"මේ ඇඩ්‍රස්‌ නැති" ගමට
වතුර හරි දෙන්න
තැපැල් අයිතිය ලැබුණේ නෑ ඒක අපි දිනාගත්තා
ඡන්ද අයිතියත් එහෙමයි
එක ළිඳකවත් වතුර කඳුළක්‌ නෑ
නමට විතරක්‌ ආදර්ශ ගම්මානයක්‌

ඔය වෙද්දී ඇය දෙවැනි දරුව ප්‍රසූත කරන්න හිටිය ගැබිනියක්‌. මේ කාන්තාව සමඟ කතා කරද්දී තේරුම් ගිය එක කරුණක්‌ තමයි, ඇය හිටියෙ ඉතාමත් අඩු අධ්‍යාපනික තත්ත්වයක. දරුවන් වැදුවට ඇත්තටම දරුවන් හදන්න ඇය දැනගෙන හිටියෙ නැහැ. ඒක ඇගේවත් ඒ දරුවගෙ වරදවත් නොවෙයි, කියල තේරුම්ගත්ත මම එතැන ඉඳල ඒ අය පිළිබඳ සැලකිලිමත් වෙන්න ගත්තා.

අප රැගත් රථය කොළඹ නුවර පාර ඔස්‌සේ හැල්මේ ගමනකය. රිය පදවන අතරතුර මගේ ගමන් සගයා වන ලලිත් නෙත්තසිංහ ගමනෙහි අරමුණ විස්‌තර කරන්නට වූ අතර එහි හරය වී තිබුණේ මනුස්‌සකම පිළිබඳ කලාතුරකින් අසන්නට ලැබෙන විරල පුවතක වගතුගය. වෛද්‍ය නලින් ද කීර්ති නමැති එතෙක්‌ මා හඳුනාගෙන නොසිටි පුද්ගලයෙක්‌ පිළිබඳ තොරතුරු අපගේ කථා බහට එකතු වන්නේ ඔය අතරතුරය. නුවර දෙසට කැරකෙන රියසක උඩ සුවපහසු ගමනක යෙදෙන අපගේ ගමනාන්තය යෙදී තිබුණේ පස්‌යාල ප්‍රදේශයේ පිහිටා ඇති නුගේදොලවත්ත ආදර්ශ ගම්මානය වෙතය.

පස්‌යාල ප්‍රදේශයට මඳක්‌ මෙපිටින් පිහිටි අතුරු පාරක්‌ දිගේ තරමක අසීරු ගමනක කෙළවර හමුවන සුවදායක වටපිටාවක්‌ සහිත මිදුලක රිය නතර කළ ලලිත් නෙත්තසිංහ මා නිවස තුළට කැඳවා ගොස්‌ අමුත්තකු හඳුන්වා දුන් අතර අප කතා බහ කරමින් පැමිණියේ ඔහු පිළිබඳව විය යුතුය. මගේ අනුමානය නිවැරදියි. ඔහු වෛද්‍ය නලින් වීරසිංහ විය. එතැන් සිට නැවත ගමන ආරම්භ කළ අපගේ කතා බහ අතරට "පේදුරු" සහ "මංජුලා" යන චරිත දෙක පැමිණෙන්නේ පළමුව ඔවුන් පිළිබඳ පූර්ව අවබෝධයක්‌ මා තුළ ඇති කිරීමට විය යුතුය. මට කළ යුතුව තිබුණේ වෛද්‍ය නලින්ගේ හඬ අසා සිටීම පමණය.

"පේදුරු කියන පුද්ගලයා හඳුනාගන්න ඉස්‌සර එයාගේ බිරිඳ ඒ කියන්නෙ මංජුලා කියන තැනැත්තිය තමයි, මම මුලින්ම හඳුනගන්ත්තෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. ඇය මුලින්ම මුද්දරගම රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවේ සායනයකට එනවා. ඒ එන්නේ කුඩා දරුවෙක්‌ අරගෙන. මම ඒ දරුව පරීක්‍ෂා කරල බලද්දී තේරුම් ගිය කරුණක්‌ තමයි, ඒ මවත් දරුවත් නිසි පරිදි සායනවලට යොමු වෙලා නැති බව.

ඔය වෙද්දී ඇය දෙවැනි දරුව ප්‍රසූත කරන්න හිටිය ගැබිනියක්‌. මේ කාන්තාව සමඟ කතා කරද්දී තේරුම් ගිය එක කරුණක්‌ තමයි, ඇය හිටියෙ ඉතාමත් අඩු අධ්‍යාපනික තත්ත්වයක. දරුවන් වැදුවට ඇත්තටම දරුවන් හදන්න ඇය දැනගෙන හිටියෙ නැහැ. ඒක ඇගේවත් ඒ දරුවගෙ වරදවත් නොවෙයි, කියල තේරුම්ගත්ත මම එතැන ඉඳල ඒ අය පිළිබඳ සැලකිලිමත් වෙන්න ගත්තා. ඒ අයගේ පවුල් පරිසරය, ජීවන වටපිටාව හොයල බලනකොට තේරුම් ගිය කරුණක්‌ තමයි ඒ අයට තවත් වැටෙන්න දෙයක්‌ නැති බව. ඒ තරම් අන්ත අසරණ පවුලක්‌ තමයි පේදුරු, මංජුලා සහ ඒ වෙද්දි හිටිය දරුවයි කියන්නෙ. විශේෂයෙන් දරුව ගැන හිතල මමත් අපේ කාර්ය මණ්‌ඩලයත් මේ අය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කරන අතර එක පාරට මේ අය සායනයට සහභාගී වීම නතර කරනවා. ඊට පස්‌සෙ අපි මේ අය පිළිබඳව හොයන්න ගන්නවා. ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව පෞද්ගලිකව මම මැදිහත්වෙලා මේ අය පිළිබඳව විපරම් කළත් අපිට කිසිම තොරතුරක්‌ නොලැබී යනවා. පේදුරු කියන පුද්ගලයා රැකියාව විදිහට කළේ ගල්වළක කළුගල් කැඩීම. එතනට ගිහින් විමසද්දී එතනින් දීපු පිළිතුර තමයි ගල්වැඩකරන අතරේ ඇති වූ හදිසි අනතුරක්‌ හේතුවෙන් පේදුරු රෝහල්ගත වූ බවත් රෙදි කඩමලු ටිකයි දරුවවයි කරපින්න ගත්ත මංජුලා කොහේදෝ ගියා කියන එක තමයි අවසාන වශයෙන් දැනගත්තෙ. ඔය අතරේ තමයි අපිට තවත් ආරංචියක්‌ ලැබෙන්නෙ ඒ අය වේයන්ගොඩ කනත්තෙ සොහොන් ගෙය තමන්ගේ තාවකාලික නිවහන කරගෙන එතන ජීවත් වෙන බව. එතෙක්‌ වෙලා නිහඬව සිටි වෛද්‍ය නලින්ගේ මිතුරා වන ලලිත් " අපි එතනට මුලින්ම ගිහින් එමු" යෑයි යෝජනා කරමින් රථයේ වේගය වැඩි කරන්නට විය. " මහ පුදුම සහගත මිනිස්‌සු" මම මටම මුමුණන්නට වීමි.

වේයන්ගොඩ කනත්ත දෙසට ඇති මාර්ගය ඔස්‌සේ මඳ දුරක්‌ රිය ධාවනය කළ ලලිත් නෙත්තසිංහ මාර්ගයේ පසෙකට වන්නට රිය නතර කළ අතර පුපුරා බිම වැටුණු බිත්ති කණ්‌ඩියක්‌ අතරින් හිස එළියට දමන ලද ගැහැනු රුවක්‌ අපගේ පැමිණීම දැකීමෙන් එළිමහනට පිවිසීය. කෝටු අතපය සහිත සැකිලි රුවක්‌ වන් දරු පැටියෙක්‌ ඇගේ එක්‌ අතක වූ අතර වයස අවුරුදු හතරක පමණ තවත් දරුවෙකු ඇය සමීපයේ විය. ඔවුන් මතුපිටින් කියවූ කල පමණටත් වඩා ජීවිතයේ අන්ත දුක්‌ විඳ ඇති බව අපහසුවෙන් තොරව කියවා ගත හැකිය. එහෙත් එය ප්‍රමාණවත් මදිය. ඔවුන්ගේ ජීවිත තුළට එබී ඔවුන් විමසිය යුතුය. " අපි යමු ඇතුළට" ඒ යෝජනාව ලලිත්ගෙන්ය.

වේයන්ගොඩ පොදු සුසාන භූමියේ කෙළවරකට වන්න ඇති ගරා වැටෙමින් පවතින මඩුවක්‌ බඳු ස්‌ථානයක " පවුලක්‌" ජීවත්වන හැටි දකින දසුන හද කම්පා කරවන සුලුය. ඔවුන්ගේ සමීපතමයන් බවට පත්ව ඇත්තේ දුප්පත්කමත් අව් වැසි සුළං ආදියත්ය. රෙදි කඩමලු කීපයක්‌ පැදුරු කබලක්‌ අබලන් මැටි මුට්‌ටි කීපයක්‌ හැරෙන්න අඩුම තරමින් පුටු කබලක්‌වත් පෙනෙන තෙක්‌ මානයක නොවීය. උපන් බිම තුළ අනාථයන් වූ ඕනෑතරම් මිනිසුන් පිළිබඳ අසා ඇතත් පේදුරු, මංජුලා ඇතුළු දරු පැටවුන් දෙදෙනා සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳ කතා පුවත ඇස්‌ දෙකෙන් දුටු කල එය ඇත්තක්‌ වූ බොරුවක්‌ යෑයි සිතෙන තරමට කටුක කාශ්ක බවක්‌ දනවන්නේය.

" මේ අය යළිත් සමාජගත කරවන්න තමයි අපි මේ මහන්සි ගන්නෙ. ගෙයක්‌ හදල ඒක ඇතුළට මේ පවුල ගිහින්දාන එකට එහා දෙයක්‌ මෙතැන සිද්ධ වෙනවා. ඒ තමයි මේ දරුවො දෙන්නගේ අනාගතය නිර්මාණය කරන එක. වෛද්‍ය නලින් මේ පිළිබඳව අපිව දැනුවත් කළාට පස්‌සේ තමයි අත්තනගල්ල ඩයමන්ඩ් ස්‌ටාර් සිංහ සමාජය මේ සත්කාරය කරන්න ඉදිරිපත් වෙන්නෙ. සභාපතිවරයා විදිහට මම මේ සම්බන්ධව අපේ සාමාජිකයන් දැනුවත් කළා. එතනදී අපි තීරණය කළා මුලින්ම මේ අයට ඉන්න තැනක්‌ හදල දෙන්න. ඒ ව්‍යාපෘතිය භාර සභාපතිවරයා විදිහට වැඩ කරන්න වෛද්‍ය නලින්ට භාර කරනවා. ඒකේ ප්‍රතිඵලයක්‌ විදිහට තමයි, නුගේදොලවත්ත ආදර්ශ ගම්මානයේ මේ අයට ප්‍රදානය කරන්න මේ වන විටත් ගෙයක්‌ හැදෙමින් පවතින්නෙ.

තව දුරටත් පේදුරු ඇතුළු පවුලේ සාමාජිකයන් සමාජයේ අතපල්ලෙන් වැටුණු මිනිසුන් බවට පත් නොකොට ඔවුන් නඟා සිටුවීම පිණිස මේ වන විටත් තමන් ඇතුළු සෙසු සාමාජිකයන් හිතවතුන්ගේ ආධාර උපකාරද සහිතව ඉදිකරගෙන යන ව්‍යාපෘතිය පිළිබඳ ඩයමන්ඩ් ස්‌ටාර් සිංහ සමාජයේ සභාපති ලලිත් නෙත්තසිංහ එසේ පවසන්නට වූ අතර ඔහුගේ කටහඬෙහි ඇත්තේ පැතුම් සහගත බවක්‌ය.

බොහෝ දෙනෙකු යළි නොඑන ගමන් පැමිණෙන වේයන්ගොඩ සුසාන භූමියෙන් නික්‌මුණ අපගේ අරමුණ ගමනාන්තයේ කෙළවරක වන නුගේදොලවත්ත ආදර්ශ ගම්මානය වෙත පිවිසීමය. පස්‌යාල නගරය පසුකොට මඳ දුරක්‌ නුවර පාර ඔස්‌සේ ඉදිරියට ගිය අප රැගත් රථය එතැන් සිට තරමක කඳු ගැටයක්‌ නඟින්නට විය. පස්‌යාල නගරයට කිලෝ මීටරයක තරමේ දුරක පිහිටා ඇති නුගේදොලවත්ත ආදර්ශ ගම්මානයේ ඉදිවෙමින් පවතින නිවසක්‌ අසල රිය නතර කළ ලලිත් රථය තුළ හිඳිමින් අතක්‌ එළියට දිගු කොට අඩකටත් වඩා වැඩියෙන් වැඩ නිමකොට තිබූ නිවසක්‌ පෙන්වන්නට විය. එය "පේදුරු පවුල" වෙනුවෙන් පරිත්‍යාගශීලී මිනිසුන් විසින් ඔවුන්ගේ දහදිය මහන්සිය ධනය ශ්‍රමය වැයකොට ඉදිකරන නිවස විය.

අපේ අරමුණ වෙලා තිබුණේ මේ වෙද්දී නිවසේ වැඩ සම්පූර්ණ කරල ඒ අයව පදිංචි කරන්න. ඒත් අපිට විතරක්‌ නෙවෙයි, මේ මුළු ගම්මානයටම ගැටලුවක්‌ වෙලා තියෙන "ජලය" නොමැති වීම හින්ද වැඩ ටිකක්‌ ප්‍රමාද වෙනවා. වෛද්‍ය නලින් විසින් එසේ පවසමින් රථයෙන් බිමට පා තබන්නට විය.

ඔහු අනුකරණය කරමින් දෙවනුව මම ද ඉන් අනතුරුව ලලිත් ද රථයෙන් බිමට පා තැබූ අතර ගම්වැසියන් එකා දෙන්නා බැගින් අප අසලට සමීපවන්නට ගන්නේ එතැන් සිටය. නුගේදොලවත්ත ආදර්ශ ගම්මානය වෙත ගිය අපේ ගමනේ අරමුණ මඳකට යටපත් වන්නේ ඒ හා බැඳුණ තවත් අතුරු කථාවක්‌ අප හා පැවසීම පිණිස ගම්වැසියන් තුළ ඉතිරිව තිබූ හෙයින්ය.

"වතුර" හිමි අන් සියලු දේ අහිමි පේදුරු ඇතුළු ඔහුගේ පවුලේ ෙ€දවාචකයත් අන් සියලු දේ නැතත් බොහෝ දේ හිමි "වතුර" අහිමි නුගේදොලවත්ත මිනිසුන්ගේ ෙ€දවාචකයත් එකක්‌ බවට පත්වන්නේ එතැන් සිටය. මෙතැන් සිට මා මහත් අසීරුතාවට පත්වන්නේ තත්ත්වයන් දෙකක්‌ තුළ දෙයාකාරයක පීඩාවන් විඳින පවුලක්‌ සහ ගම්මානයක්‌ ගැන එකවර ලියා තැබීමට යැම තුළය. එය තනිව කළ හැකි කාරියක්‌ නොවන බැවින් පළමුව මා සමඟ පැමිණි ගමන් සගයන්ගෙන් ඒ පිළිබඳව විමසා ඉන් අනතුරුව ගම්මුන්ගේ හඬට කන් දිය යුතුය. පළමුව වෛද්‍ය නලින් ඒ පිළිබඳව පැවසීමට හඬ අවදි කළේය.

සුසාන භූමියක ජීවත් වෙන පවුලට මේ ස්‌ථානයේ ගෙයක්‌ හදන්න අපට මුලින්ම ඉඩමක්‌ අවශ්‍ය වෙනවා. මම පුද්ගලිකව ඒ සම්බන්ධයෙන් මුලින්ම කතා කරන්නෙ මීරිගම ප්‍රාදේශීය ලේකම් තුමාට. එතුමා ඉතාමත් ඕනකමින් ඒ සම්බන්ධව මැදිහත් වෙලා අර අහිංසක පවුල වෙනුවෙන් ඒ උපකාරය කරනවා. අපි මේ ස්‌ථානයට යොමු වෙන්නෙ ඉන් අනතුරුවනෙ. මිනිස්‌සු ඉවරයක්‌ නැති ප්‍රශ්න එක්‌ක සටන් කරමින් ජීවත් වෙන බව අපිට හොඳින්ම දැනෙන්න ගන්නෙ මේ ස්‌ථානයට ඇවිත් මේ අයත් එක්‌ක කතා කරන්න ගත්තට පස්‌සෙයි. ඒක මම කියනවට වඩා හොඳයි මේ අයගෙන්ම අහල දැන ගන්න එක.

" දිවයින" ඉරිදා පුවත්පත නියෝජනය කරමින් මා එම ස්‌ථානයට පැමිණි බව දැනගත් නුගේදොලවත්ත ආදර්ශ ගම්මානයේ මිනිසුන් ඔවුන්ට ඇති බරපතළ අවනඩුවක්‌ මා ඉදිරියේ පවසන්නට විය. එකවර ඔවුන් පවසා සිටි දෙය විශ්වාස කළ නොහැකි තරමේය. පවුල් 115 කට අයත් සාමාජිකයන් ජීවත් වන නුගේදොලවත්ත තුළ "දොලක්‌" තබා පෙනෙනතෙක්‌ මානයක දිය කඩිත්තක්‌වත් නැත. වැඩ අවසන් කළ එක ගෙයක්‌ සොයා ගැනීම බෙහෙතකට නික සොයනවා වැනිය. පසුගිය ගංවතුරත් සමඟ ඇති වූ නාය යැම හේතුවෙන් අසරණ වූ දරුවන් තිදෙනෙක්‌ගෙන් යුත් පවුලක්‌ තවමත් කුඩාරමක්‌ තුළය. එම පවුලට අයත් දියණිය වැඩිවිය පත් තරුණියක්‌ බැවින් තත්ත්වය තවත් බරපතළය.

රුවන් ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.