'ඇමැතිධුර අවභාවිත කරනවා'
රාජිත, කිරිඇල්ල, එස්‌. බී. ගැන වෛද්‍ය සංගමය
ජගත් පාර්ලිමේන්තු සංගමයට දන්වයි

රනිල් ධර්මසේන



නිල වගකීම ඉෂ්ට නොකර රෝගී ජනතාවගේ ජීවිත අවදානමකට ලක්‌ කිරීමට රාජිත සේනාරත්න, ලක්‍ෂ්මන් කිරිඇල්ල හා එස්‌. බී. දිසානායක යන ඇමැතිවරුන් සිය බලතල අවභාවිත කරමින් කටයුතු කරන බවට අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙයට අමතරව එම ඇමැතිවරුන්ට විරුද්ධව ජනාධිපති, අගමැති හා කථානායක වෙතද දැනුම්දීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

රටේ නීතියට අවනත වෙමින් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට ඇමැතිවරුන් දිවුරුම් දෙන බවද එම දිවුරුමද මේ ඇමැතිවරුන් උල්ලංඝනය කර ඇති බවද ඊයේ (16 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය සොයිසා මහතා කියා සිටියේය.

රටේ පවතින අණපනත්වලට අනුව කටයුතු කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අවලාද නගමින් මොවුන් රටේ උත්තරීතර ආයතනවල රාජකාරියට තර්ජනය කරමින් බාධා කරන බවද ඇමැතිවරුන්ට එය සුදුසු නොවන බවද කී හෙතෙම සිය බලය අත්තනෝමතික ලෙස ජනතාවට හානි කර ක්‍රියාවක්‌ සඳහා මේ ඇමැතිවරුන් යොදවන බවද කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.