සයිටම් ගැන තනි තීරණයක්‌ දීමට බැහැ
- ජනපති ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට දන්වයි

නිලන්ත මදුරාවල

සයිටම් ආයතනය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර හැර තමන්ට තනි තීරණයක්‌ දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට ඊයේ (16 වැනිදා) දැනුම් දුන්නේය.

ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන් අතර උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලින් තොරව දේශන මගින් ජනතාව දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිsටියේය.

පැයක පමණ කාලයක්‌ පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව සයිටම් ආයතනයට අදාළව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය විසින් සකස්‌ කරන ලද යෝජනාවලියක්‌ද ජනාධිපතිවරයාට භාර දෙන ලදී.

උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලින් වැළකෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීම් කළ ද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන තෙක්‌ උද්ඝෝෂණ නතර නොකරන බව ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ශිෂ්‍යයා 'දිවයින' ට පැවසීය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා සියලු විශ්වවිද්‍යාලයන්හි මහා ශිෂ්‍ය සංගම් ද නියෝජනය කරමින් සිසුහු විසිදෙනෙක්‌ පමණ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.