ඉගෙනීමේ හපන්කම් පිළිබඳව සඳහන් කරද්දී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කේ. ඒ. සුබෝධා ලක්‌මිණි සිසුවියද අපේ කාලයේ දිරිය දියණියකි. ඇය මෙවර අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටියේ දැසේ කඳුළුත්, සිතේ කිව නොහැකි දුකක්‌ද තුරුළු කරගෙනය. ඒ තම ආදරණීය පියාණන් වූ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කළ කේ. ඒ. පුෂ්පකුමාර මහතාගේ අකල් වියෝවයි. හෙතෙම රාජකාරී කටයුත්තක්‌ සඳහා අනුරාධපුරයේ සිට කොළඹ ගොස්‌ දුම්රියෙන් ආපසු පැමිණෙමින් සිටියදී පාපතරයකු විසින් එල්ල කරන ලද ගල් පහරකින් ලද මාරාන්තික තුවාල හේතුවෙන් එම උතුම් මිනිසා මෙලොව හැර ගියේ මෙයට මාස හතරකට පමණ ඉහතදීය. ඔහුගේ නිසල දේහය නිවෙස තුළ තිබියදී තිර අදිටනකින් විභාගයට පෙනී සිටි සුබෝධා ලක්‌මිණි දියණිය තම විෂය ධාරාවේ විෂයන් දෙකකට ඒ සාමාර්ථ සහ එක්‌ විෂයකට බී සාමාර්ථයක්‌ ලබා ගනිමින් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ 14 වැනි ස්‌ථානය හිමිකර ගෙන සිටින්නීය. ඇය තම ආදරණීය පියතුමන්ට නිසි උපහාරය දක්‌වා ඇති බැව් සඳහන් කිරීම අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත.

* රණවිරු පවුල්වලට වෛද්‍ය සායනයක්‌

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රණවිරු පවුල් උදෙසා පසුගියදා පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී වෛද්‍ය සායනයක්‌ පැවැත්විණි. ස්‌වශක්‌ති සුව සායනය නමින් හැඳින්වෙන එය සංවිධානය කර තිබුණේ රණවිරු සේවා අධිකාරිය මගිනි. එම සුව සායනයේ සමාරම්භක උළෙලට එක්‌වූ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෙµdන්සේකා මහත්මිය ප්‍රකාශ කළේ මේ රටේ වසර 30 ක්‌ පුරාවට පැවැති දරුණු ත්‍රස්‌තවාදය නිමා කොට නිදහස්‌ රටක්‌ ලබා දුන් වීරෝදාර රණවිරුවන්ට අපගේ ගෞරවය, ප්‍රණාමය නිරන්තරයෙන් හිමිවන බවයි. අපේ රණවිරුවන් යුද්ධයට ගිය නිසා ඔවුන්ට අතපය අහිමි වී ආබාධිත තත්ත්වයට, විවිධ රෝගාබාධ සහිත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවූ බවද රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය මෙහිදී සිහිපත් කළාය.

පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය ජනපති වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ විවිධ පැතිකඩ ඔස්‌සේ කෙරෙන සංවර්ධන කාර්යයන්හි 2016 වසරේ ප්‍රගතිය සියයට 98 ක්‌ පමණ යෑයි පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් රංජිත් ආරියරත්න මහතා පවසයි.

පසුගියදා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.

අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, පොදු පහසුකම් ඇතුළු බොහෝ විෂය ක්‌ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා පසුගිය වසර තුළ රුපියල් මිලියන 6157 ක මුදලක්‌ වැයකොට ඇති බව ද ඔහු කීවේය.

මෙම වසරේ දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධනය සඳහා අපේක්‍ෂිත මුදල් ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1978 කි.

දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධනය මුදලින් ගණනය කෙරෙද්දී එකී සංවර්ධනයේ අරුණලු විහිදී නැති ගම්බිම්ද බොහෝය.

ඇලහැර අමුණේ සිට දිවෙන ප්‍රධාන වාරි ඇළ යෝධ ඇළ හරහා ඉදිවූ දිරා ගිය ඒදඬු, පාලම් මතින් උදේ සවස එහා මෙහා යන පාසල් දරුවන්, මහජනයා අපට එහි සුලබව දැකිය හැකිය.

* වැලිකන්දට කුඩම්මාගේ සැලකිළි

දීර්ඝ කාලයක්‌ අප රටේ පැවැති කුරිරු ත්‍රස්‌තවාදී යුද්ධයට මැදිව අනන්ත අප්‍රමාණව බැට කෑ ජනයා බොහෝ පිරිසක්‌ වෙසෙන වැලිකන්දේ මායිමේ ගම්බිම්වලද අප දකින මහා සංවර්ධනයක්‌ පෙනෙන්නට නැත. අඩුම තරමින් එම ප්‍රදේශවල බාලවයස්‌ විවාහ, ළමා මවුවරුන් බහුලවීම, රක්‌තහීනතාවය, දියවැඩියාව මේ ආදී බොහෝ ව්‍යසනයන් සාමාන්‍ය දේවල් බවට අදටත් පත්ව තිබෙන්නේ යුද්ධය පැවැති කාලයේ මෙන්මය. එකල එම තත්ත්වයන් බොහෝ දෙනා හැඳින්වූයේ යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක්‌ ලෙසටය. එහෙත් දැන් එය කොයි ලෙසින් හඳුන්වනවාදැයි කියන්නට බැරිය.

* සහල් හිතුහිතු මිලට

මේ වන විට වෙළෙඳපොළේ පවතින සහල් මිල පිළිබඳවද නොකියාම බැරිය. කොටින්ම කියතොත් සහල් ගිනි ගණන්ය. රටින් සහල් ගෙනැවිත් අඩු මිලට කන්නට දෙන බවට කියෑවෙන ආරංචි මෙතෙක්‌ සැබෑවී නැති හෙයින් වෙළෙන්දොaත් සහල් මෝල් කාරයිනුත් හිතේ හැටියට හාල් මිල ඉහළ නංවති. කුඩා මෝල් හිමියන් කියන්නේ වී නැති නිසා දැන් අපි හාල් නිපදවන්නේ නැතිය කියාය. එම හාල් මෝල්වල මෙතෙක්‌ වී වේළන ලද කමත්වල මේ දිනවල මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි වතු - ගෙවතුවලින් නෙළා ගන්නා ගම්මිරිස්‌ තොග වශයෙන් වේළනු දැකීමෙන් කුඩා මෝල් හිමියන්ගේ ප්‍රකාශය සනාථ වේ.

දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස නම්කොට ඇති මෙම වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු කෘෂිකාර්මික ගොවිපළවල් පිහිටා ඇති ප්‍රදේශවල එම ගොවිපළ අවට තරුණ තරුණියන්ට කෘෂිකර්මාන්තය පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදීමට පියවර ගෙන ඇත.

මාස 03 ක කාලයක්‌ ලබා දෙන මෙම පුහුණුවෙන් අමතරව ඔවුන් කෘෂිකර්මාන්තය සඳහා යොමුකෙරේ. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්ද සලසාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පශු සම්පත් හා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කර්නල් බුවනෙක ගුණරත්න මහතා පසුගියදා වැලිකන්ද කන්දකාඩුව යුද හමුදා ගොවිපළේදී ප්‍රකාශ කළේය. කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා මේ බව ප්‍රකාශ කළේ කන්දකාඩුව යුද හමුදා ගොවිපළ අවට වෙසෙන රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා එම ගොවිපළේ කෘෂිකාර්මික පුහුණු වැඩසටහනක්‌ ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති සමාරම්භක උත්සවයේදීය.

* අමරකීර්තිට සභානායක පුටුව

උතුරු මැද පළාත් සභාවේ වත්මන් සභා නායකවරයා ලෙස තේරී පත්වී සිටින්නේ පොළොන්නරු දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන අමරකීර්ති අතුකෝරළ මහතාය. පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ඒ මහතා මෙම තනතුරට පත්වූයේ උතුරුමැද පළාත් සභාවේ මෙතෙක්‌ සභා නායකවරයා ලෙස කටයුතු කළ ආනන්ද සරත් කුමාර මන්ත්‍රීවරයාගේ අභාවයෙන් ඇතිවූ පුරප්පාඩුවටය. මේ අතර ඒ මහතාගෙන් හිස්‌වූ මන්ත්‍රී ධුරය සඳහා පත්කොට ඇත්තේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එන්. වී. සමන්ත මහතායි. ඔහු මීට පෙර වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කළේය.

වනපෙත වනසන කැලෑ පාළුවන් පිළිබඳව ලැබෙන අමිහිරි ආරංචි දිනෙන් දිනම ඉහළ යමින් පවතී. සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ පසුගියදා නීති විරෝධී ලෙස සිදුකළ වටිනා දැව විනාශයක්‌ නීතියේ රැහැනට හසුකර ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබුණි. එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ ගණනක්‌ බවද කියති.

* වන පාළුවන්ගේ පාරාදිසය

මේ අතර පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මායිමේ පිහිටි ත්‍රිකෝණමඩුව රක්‍ෂිතය දිනෙන් දින වන අපරාධකරුවන්ගේ පාරාදීසයක්‌ බවට පත්වෙමින් තිබේ. එහි බුරුත, පළු, මිල්ල, කුඹුක්‌ ආදී වටිනා දැව විශාල වශයෙන් කපා ප්‍රවාහනය කෙරෙන බවත් අනාවරණය වේ. මෙම වන විනාශය මැඬලීම සඳහා නොපමාව පියවර නොගතහොත් ත්‍රිකෝණමඩුව රක්‍ෂිතය නුදුරු දිනයකදීම කටු පඳුරු පමණක්‌ ඉතිරිවූ කලාපයක්‌ වනු ඇතැයි පරිසරවේදීහු සහ මහජනතාව පෙන්වා දෙති.

කරුණාරත්න ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.