රට යන අත
ශ්‍රී ලාංකීය සංහිඳියා වැඩපිළිවෙලට
ඔස්‌ටේ්‍රලියාවෙන් පැසසුම්


ජනිත සෙනෙවිරත්න

සහල් ප්‍රශ්නය මේ වන විට රට පුරා ගැටලු රැසක්‌ ඇතිකර තිබේ. එය එක පැත්තකින් ජනතාවගේ ප්‍රධාන ආහාරය ගැන ප්‍රශ්නයක්‌ මෙන්ම තවත් අතකින් දේශපාලන ප්‍රශ්නයක්‌ද බවට පත්ව තිබේ. ඇතැම් ප්‍රදේශවල සහල් වෙළෙඳපොලේ හිඟයක්‌ පැවතියත් බොහෝ සුපිරි වෙළඳසැල්වල සහල් පාලන මිලට අලෙවි කෙරේ. කෙසේ වෙතත් සහල් සඳහා රජය නියම කළ පාලන මිලට සහල් මිලදී ගත නොහැකි වී තිබේ.

මේ අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක්‌ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට පසුගියදා නියෝග කළේය.

වෙළෙඳපොලේ කිසිවිටෙකත් සහල් හිඟයක්‌ ඇතිවිය නොහැකි බව පසුගියදා කොළඹ ජනාධිපති කාර්යාලයේදී සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් හමුවුණු අවස්‌ථාවේ දී ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබා දෙන මෙන් ජනාධිපතිවරයා එහිදී වෙළෙඳුන්ගෙන් විශේෂ ඉල්ලීමක්‌ද කර ඇත.

දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක්‌ නියම කරන මෙන් නිලධාරීන්ට උපදෙස්‌ දුන් ජනාධිපතිවරයා, අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂයක්‌ රජය සතු ගබඩාවල පවත්වාගෙන යැමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට උපදෙස්‌ දී තිබේ.

කරුණු මේ ආකාරයෙන් සිදුවුවත් අද වෙළෙඳපොළේ සහල් ගන්නට යන ජනතාව විවිධ දුෂ්කරත්වන්ට මුහුණ දෙති. ලංකා සතොස අඩු මිලට සහල් අලෙවි කළද ලබා දෙන්නේ සීමිත සහල් ප්‍රමාණයකි. මේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇත්තේ නියඟය නිසා වී අස්‌වැන්න සියයට හතළිහකින් පමණ පහල බස ඇති නිසාය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඔස්‌ටේ්‍රලියාවේ නිල සංචාරයක නිරත විය. ඒ දෙරට අතර වසර 70ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම සඳහාය. 1954 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයා ඔස්‌ටේ්‍රලියාවේ නිල සංචාරයක යෙදීමෙන් පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයකු ඔස්‌ටේ්‍රලියාවේ නිල සංචාරයක නිරත වූයේ පළමු වරටය.

ආර්ථික වර්ධනය කරලීම සහ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කරලීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශ වී තිබීම සම්බන්ධව මෙහිදී ඕස්‌ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාවේ පැරණි මිතුරකු වශයෙන් සෑම විටම ශ්‍රී ලංකාවට සහය ලබා දීමට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියා කරන බව ද ඔහු අවධාරණය කළේය.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසූයේ ඔස්‌ටේ්‍රලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 100කට අධික කාලයක්‌ තිස්‌සේ පැවත එන බවය. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් අවස්‌ථාවන්හි පවා ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා විශේෂ ස්‌තුතිය පළ කළේය. දෙවන ලෝක යුධ සමයේදීත්, පශ්චාත් යුධ සමයේත් දෙරට අතර පැවති සම්බන්ධතා සිහිපත් කළ වික්‍රමසිංහ මහතා කොළඹ ක්‍රමය වැඩ සැලැස්‌ම ක්‍රියාවට නැංවීමත් සමගම දෙරටේ සම්බන්ධතාවන් නව මානයකට එසැවුණු බව පෙන්වා දුන්නේය.

මිනිස්‌ ජාවාරම් වැළැක්‌වීම හා නීති විරෝධී සංක්‍රමණයන්ට වැට බැඳීම උදෙසා ශ්‍රී ලංකාව නිරතුරුවම ලබා දෙන සහයෝගය ටර්න්බුල් මහතාගේ පැසසීමට ලක්‌විය.

අධ්‍යාපන හා ආරක්‍ෂක ක්‌ෂේත්‍රයන් තුළ දැනට පවත්වාගෙන යනු ලබන ද්විපාර්ශ්වික සහයෝගීතා වැඩපිළිවෙල අනාගතයේ දී මීටත් වඩා පුළුල් කළ යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය. විශේෂයෙන්ම සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධව ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් පිළිබඳව සැලකිල්ල යොමු විණි.

ඔස්‌ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙතින්, ඔස්‌ටේ්‍රලියානු ආර්ථිකය හා වෙනත් ක්‌ෂේත්‍ර නගා සිටුවීම සඳහා ලැබෙන දායකත්වය අගය කළ ටර්න්බුල් මහතා, ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි සේවාවන් සම්බන්ධව ද අවධානය යොමු කළ යුතු බව පැවසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාංශයක්‌ ස්‌ථාපිත කරලීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා සහය ලබාදීමට ඔස්‌ටේ්‍රලියාව සූදානම් බව ටර්න්බුල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක්‌ සඳහා සහභාගි වන මෙන් වික්‍රමසිංහ මහතා ඔස්‌ටේ්‍රලියානු අගමැති ටර්න්බුල් මහතාට ආරාධනා කළේය. දෙපාර්ශ්වයටම ගැළපෙන අවකාශයක තමන්ට ඒ සඳහා සහභාගිවීමට හැකි බව ටර්න්බුල් මහතා පැවසීය.

මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමැතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව එනම් 1977 සිට 2017 දක්‌වා අඛණ්‌ඩව වසර 40 ක්‌ සහ එම කාලය තුළ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්‌ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්‌ටේ්‍රලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක්‌ පිරිනැමිණි.

එම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කැඳවූ වික්‍රමසිංහ මහතා උපදෙස්‌ දුන්නේ, මේ ගෞරව උපාධි නාමය කිසි විටෙක තමාගේ රාජකාරි හෝ පුද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවයි.

මහාධිකරණ විනිසුරුවරයකුගේ පත්වීමක්‌ සම්බන්ධව මේ දිනවල සමාජයේ දැඩි කතා බහට ලක්‌ව තිබේ. පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට හේතු පැහැදිළි කළේ උත්සව සභාවකදීය. මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා පත් කරන ලද්දේ නීතිඥ සංගමයේ ලිත යෝජනාවක්‌ අනුව බවත් ඊට අධිකරණ ක්‌ෂේත්‍රයේ ඉහළම ආයතනවල අනුමැතිය හිමි වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේය.

තමා කිසි විටෙකත් තනි තීන්දු නොගන්නා බවත් විශේෂයෙන්ම අධිකරණ ක්‌ෂේත්‍රයේ පත්වීම් සිදු කරන විට අධිකරණ ක්‌ෂේත්‍රයේ ඉහළම ආයතනවල අනුමැතිය සහිතව අදාළ පත්වීම් සිදු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

මහාධිකරණවල විනිශ්චයකාර තනතුරු සඳහා පසුගිය කාලයේදී පුරප්පාඩු කිහිපයක්‌ පැවැති බවත් දෙමළ බස කතා කරන විනිසුරුවරුන්ගේ හිඟයක්‌ පවතින බව සඳහන් කරමින් අදාළ නීතිඥවරයා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමාගෙන් ලිත ඉල්ලීමක්‌ කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීය. මුලදී තමා එය ප්‍රතික්‌ෂේප කලද පසුව නීතිඥ සංගමයේ බලවත් ඉල්ලීම මත එය සිදුකළ බවත් සඳහන් කළේය.

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ආණ්‌ඩුව තුළ සුවිසල් බෙදීම් ඇති කර තිබේ. ආණ්‌ඩුවේ ඇතැම් පාර්ශ්ව ඊට එරෙහි වෙද්දී ඇතැම් පාර්ශ්ව ඊට සහය දක්‌වමින් සිටිති. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බව මහනගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා කියා තිබිණි.

ශ්‍රී ලංකා තුළ මුදල් ගෙවා උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථා උදා කර දිය යුතු බව කී ඇමැතිවරයා, කෙසේ නමුත් ඊට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබිය යුතු බව අවධාරණය කළේය.

පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී ඒ සඳහා අවශ්‍ය විද්‍යාගාර සහ පර්යේෂණාගාර, ප්‍රවීණ මහාචාර්යවරු ඇතුලු සෙසු පහසුකම් උසස්‌ ප්‍රමිතියක්‌ යටතේ සැපයීමට නොහැකි වීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

අධ්‍යාපනය යනු වෙළෙඳ භාණ්‌ඩයක්‌ නොවන බව කී ඇමැතිවරයා "වෛද්‍යවරයෙක්‌ බිහි කරන්න රජය වැය කරන්නේ ලක්‍ෂ විසි පහක්‌. ඒකට සයිටම් ආයතනයේ වගේ ලක්‍ෂ එකසිය විස්‌සක්‌ ගෙවිය යුතු නැහැ" යනුවෙන් පැවසීය. කෙසේ වෙතත් රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන් මේ සඳහා ඉඩදිය යුතු බවට අදහස්‌ පළකර තිබේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට වඩා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්‌ඩුව මේ මොහොතේ අවධානය පළ කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග පසුගියදා ප්‍රකාශ කර තිබේ.

මේ මොහොතේ යුද අපරාධ පිළිබඳ අධිකරණ පරීක්‍ෂණ ආරම්භ කළහොත් එය නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ කාර්යයට පැහැදිලිවම බාධාවක්‌ වනු ඇති බව හිටපු ජනාධිපතිවරිය සඳහන් කළාය.

එහෙත් නව ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදීම පිණිස ජනමත විචාරණයක්‌ අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ඇය, රටේ පවතින වාතාවරණය සලකා බැලීමේදී ජනමත විචාරණයකින් ජයගත හැකිද යන්න පිළිබඳව ගැටලු පවතින බවද ඇය සඳහන් කළාය. මහජනතාව සමඟ අදහස්‌ හුවමාරු කරගැනීම පිණිස වත්මන් ආණ්‌ඩුවේ කිසිදු වැඩපිළිවෙලක්‌ නොමැති බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර මේ වනවිට විදේශගතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරටට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇති බවට පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි. චෝදනා දෙකක්‌ යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පැවසේ.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මොහොතේ අත්අඩංගුවට ගැනීම නොකළ යුතු බවට රටේ ඉහලම ප්‍රධානියෙක්‌ ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් හමුවේ දැනුම් දී ඇති බව ද ආණ්‌ඩුවේ ආරංචි මාර්ග පවසයි. අනවශ්‍ය ප්‍රශ්නයක්‌ ඇතිකර ගැනීමක්‌ බවත් අවශ්‍ය නම් අත්අඩංගුවට ගැනීමකින් තොරව නඩු පැවරිය හැකිද යන්න ගැන සොයා බලන ලෙසත් විමර්ශන නිලධාරීන්ට දන්වා ඇත.

මේ අතර අද වන විට රටේ ආර්ථිකය හා නීතිය මෙහෙයවවින් සිටින්නේ එක්‌සත් ජාතික පක්‍ෂය විසින් බවට බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා චෝදනා කරයි. එජාපයේ ආර්ථික කමිටුව හරහා එජාපය විසින් රාජ්‍ය දේපල විශාල වශයෙන් කොල්ලකමින් සිටින බවද පවසන ඔහු එජාපය සූදානම් වන්නේ දේපල විකුණාගෙන කෑමට යයිද සඳහන් කරයි.

මේ නිසා මෙරට ආර්ථිකය මෙහෙවීමේ වගකීම අතට ගන්නා ලෙස ජනතාතාව ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද මහ ඇමැතිවරයා පසුගියදා කියා සිටියේය. ඔහු සිටින වටපිටාව ගත් කළ ඔහුගේ මේ ප්‍රකාශ පහසුවෙන් බැහැර කළ නොහැක. ඒ අනුව පෙනී යන්නේ ආණ්‌ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක අතර ඇති නොගැළපීම් මෙන්ම ඕනෑම මොහොතක මේ දීගය අවසන්වීමේ ඉඩකඩ ඕනෑතරම් ඇති බවය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.