ඩයලොග් කුසලාන පාපන්දු තරගාවලිය
නැවියෝ යුද හමුදාවට දෙවැනි වෙති


ගයාශාන් විතානආරච්චි
ඡායා - කමල් වන්නිආරච්චි

යුද හමුදා ප්‍රහාරයට නතුවූ නාවික හමුදා කණ්‌ඩායම ඩයලොග් කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 වටය යටතේ පැවැති තරගයේදී ගෝල 3-2 ක්‌ වශයෙන් පරාජයට පත්විය.

ඒ අනුව යුද හමුදා කණ්‌ඩායම මේ වනවිට සහභාගී වූ තරග දෙකෙන් එකක ජය වාර්තාකරගෙන සිටින අතර නාවික හමුදා කණ්‌ඩායම පැවැති තරග දෙකම පරාජයට පත්ව තිබේ.

තරගයේ 22 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වෙමින් යුද හමුදා පිලේ පළමු ගෝලය වාර්තා කිරීමට එම්.එන්.එම්. ඉසදීන් සමත් වූවේය. එම ගෝලය වාර්තාකර විනාඩි 3 ක්‌ ගතවීමටත් මත්තෙන් නාවික හමුදා පිලේ ඩබ්.එම්.ඡේ. ප්‍රනාන්දු ගෝලයක්‌ වාර්තා කිරීම හේතුවෙන් තරගයේ ජය දෙපිලටම විවෘත වන තත්ත්වයක්‌ දිස්‌විය.

නමුත් 33 වැනි මිනිත්තුවේදී නැවතත් පන්දුව ගෝල දැල වෙත යොමු කරමින් නාවික හමුදා පිල පීඩනයට නතු කිරීමට එම්.එන්.එම්. ඉසදීන් සමත් වුයේ යුද හමුදා පිලේ බලාපොරොත්තු වැඩි කරමිනි.

යුද හමුදා පිලේ ජයග්‍රාහී තෙවැනි ගෝලය 57 වැනි මිනිත්තුවේදී එල්.සී.එස්‌. කුමාර විසින් රැස්‌ කිරීමත් සමග ගෝල තත්ත්වය 3-1 ක්‌ ලෙස ලකුණු පුවරුවේ දැක්‌විණි.

කෙසේ නමුත් නාවික හමුදා පිල වෙනුවෙන් 87 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට ඩබ්.එම්.ඡේ. ප්‍රනාන්දු සමත් වුවත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

මෙම තරගය කැළණිය පාපන්දු පිටියේදී පැවැත්විණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.