ආබාධිත රණවිරු විශ්‍රාම වැටුප දෙන්නේ නැද්ද?

වීරෝදාර ලෙස රට වෙනුවෙන් පෙරට ගියා වූ රණවිරුවාට සේවා විශ්‍රාම වැටුප දෙන්නටවත් අද යහපාලනයට නොහැකිව තිබේද? මියගිය කොටින්ට වන්දි දෙන්නට කටයුතු කරන ආණ්‌ඩුවක්‌ මෙසේ රණවිරුවා අමතක කර ඔවුන් රවටන්නට සැරසෙන්නේ කුමක්‌ නිසාද?

වෛද්‍ය හේතූන් මත ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය ආබාධිත රණවිරුවන් සිය සේවා විශ්‍රාම වැටපු ඉල්ලා මහ පාරට ආවේ මීට සති කිහිපයකට ඉහතදීය.

එහිදී සතියක පමණ කාලයක්‌ ඔවුන් කොළඹ කොටුව වටකර උද්ඝෝෂණ පැවත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීම හමුවේ එම ආබාධිත රණවිරුවන්ට පෙබරවාරි මාසයේ සිට සේවා විශ්‍රාම වැටුප ගෙවන බව රජය සඳහන් කළේය.

ආණ්‌ඩුව එදා එකී පොරොන්දුව ආබාධිත රණවිරුවන්ට ලබා දෙනු ලැබුවේ ජීවත කාලය පුරා ඔවුන්ට වැටුප් ලබා දෙන බවට වූ අතිරේ පොරොන්දුවක්‌ද සමගිනි.

එහෙත් මේ වන විට ඒ සියලු පොරොන්දු තනිකරම මුසාවාද බවට පත්ව ඇති වගක්‌ පැහැදිලිවම පෙනෙන්නට ඇතැයි ආබාධිත රණවිරුවෝ පවසති. ඔවුහු පසුගියදා තම සේවා විශ්‍රාම වැටුප ගෙවීමේ ප්‍රගතිය සොයා බැලීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

එහිදී බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී තමන්ට ලැබුණේ ලාහෙට ගෙම්බන් අල්ලන ආකාරයේ පිළිතුරු බවද එම ආබාධිත රණවිරුවෝ පැවසූහ.

මෙකී ආබාධිත රණවිරුවන් සොඳුරු තාරුණ්‍යයේදීම මෙසේ ආබාධිතයන් බවට පත්වූයේ මාතෘභූමිය ත්‍රස්‌තවාදයෙන් බෙරා ගැනීමට කැපවීම හමුවේය. ඔවුන් ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට එක්‌වූයේ රැකියාවක්‌ නොමැති කමට නොව රට වෙනුවෙන් තම මෙහෙවර කිරීමේ උදාර අරමුණින් යුතුවය.

එවන් උදාර අරමුණක්‌ පෙරදැරිව සතුරාගෙන් රට බේරා ගැනීමේ සටනට උරදුන් අබාධිත රණවිරුවන් අද තම ඉල්ලීම් දිනා ගැනීමට මහ පාරට ඒම මොනතරම් කණගාටුදායකද?

අබාධිත රණවිරුවා ඉල්ලන මෙකී සේවා විශ්‍රාම වැටුප ඔවුනට ගෙවන්නට තීරණය වී තිබෙන්නේ ඉකුත් 2015-07-30 දින නිකුත් කර ඇති 2015/08 දරණ චක්‍රලේඛය අනුවය. එහෙත් එසේ චක්‍රලේඛයක්‌ පවා නිකුත්ව තිබියදීත් ආණ්‌ඩුව මේ අන්දමට ආබාධිත රණවිරුවා රැවටිමට උත්සාහ දරණුයේ කුමකටද?

එදා විශ්වයම විශ්මිත කළ යුද ජයග්‍රහණය සඳහා දිවි පරදුවට තබා ත්‍රස්‌තවාදීන් සමඟ සටන් කරනවිට මෙකී රණවිරුවන් ආණ්‌ඩුවට කොන්දේසි ඉදිරිපත් කළේ නැත. අපට වැටුප් වැඩිකරපල්ලා, දුෂ්කර දීමනා දීපල්ලා, සපත්තු නිල ඇඳුම් දීපල්ලා, නිවාඩු දීපල්ලා, අඩු මුදලට යතුරු පැදි දීපල්ලා, දරුවන්ට හොඳ පාසල් දීපල්ලා යෑයි කියමින් එදා ඔවුන් කොටුව දුම්රිපළ ඉදිරිපිටට හෝ ආරක්‍ෂක අමාත්‍යංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත විරෝධතා පාගමන් යන්නට උත්සාහ ගත්තේද නැත.

ඔවුන් කළේ කොටි ත්‍රස්‌තවාදීන්ගේන් උපන් බිම ගලවා ගැනීමේ ඉලක්‌කය වෙත අභීතව ගමන් කිරීමය. ඔවුන් ඒ ගිය ගමනේදී විජයග්‍රහණය අත්කර දුන්නේ රටටය, සමස්‌ත ජනතාවටය. ඔවුහු උපන් බිමට ණයකාරයෝ නොවූහ.

සැබවින්ම එසේ වීරෝදාර ලෙස රට වෙනුවෙන් පෙරට ගියා වූ රණවිරුවාට සේවා විශ්‍රාම වැටුප දෙන්නටවත් අද යහපාලනයට නොහැකිව තිබේද? මියගිය කොටින්ට වන්දි දෙන්නට කටයුතු කරන ආණ්‌ඩුවක්‌ මෙසේ රණවිරුවා අමතක කර ඔවුන් රවටන්නට සැරසෙන්නේ කුමක්‌ නිසාද?

දේශයේ මුරදේවතාවන් ලෙස ජනතා බුහුමනට පාත්‍රවූ රණවිරුවා තවදුරටත් මහපාරේ මඩවන්නේ නැතිව ඔවුන්ගේ සාධාරණය ඉල්ලීම්වලට කන්දී ඒ අවශ්‍යතා ලබා දෙන්නට ආණ්‌ඩුවට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද? යහපාලකයිනි. ඇත්තටම නුඹලාට ලැඡ්ජා නැතිද?

කේ.එම්.සී කන්දේගෙදර
කුරුණැගල

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.